නාගරික පොදු ප්‍රවාහන සේවා ආයතනයක් ලෙස Lanka Metro Transit (Pvt) Ltd ඊයේ (08) සිට සිය පරිපාලන කටයුතු ආරම්භ කළේය.
ඒ අනුව, ලබන වසරේ මැද කාර්තුවේ සිට එහි ප්‍රවාහන මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ නාගරික පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කර ඇති මෙම පොදු ප්‍රවාහන සේවය පිළිබඳ පිළිබඳ අවධාරණය කරමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක සඳහන් කළේ,
“පොදු මගී ප්‍රවාහනය සුවපහසු කිරීමට නව රජයේ අයවැයෙන් රුපියල් මිලියන 3000 ක් වෙන්කරලා තිබෙනවා. ඒ යටතේ බස් මිලදී ගැනීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවලා තිබෙනවා. අපි සතුටු වෙනවා, මෙට්‍රො බස් සමාගම අලුතෙන් ආරම්භ කරද්දි, ලබාගන්නා බස්, අධ්‍යක්ෂ මණ්ඩලය, සේවක පිරිස් වගේම මගී ජනතාවත් නව අදහස් වලින් යුත් පිරිසක් වේවි. ලබන වසරේ මැද වනවිට මේ නව බස් රථ ජනතා සේවයට කැපකිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වෙනවා.
පිරිසිදු, සාධාරණ, මෙන්ම සුවපහසු මගී ප්‍රවාහන සේවයක් වෙනුවෙන් ජනතාවට විශාල බලාපොරොත්තුවක් මෙන්ම අවශ්‍යතාවක් තිබෙනවා. ඒ ජනතා සිහිනය ඉටු කරන්න තමයි අපි මේ සැරසෙන්නේ. ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරෙන මේ මෙට්‍රෝ බස් සේවාව, සමස්ත රට තුළම ව්‍යාප්ත වේවි. ඕනෑම දෙයක් ආරම්භ කිරීමේදී විශාල කැපකිරීම් සිදු කිරීමට සිදුවෙනවා. නමුත් එහි ප්‍රතිඵල ඉතාමත් ලස්සනයි. පවුලට ලැබුණ අලුත් දරුවෙක් රැක බලාගන්නා ආකාරයෙන් සෑම කෙනෙක්ම මේ නව සේවාව ආරක්ෂා කරගනීවි යැයි බලාපොරොත්තු වෙන” බවය.
නියමු ව්‍යාපෘතියක් වශයෙන් බස්නාහිර පළාත තුළ ප්‍රථමයෙන් ක්‍රියාත්මක කෙරෙන මේ සඳහා බස් රථ 100ක් ලබාගැනීමට මේ වනවිට ටෙන්ඩර් කැඳවා තිබේ. තවද ඒ සඳහා 2025 අයවැයෙන් රුපියල් මිලියන 300ක් පමණ වෙන්කර තිබෙන අතර, 2026 අයවැයෙන් තවත් රුපියල් මිලියන 200ක් වෙන්කිරීමට බලාපොරාත්තුවන බව ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
