Image

ආණ්ඩුවේ මර්දනකාරී පිළිවෙතට ජාත්‍යන්තරයෙනුත් රතු එළි - හර්ෂණ රාජකරුණා

ආණ්ඩුවේ මර්දනකාරී පිළිවෙතට ජාත්‍යන්තරයෙනුත් රතු එළි - හර්ෂණ රාජකරුණා

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට විරුද්ධව අධිකරණයට ගිය පුද්ගලයින් ආණ්ඩු බලය ලබාගැනීමෙන් අනතුරුව එම පනතේ බලයද ඉක්මවන අතිභයානක නීති සම්මත කිරීමට පියවර ගැනීම ජනතාව අපේක්ෂා කළ දෙයක් නොවන බව සමගි ජන බලවේගය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පෙන්වා දෙන්නේ අතිභයානක නීති සම්මත කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාවලියට ජාත්‍යන්තර සංවිධාන විසින්ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, හියුමන් රයිට්ස් වොච් වැනි සංවිධාන මේ වන විටත් ආණ්ඩුවේ මර්දනාකාරී පිළිවෙත දැඩිව හෙළා දකිමින් නිවේදන නිකුත් කර ඇතැයිද තානාපති කාර්යාල මට්ටමින්ද මේ සම්බන්ධයෙන් විරෝධය පළ වී ඇතැයිද ඔහු සඳහන් කළේ කෝට්ටේ පිහිටි සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

"ජනතා විමුක්ති පෙරමුණ එදා ත්‍රස්ත මර්දන පනතට එරෙහිව අධිකරණයට ගියා. දැන් ඇමැතිවරුන් වන සුනිල් වටගල, විජිත හේරත් වගේ අය එතැනදී කිව්වා මේ වගේ ජනතාව මර්දනය කරන්න භාවිතා කරන නීති වහාම ඉවත් විය යුතු බව. එහෙම කියපු අය අද මෙහෙම කිරීම ලැජ්ජාවට කරුණක්.

22 වන ව්‍යවස්ථා සංශෝධනයට අපි විරෝධය පළ කළා. අපි කිව්ව දේවල් අහන්නේ නැතුව මේ ආණ්ඩුව 22 සම්මත කළා. එදා අපි කිව්වා මේ අය වැඩි දවසක් යන්න කලින් අධිකරණයටත් ඇඟිලි ගහන බව. ඒ කිව්වා වගේම තමයි දැන් ආණ්ඩුවේ නියෝග අනුව කටයුතු නොකරන විනිසුරුවන්ටත් දඩුවම් දෙන්න පටන් අරන්. ආණ්ඩුවට වුවමනා විදියට කටයුතු නොකිරීමේ වරදට මේ වෙද්දී ගම්පහ මහේස්ත්‍රාත්වරයාටත් ස්ථාන මාරුවක් ලබා දී ඇති බව අපිට දැනගන්නට ලැබුණා."

වර්තමාන ආණ්ඩුව ඒකාධිපති පාලනයකට රට රැගෙන යමින් සිටින බවද ආසියාවේ උතුරු කොරියාවක් ගොඩනඟන්නට වර්තමාන ආණ්ඩුව පිඹුරුපත් සකස් කරමින් සිටින බවද හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න