Language Switcher

V2025

ගුවන් සමාගම් 7ක් : චීන ගමන් නවත්වයි !

මාරාන්තික කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් චීනයට ගමන් නවත්වන බව ජාත්‍යන්තර ගුවන් සමාගම් හතක් ඊයේ  (29) නිවේදනය කළේය.

ඒ අනුව ‘එයාර් ෆ්‍රාන්ස්’, ‘බ්‍රිටිෂ් එයාර්වේස්’, ‘කැතේ පැසිෆික්’, ‘ෆින් එයාර්’, ‘ලයන් එයාර්’, ‘යුනයිටඞ් එයාර්ලයින්ස්’ සහ ‘යුරල්ස්’ යන ගුවන් සමාගම් හත එම පියවර ගෙන තිබේ.

විදෙස් ගමන් අවලංගු කරන්නැයි ද කණ්ඩායම් ලෙස විදෙස් සංචාර වීම කල් දමන්නැයි ද චීනය එරට වැසියන්ට උපදෙස් දී ඇති අතර චීනයේ සංචාරය කිරීමෙන් වැළැකී සිටින්නැයි ඇතැම් රටවල් එරට වැසියන්ට උපදෙස් දී ඇත.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය කේන්ද්‍ර කරගනිමින් පැතිර යන නව මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව අද (29) වනවිට 132ක් දක්වා ඉහළ ගිය අතර වයිරසය ආසාදනය වී රෝහල්ගත කළ සංඛ්‍යාව ද 5,974ක් දක්වා ඉහළ ගොස් ඇත.

චීන රජය නිකුත් කළ දත්තවලට අනුව ඊයේ (28) වනවිට මාරාන්තික කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 106ක් වූ අතර වයිරසය ආසාදනය වී රෝහල්ගත කළ සංඛ්‍යාව 4,515ක් විය. මේ අනුව ඊයේ වනවිට වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 26කින් ද වයිරසය ආසාදනය වී රෝහල්ගත කළ සංඛ්‍යාව 1,459කින් ද  ඉහළ ගොස් ඇත.

මාරාන්තික කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 15කට පැතිර ගොස් තිබේ. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය 2002-2003 කාලයේ ඇති වූ ‘සාර්ස්’ වසංගත තත්ත්වයට වඩා බරපතළ යැයි චීනයේ ඇතැම් බලධාරීහු ඊයේ  (29) ප්‍රකාශ කළහ.
 
එදා එම වයිරසය චීන ජාතිකයන් 5,300කට ආසාදනය වූ අතර මියගිය සංඛ්‍යාව 650කට ආසන්න විය. නව කොරෝනා වයිරසය මේ වනවිට චීන ජාතිකයන් 6,000කට ආසන්න පිරිසකට ආසාදනය වී තිබේ.

මේ අතර චීනයේ වූහාන් සිට පැමිණි පවුලකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊයේ  (29) නිවේදනය කළ අතර ඒ අනුව එය මැද පෙරදිගින් වාර්තා වූ පළමු අවස්ථාව විය.

කොරෝනා වයිරසය පිළිබඳ මුලින්ම තොරතුරු වාර්තා වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් අගනුවරින් වන අතර එම නගරයට සීල් තබමින් පූර්ණ නිරෝධායනයකට ලක්කිරීමට චීන බලධාරීහු පියවර ගත්හ. මේ හේතුවෙන් විදේශිකයන් දහස් ගණනක් ද ඇතුළුව මිලියන 50කට වැඩි පිරිසක් වූහාන් නගරයේ සිරවී සිටිති.

තවත් රටවල් කිහිපයක්ම ඉදිරි දින කිහිපයේදී වූහාන් නගරයට ගුවන් යානා යවමින් එම නගරයේ සිරවී සිටින සිය ජාතිකයන් මුදාගැනීමට පියවර ගනිමින් සිටී.

(මූලාශ්‍රය - ලංකාදීප )