Image

සමාජයක් ලෙස අප දැනුමින් සවිබල ගැන්වූ සමාජයක් බවට පත්විය යුතු යි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සමාජයක් ලෙස අප දැනුමින් සවිබල ගැන්වූ සමාජයක් බවට පත්විය යුතු යි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පුරවැසි පරපුර නිසි දැනුවත්භාවයක් නොමැති බැවින් සමාජයක් ලෙස අප දැනුමින් සවිබල ගැන්වූ සමාජයක් බවට පත්විය යුතු යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඇඹිලිපිටිය සෙන්චූරියා සිටි හෝටලයයේ දී සමගි අධ්‍යාපන සේවක සංගමයේ කොළොන්න ශාඛාව රැස්වීම අමතමිනි.

එම රැස්වීමේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

 

රජය, ඉන්ධන බලාගාර මාෆියාවේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්වෙලා

''අප රටේ දැනටමත් ක්‍රියාත්මක වන්නේ රැවටිලි දේශපාලනයක්. වරායේ ගොඩබාන මිලට තෙල් දෙන්නම් කියා මැතිවරණ සමයේ කිව්වත් අද ඒ කිසිවක් නැහැ. අද අප රටේ පමණක් ගෝලීය ඉන්ධන අර්බුධයක් තිබිය දී දිගින් දිගටම ඉන්ධන මත බදු ගහනවා. හැමදාම මේ රජය කළේ රැවටීම. විදුලි බිල 1/3කින් අඩු කරනවා කිව්වත් විදුලි බිල වැඩි කළා. පුනර්ජනනීය බලශක්තියට මුල්තැන දෙනවා කියා අද ඉන්ධන බලාගාර මාෆියාවේ ප්‍රාණ ඇපකරුවන් බවට රජය වෙලා.

එදා ගොවි ජනතාව සමග එකතු වි ගොයම් කකා වී කිලෝවට රු.150ක ස්ථාවර මිලක් දෙනවා කිව්වත් වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රු. 137ක් වැය කරනවා කියා ස්ථාවර මිල ලෙස රු. 120ක් ලබා දී වී කිලෝවකින් රු. 17ක් පාඩු කර තිබෙනවා. මේ හැමදේකටම හේතුව පුරවැසි පරපුර නිසි දැනුවත්භාවයක් නොමැති වීම. සමාජයක් ලෙස දැනුමින් සවිබල ගැන්වූ සමාජයක් බවට පත්විය යුතු යි. අලුත් දේ බැහැර නොව සෑම ක්ෂේත්‍රයක් දෙසම නව දැක්මකින් යුක්තව බැලිය යුතු යි.

 

අද නිදහස් අධ්‍යාපනයේ පවා බෙදීමක් ඇති වෙලා

අධ්‍යාපනය තුළ ප්‍රධාන වශයෙන් කොටස් 06ක් තිබෙනවා. මේ කොටස් 6 තුළ ම අඩුපාඩුකම්, අඩුලුහුඩුකම්, ඌනතා, විෂමතා විශාල ලෙස තිබෙනවා. ගුරුවරුන් 250000ක් විදුහල්පතිවරුන් 15000ක් සිටිනවා. රටේ පාසල් 10145ක් පමණ තිබෙනවා. ඒ අතර සමහර පාසල් වැසී යාමේ තත්ත්වයකට මුහුණපාලා. මේ ක්ෂේත්‍ර හයෙහි ම නියැළී සිටින සියලු දෙනාට සමගි ජන බලවේගය බොරු බලාපොරොත්තු දෙන්නෙ නැහැ. ගුරුවරුන්ට පොරොන්දූ වූ ඉතිරි 2/3 ලබා දිය යුතු යි. සෑම අංශයක ම සිටින අඩුපාඩුකම්වලට කඩිනම් විසදුම් දෙනවා. කුමන හේතුවක් නිසාවත් බොරු පොරොන්දු සහ විසිතුරු වචනවලින් සිහින ලෝක නිර්මාණය කර ගුරුවරුන් අනාථ කරන්නෙ නෑ. අප රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතළ ඛේදවාචකයකත් පවතිනවා. නිදහස් අධ්‍යාපනය බිඳ වැටෙමින් බෙදීම් පවා පවතිනවා. පළාත් පාසල් ජාතික පාසල් ලෙස පැවතියත් ජාතික පාසල්වලට ලැබෙන ප්‍රතිපාදන සහ පළාත් පාසල්වලට ලැබෙන ප්‍රතිලාභවල පරතරය ගැන බලන්න. ඉසුරු පාසල්, සපිරි පාසල්, නවෝද්‍යා පාසල්, ළඟ ම පාසල, හොඳ ම පාසල කියා ආණ්ඩු වෙනස් වෙද්දි විවිධ ව්‍යාපෘති පැමිණියත් අවසානයේ අගතියට පත් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය සුරකින ගුරුවරු ඇතුළු පාර්ශ්ව සේම දරුවන්.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති සම්පත් හිඟය නැති කළ යුතුයි

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවීකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළත් ගුරුවරු නිවැරදිව පුහුණු කර නැහැ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ අක්‍රමවත් ලෙස යි. රටක් ලෙස ඉතිහාසය හර විෂයක් නොකර, රට තුළ ඩිජිටල් පරිවර්තනාත්මක යුගයක් ඇති නොකර ඉදිරියට යා නොහැකි යි. ලෝකයේ තොරතුරු තාක්ෂණය උගන්වන්නේ මුල් ළමා විය අධ්‍යාපනයේ සිට යි. ඉංග්‍රීසි භාෂාවෙන් වුවත් තොරතුරු තාක්ෂණය පවා උගන්වන්නේ 6-13 මව් භාෂාවෙන්. කුසලත් නිපුණතා දක්ෂතා දැනුම ප්‍රවර්ධනය කරන වැඩපිළිවෙළක් අප රටේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ නොමැති නිසා එය වෙනස් කළ යුතු යි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින සෑම කොටසක් ම රැකගත යුතු යි. බොහෝ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල මානව හා භෞතික සම්පත් හිඟයක් පවතිනවා. අවශ්‍ය යටිතල පහසුකම් පවා නැහැ. එම නිසා අධ්‍යාපනය යන විෂය ගැන පුළුල් දැක්මක් සහිතව ප්‍රතිපත්ති මාලාව සකස් විය යුතු යි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත්වල ගැටලු යොමු කරන්න ප්‍රතිචාර දක්වන්න අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාව තුළින් කටයුතු කළ යුතු යි.

වැරදි අධ්‍යාපන ප්‍රතිපත්තිවලින් බැහැර විය යුතුයි

සක්වල වැඩසටහන තුළින් සුහුරු අධ්‍යාපනය ප්‍රවර්ධනය කර මේ සම්පත් නොමැති දරුවන් වෙනුවෙන් අදාළ පහසුකම් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සල්ලි තිබෙන කෝටි ප්‍රකෝටිපතියන් ගේ දූදරුවන්ට මේ අපහසුතා නැහැ. නිසි අධ්‍යාපනය නොලබන දශලක්ෂ සංඛ්‍යාත සිසු දූදරුවන් නිදහස් අධ්‍යාපනය තුළ සිටිනවා. මේ අය අහිමි පරපුරක් වන අසරණභාවයට පත් පරපුරක් වන නිසා මේ මොහොතේ සිට ම අධ්‍යාපනය ක්‍රමවත් විය යුතු යි.

1 ශ්‍රේණියේ සිට නොව අධ්‍යාපනය නවීකරණය වී ශක්තිමත් විය යුත්තේ මුල් ළමාවිය අධ්‍යාපනයේ සිට යි. ඉපදුණු දවසේ සිට වයස අවුරුදු 5 දක්වා මොළය 75%ක් වර්ධනය වෙනවා. මේ කාලයේ අප රටේ අධ්‍යාපන ක්‍රමය අවිධිමත්. පළාත් සභාවලට අවශ්‍ය ආකාරයට ප්‍රඥප්ති නිර්මාණය කිරීම නිසා දරුවන් අධ්‍යාපනය ආරම්භ කරන්නේ වැරදි ආකාරයට. එසේම කටපාඩම් ක්‍රමයෙන් බැහැරව අභියෝගවලට මුහුණ දීම ගැටලුවලට විසඳුම් ලබා දීම මූලික කර ගත් අධ්‍යාපනයක් කරා යා යුතු යි. විෂය නිර්දේශ වෙනස් වන ගුරුවරුන් සූදානම් කිරීම හා පුහුණුව යාවත්කාලීන විය යුතු යි.

කවුරු අකමැති වුවත් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට මුල්තැන දින යුතුයි

තෘත්‍රීයික හා තාක්ෂණික අධ්‍යාපනය පුළුල් කර ඩිජිටල් අධ්‍යාපනය ප්‍රවර්ධනය කළ යුතු යි. අද පාසල්වල සුහුරු පන්ති කාමර උපකරණ නැහැ. මේවා ගන්න දෙමාපියන්ගෙන් මුදල් එකතු කරනවා. මේවා නොමැති වීම විදුහල්පතිවරුන් ගේ ගැටලු නෙවෙයි; අධ්‍යාපන අමාත්‍යාංශයේ ගැටලු. ඊට අමතරව පාසල්වල සන්නිවේදන පහසුකම් අන්තර්ජාල පහසුකම් පවා නැහැ. පාසල් දරුවන්ගෙන් 40%කටවත් සුහුරු උපකරණයකට ප්‍රවේශය නැහැ. පාසල් පද්ධතියේ යටිතල පහසුකම් දියුණු කර අසමානතාවට විසදුම් දිය යුතු යි. කවුරු කැමති වුවත් නැතත් ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව තවදුරටත් වර්ධනය කළ යුතු යි. මේ යෝජනා ජනප්‍රිය නොවන නිසා දේශීයත්වය, දේශාභිමානය මතුකර පහර ගැසිය හැකි යි. මේ ගතානුගතික යල්පැනගිය ගෝත්‍රික අදහස්වලින් ඉවත් විය යුතු යි.

නිදහස් අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානය දිය යුතුයි

උග්‍ර වාමාංශිකයෝ පෞද්ගලික අධ්‍යාපනයට පහර ගසා නිදහස් අධ්‍යාපනය පමණක් යැයි කියා ඔවුන් ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවනවා. ඔවුන් ගේ දරුවන්ට සේම ඒ අවස්ථාව රටේ සෙසු දරුවන්ට ද හිමිවිය යුතු යි. රටක් තුළ පෞද්ගලික අධ්‍යාපනය කොපමණ තිබුණත් මුල්තැන දිය යුත්තේ සුබසාධන රාජ්‍යයේ ඇති නිදහස් අධ්‍යානයට  යි. මේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර ප්‍රවර්ධනය කළ යුතු යි. ගතානුගතික ගෝත්‍රික කොටුපවුරු බැදගත් වැහුණු සංකල්පයන්ගෙන් මිදී අලුත් ලෙස සිතිය යුතු යි.''

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න