සිංගප්පූරු ඉතිහාසයේ වැඩිම රයිනෝ අං තොගය අත්අඩංගුවට

සිංගප්පූරු ඉතිහාසයේ වැඩිම රයිනෝ අං තොගය අත්අඩංගුවට

ලාඕසය බලා ප්‍රති අපනයනට සූදානම් කර තිබූ කි.ග්‍රෑ. 35.7 ක වාර්තාගත රයිනෝසිරස් අං තොගයක් සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගැනේ.

එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 867,430කි.

මෙතෙක් එරටින් අත්අඩංගුවට ගත් විශාලතම රයිනෝ අං තොගය එය බව, සිංගප්පූරුවේ ජාතික වනෝද්‍යාන මණ්ඩලය අද (18) ප්‍රකාශ කළේය.

නැව් භාණ්ඩ සමග වූ, කට්ටල 4ක් ලෙස සකස් කළ එම අං තොගය, මෙම මස මුලදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒවා, ගෘහ භාණ්ඩ එකලස් ද්‍රව්‍ය ලෙස ප්‍රකාශ කොට, ප්‍රති අපනයනයට සූදානම් කර තිබූ බව, අනාවරණය විය. එහි තිබී, කි.ග්‍රෑ. 150කට අධික සත්ව අස්ථි, දත්, හකු ඇතුළු වෙනත් සත්ව කොටස් රැසක් ද හමු වූ බව බලධාරීහු පැවසූහ.

සුදු රයිනෝ වර්ගයට අයත් අං තොගය දකුණු අප්‍රිකාවෙන් නැව් ගත කර තිබූ බව ද හෙළි විය. එහි වූ අනෙක් සත්ව කොටස් හඳුනාගැනීමේ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක ය.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වනජීවී විශේෂ සම්බන්ධ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියට සියලු රයිනෝ විශේෂද ඇතුළත්ය. එනම්, ඒ සම්බන්ධ ජාත්‍යන්තර වෙළඳාම සපුරා තහනම් ය. එම සම්මුතියට සිංගප්පූරුව විසින් ද අත්සන් තබා තිබේ.

සිංගප්පූරුව, අවදානමට බඳුන්ව ඇති කිසිදු වනජීවී විශේෂයක්, එම කොටස් හෝ ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට හෝ ප්‍රති අපනයනයට අවසර ලබා නොදෙන රටකි.

එහිදී අත්අඩංගුවට පත් සත්ව කොටස් ජාත්‍යන්තර මාර්ගෝපදේශන ප්‍රකාරව විනාශ කෙරේ. ඒවා යළි වෙළඳපොළට එක් වීමේ අවදානම තුරන් කිරීම අරමුණයි.

වඳවීමේ තර්ජනයට පත් වනජීවී විශේෂ ජාත්‍යන්තර ජාවාරමේ යෙදවීම් වැටලීමට කෙතෙක් පියවර ගත්තද, රයිනෝ අං සඳහා තවමත් විශාල ඉල්ලුමක් පවතී. එහි ඇතැයි පැවසෙන ඖෂධීය ගුණය සහ එම සත්ව කොටස් තත්ත්ව සංකේත ලෙස සන්තකයේ තබා ගැනීම පිලිබඳ, ආසියානු සංකල්ප ඊට හේතුවයි.

වඳවීමේ තර්ජනයට බඳුන් වූ වනජීවී කොටස් සිංගප්පූරුව හරහා ජාවාරමට තැත් කිරීමේ දඩය, එක් නිදර්ශකයකට සිංගප්පූරු ඩොලර් 200,000කි. සමස්ත දඩ මුදල සිංගප්පූරු ඩොලර් මිලියනය ඉක්ම නොවිය යුතු බවට ද නීති පවතී. ඊට අමතරව, ජාවාරම්කරුවන්ට වසර අටක සිර දඬුවම් පැනවීමේ බලයද අධිකරණය සතුය.

මීට පෙර එරට ඒසා විශාල වැටලීමක් සිදු කෙරුණේ 2022 වසරේදීය. එහි දී, කි.ග්‍රෑ. 34.7ක රයිනෝ අං තොගයක් චැන්ගි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනිණි. ඉකුත් වසරේ ජනවාරි මස, එහි හිමිකරුට දෙවසරක සිර දඬුවම් හිමි විය.

පසුගිය සැප්තැම්බර මස කෙන්යානු අධිකරණයක් රයිනෝ අං ජාවාරමේ යෙදුණු, ඒ වන විටත් ඇත්දළ ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් සිර දඬුවමට ලක්ව සිටි පුද්ගලයකුට ඇමෙරිකානු ඩොලර් 63,000ක දඩයක් සහ වසර 9 ක සිර දඬුවම් නියම කළේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/18/2025

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න