Language Switcher

V2025

නේපාල නව වාමාංශික ආණ්ඩුවේ ඉදිරිය අවිනිශ්චිතයි !

නේපාලයේ නව අගමැති කඩ්කා ප්‍රසාද් ඔලිගේ ආණ්ඩුවේ ඉදිරිය ගැටලුකාරී විය හැකි බවට මත පළවෙමින් තිබේ. එයට හේතුව අගමැතිවරයා නව ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාරී පක්ෂය වන නේපාල මාවෝවාදී පක්ෂ මන්ත්‍රීවරු කැබිනට් මණ්ඩලයට පත් නොකිරීමයි.

හැටහය හැවිරිදි නව අගමැතිවරයා එරට ජ්‍යෙෂ්ඨ කොමියුනිස්ට් නායකයෙකු වන අතර එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ සභාපතිද වේ.

නේපාල මාවෝවාදී පක්ෂයේ කිසිවෙකු අගමැතිවරයා දිවුරුම් දුන් අවස්ථාවෙන් පසු පැවති කැබිනට් මණ්ඩල දිවුරුම් දීමට සහභාගී වී නොසිටි බව පැවසේ.

විදෙස් පුවත් සේවා වාර්තා කරන ආකාරයට නියෝජ්‍ය අගමැති ධූරය තම පක්ෂයේ නායකයෙකුට ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම ඔලී විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මාවෝවාදී නායකයන් මෙම අවස්ථාවට සම්බන්ධ වී නොමැත.

කවුද මේ කඩ්කා ප්‍රසාද් ඔලි?

ඔහු මාවෝවාදීන් විසින් ගෙනගිය ප්‍රචණ්ඩ කැරැල්ල පසු කාලයෙහි දැඩි දෝෂ දර්ශනයට ලක් කළ විවේචකයෙකි. ඔහු 2015 වසරේ නව ව්‍යවස්ථාවක් හදුන්වා දීමෙන් පසු පත්වූ පළමු අගමැතිවරයා විය. නේපාල මාවෝවාදීන්ගේ ආධාරය ඇතිව අගමැති පදවියට පත් වුනත් මාවෝවාදී සහයෝගය අහිමි වීමත් සමඟ ඔහුට පදවියෙන් ඉවත් වීමට සිදු විය. 1970 පෙබරවාරි මාසයේ දී නේපාලයේ කොමියුනිස්ට් පක්ෂයට එක්වී ඇති ඔලි අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට පත්ව තිබේ.

1994 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔලි මන්මෝහන් අඩිහාරීගේ සුලුතර ආණ්ඩුවේ ස්වදේශ කටයුතු ඇමති ලෙස සේවය කර තිබේ.

මාවෝවාදීන්ගේ සහය

ප්‍රචණ්ඩ විසින් නායකත්වය දෙනු ලබන නේපාල මාවෝවාදී පක්ෂයේ සහයෝගයත් මෙවර කඩ්කා ප්‍රසාද් ඔලි වෙත ලැබී තිබුණි.

ප්‍රචණ්ඩගේ නායකත්වයෙන් රාජාණ්ඩුවට එරෙහිව කැරලි ගැසූ නේපාල මාවෝවාදී පක්ෂය අවි බිම තබමින් 2006 වසරේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක් විය.

එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂය සහ නේපාල මාවෝවාදී පක්ෂය අතර පැවති ගනුදෙනුව මෙයින් මාස කීපයකට පෙර පැවතුණේ පහළ මට්ටමකය.

එහෙත් පසුගිය මහ මැතිවරණයේ දී වාමාංශික සන්ධානයක් ගොඩනඟා ගනිමින් ඔවුන් තරඟ වැදුණ අතර ඉන් නොනැවතී තවත් පියවරක් පෙරට ගොස් එක් දේශපාලන පක්ෂයක් බවට පත්වීම දැන් එම පක්ෂ දෙකේ සැලැස්ම වී ඇත.

පසුගියදා පැවැත්වුන මැතිවරණයේ දී නේපාල පාර්ලිමේන්තුවේ ආසන 275 න් 174 ක්ම දිනා ගැනීමට එම වාමාංශික සන්ධානය සමත් විය.

එයින් ආසන 121 ක් තනිව දිනා ගැනීමට සමත්වුවේ අගමැති කඩ්කා ප්‍රසාද් ඔලි නායකත්වය දෙන එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂයයි.

ඉන්දියාවේ ප්‍රතිචාරය

කඩ්කා ප්‍රසාද් ඔලි ගේ නව පත්වීම පිළිබඳ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් සුබපතා ඇති බව වාර්තා වේ. අගමැතිවරයා පත්වීමෙන් සුළු මොහොතකට පසු ඔහුට දුරකථන ඇමතුමක් ලබාදුන් මෝදී අගමැතිවරයා නේපාල අගමැතිවරයාට ඉන්දියානු සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ. එසේම ඉන්දීය අගමැතිවරයා නේපාල ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමටද පොරොන්දු වී ඇත.

මේ අතර ඉන්දියානු ආණ්ඩුව සිය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මේ මස මුල දී නේපාලයේ සංචාරයක නිරත කරවීමට පියවර ගෙන තිබුණි.

බොහෝ දෙනෙක් එය දුටුවේ ඉන්දියාව අගමැති කඩ්කා ප්‍රසාද් ඔලි සහ ඔහුගේ පක්ෂය සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමට දරන ප්‍රයත්නයක් ලෙසය.

ඉන්දීය විදේශ ඇමතිවරිය කත්මණ්ඩු සංචාරයේ දී අදහස් දක්වමින් නේපාල අගමැති ඔලි නායකත්වය දෙන නේපාල ආණ්ඩුවත් සමඟ එකමුතුව ක්‍රියාකිරීමේ අභිලාෂය පළකළාය.

ඉන්දියානු- නේපාල පෙර සබඳතා

ඉන්දියානු දේශ සීමාව හරහා සිදු කෙරෙන සැපයුම්වලට බාධා කරනු ලැබීමෙන් අනතුරුව අගමැති කඩ්කා ප්‍රසාද් ඔලි සිය පසුගිය පාලන සමයේ චීනය සමඟ වෙළෙඳ සහ හුවමාරු ගිවිසුමක් අත්සන් කළේය. 2015 වසරේ පත්කර ගන්නා ලද ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ප්‍රකාශනයක් නිකුත් කරනු ලැබීමෙන් අනතුරුව පැතිර ගිය විරෝධතා සමඟ මෙම දේශ සීමා බාධක පැනවීම සිදුවිය.

 නේපාලය සහ චීනය අතර වෙළෙඳ ගිවිසුමක් අත්සන් තබනු ලැබීම ඉන්දියාව විසින් සලකන ලද්දේ අගමැති කඩ්කා ප්‍රසාද් ඔලි චීනය දෙසට නැඹුරුවීමක් ලෙසය.

එහෙත් එවැනි විශේෂ නැඹුරුවක් නොමැති බව අගමැතිවරයා දිගින් දිගටම කියා සිටියේය.