Image

විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය පැවරූ නඩුව කොළඹ මහාධිකරණයෙන් විසිකරයි

විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය පැවරූ නඩුව කොළඹ මහාධිකරණයෙන් විසිකරයි

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර අත්අඩංගුවේ පසුවෙද්දී ඝාතනය කිරීමට තමන් සම්බන්ධ බවට කෙරෙන ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය පවරා තිබූ නඩුව කොළඹ මහාධිකරණය මගින් නිෂ්ප්‍රභ කර ඇත.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී අදාළ පෙත්සම විභාගයට නොගෙනම ඉවත් කිරීමට මහාධිකරණය තීරණය කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) නිවේදනය කරයි.

අන්තර්ජාල සුරක්ෂිතතා පනත (Online Safety Act) යටතේ සමාජ මාධ්‍ය ජාල කිහිපයකට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභා සභික ඉන්ද්‍රානන්ද ද සිල්වාට එරෙහිව විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා මෙම නීතිමය පියවර ගෙන තිබිණි.

ඇසින් දුටු සාක්ෂිය සහ නීතිමය පියවර

1989 වකවානුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කළ ඉන්ද්‍රානන්ද ද සිල්වා, රෝහණ විජේවීර ඝාතනය සිදුවූ අවස්ථාවේ තමන් එම ස්ථානයේ සිටි ඇසින් දුටු සාක්ෂිකරුවෙකු බව ප්‍රකාශ කර තිබිණි. එවකට යුද හමුදා නිලධාරියෙකු වූ අශෝක තෝරදෙණිය අදාළ ඝාතන සිදුවීමට සෘජුව සම්බන්ධ වූ බවට ඔහු සමාජ මාධ්‍ය නාලිකා කිහිපයක් ඔස්සේ ප්‍රසිද්ධියේ චෝදනා කර තිබූ අතර, ඊට එරෙහිව විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා අධිකරණය හමුවට ගොස් තිබිණි.

නමූත් අදාළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එල්ල වන චෝදනා

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අත්අඩංගුවේ දී ඝාතනය වීම සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් ඉන්ද්‍රානන්ද ද සිල්වා මීට වසරකට පමණ පෙර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට (CID) නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එම සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරුවකු ලෙස ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානම් බව ඔහු දැනුම් දී තිබුණ ද, වසරක් ඉක්මගොස් තිබියදීත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මෙතෙක් ඔහු ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවට ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැඩිදුරටත් චෝදනා කර සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න