හිනිදුම සුනිල් සෙනවි කියන්නෙ මාලිමා ආණ්ඩුවේ සංස්කෘතික ඇමැති. ඔහු මගේ සීනියර් අයිය කෙනෙක්. ඔහු දක්ෂයෙක්. කිසියම් වූ නිශ්චිත අරමුණක් වෙනුවෙන් අප්‍රතිහත කැපවීමක් දක්වන ගේම් අත නොහරින කෙනෙක්. ඔහුගෙ වැඩ මාර නීට්.
මිනිස් විෂයක සංකීර්ණතා තිබුණත්...
හොස්ටල් එකක බෝඩිමක කාමරයක් කියන්නෙ යක්කු නටපු බංගලාවක් වගේ. අපේ ඇඳවල් බෝල් කූඩු පොත් මේසෙ පොත් අකුරු සෙරෙප්පු ඇඳුම් අරව මේව අපිළිවෙළයි. කිසිම පිළිවෙළක් නෑ. අශිෂ්යි. ඒත් අපේ සුනිල් අයියගෙ ඇඳ, එයාගෙ රෙදි දාල තියෙන බෝල කූඩුව, සෙරෙප්පු තියෙන තැන, ඇඳුම්, නියපොතු , දත්, නෝට්ස්, ෂෝට් නෝට්ස්, ඒ ෂෝර්ට් නෝට්ස් උඩින් ගහල තියෙන පේපර් ක්ලිප් එක, කවදහරි දවසක යකඩ පේපර් ක්ලිප් එක මළකඩ කාල නෝට්ස් ලිව්ව කොළ ගැලවෙයි කියන බයට වඩාත් ආරක්ෂාවට අර ක්ලිප් එක යටිනුත් දාල තියෙන චූටි කාර්ඩ් බෝර්ඩ් කෑල්ල, සටහනක නියම ම හරිම වැදගත්ම තැන හයිලයිට් කරපු තැන්, ඒ හැම තැනකම තිබ්බ පිළිවෙළක්; බරක්; ලකයක්. සුනිල් අයිය උදේට ඇඳ හදල තියෙන විදිය දැක්කම අපිට අපේ ඇඳ නොහද බැරි වෙනව. එයා පාඩම් කරනකොට අපටත් පාඩම් නොකර බැරි වෙනව. කොටින්ම අපට පිස්සු කෙළින්න බෑ. ආයෙ දෙකක් නෑ හිනිදුම සුනිල් සෙනවි කියන්නෙ කට පාඩං ම කරල විභාගෙ පාස් වෙලා ලෙචෙක් වෙච්ච නිකං ම ලෙක්චර් වටපඩයෙක් නෙවේ. මම මාරම ට්‍රයි එකක් දාල තියෙනව සුනිල් අයියට සිගරට් එකක් අරක්කු ටිකක් පොවන්න. හරි ගියේ නෑ. මල්ලි උඹ කාලද ඉන්නෙ කියල අහන්නෙ නැතිව කවදාවත් ම සුනිල් අයිය කන්නෙ නෑ. ඉස්සර කැම්පස් එකේ සිංහල ඉංග්‍රීසි පත්තර තිබ්බට දෙමළ පත්තරේ තිබ්බෙ නෑ. මම ඕකට ගේම් එක ඉල්ලුවා. ඒ වෙලේත් සුනිල් අයිය ඔය උඹ කරන්නෙ හරි වඩැක් කියල මාව දිරිමත් කරා මතකයි. සුනිල් අයිය එයාගෙ බැචෙක් වෙච්ච අන්ධ නිමල් අයියට කණ වැල ඇල්ලුවා. රෝද පුටුවලින් යන අය තල්ලු කරං ගියා. මිනිස් විෂයක සංකීර්ණතා තිබෙනවා උනත් අනේ සුනිල් අයිය හරිම සුන්දර හිතක් තියෙන කෙනෙක්.
සෙනවි ගේ ළා රෝස පැහැය
එයාගෙ ආත්මය ඇතුළෙ හිනිදුම කඳු පංති පවා තියෙනව. ඒ කන්දවල්, ඒ ගස් කොළං, ඒ පංසල, එයාගෙ තාත්ත, පවුලෙ අය... ඒ වගේ ගොඩාක් පැතිවල විහිදිලා ඒ ආත්මය ගොඩ නැගිල තියෙනවා. කඳු පාමුල තියෙන පුංචි තණ ගස් අග්ගිස්සවල්වල මිදිච්ච වතුර බිඳුවලට ඉර අව්ව වැටෙනව බලං හිටපු ඒ කඳු පංති සිසාරා එන හුළඟ වින්ඳ කෙනෙක්. මිනිහ දැණුමට පෙරේත මිනිහෙක්. මම වගේ රස්තියාදුකාරයෙක් සුනිල් අයියගෙ කාමරේ තියං අපට කුප්පි දාල අපව ගොඩ දැම්මෙ. තාමත් සුනිල් අයියගෙ ෂෝර්ට් නෝට් තියෙනව මගේ පුස්තකාලයේ. මම සුනිල් අයියට හැමදාමත් ආදරෙයි සහ ණයයි. ඒ විතරක් නෙවේ දෙයියනේ. ඔය දෙමළ සම්භාව්‍ය ගද්‍ය පද්‍ය ඉතිහාසය එතකොට ඔය දෙමළ කවියන් ගේ ආත්මය වගේ වෙච්ච තිරුක්කුරල් ගැන කියල දුන්නෙත් සුනිල් අයිය. ඔහුට තිබුනා දෙමළා වෙනුවෙන් විශාල ඉඩක්. එදා මෙදා තුර ඔහු ලියූ බොහොමයක් පිළිවෙළකට මම කියවා තිබෙනවා. සිනමාව, නාට්‍ය, නවකතාව, කවිය, දේශීය විදේශීය පරිවර්තන, ඉතිහාසය, පුරාවිද්‍යාව, ආගම්, ලෝක සාහිත්‍යය... අරව මේව හැම පැත්තම ගැනම ලියපුව තියෙනව. ආදරය පිරුණු නිදහස් මිනිසෙක් වෙනුවෙන් මානවයාගෙ මානව අයිතිය ගැන මොහු ලියූ දෑ බොහෝ ය. එයාට මුලදි තද රතු පාටක් තිබ්බෙ නෑ. ළා රෝස් පාටක් තිබ්බෙ.
මාලිමාවෙ සංස්කෘතික ඇමැති ගෙන් අපිට වුවමනා මොනව ද...?
හරි දැං උඩින් විස්තර කර මිනිසා පැත්තකින් තියමු; අපි හැරෙමු මාළිමා ආණ්ඩුවේ සංස්කෘතික ඇමැතිට. ඒක තනතුරක්; ලොව කොතනක වුව ද ලිවීමේ කියවීමේ ඉගනගැනීමේ මිනිහකුට ඇති නිරපේක්ෂක අයිතිය ගැන කතා කෙරූ මානවවාදී මිනිහෙක් රටක සංස්කෘතික ඇමැති උනාම අපි හිතනවා ඔහු තුළ තිබූ ආදරයේ, මානවවාදයේ සාරය ඒ තනතුර ඇතුළෙත් තියෙන්න ඕන කියල. ඇත්ත... රටක තියෙනව ආරක්ෂක නීති විධි විධාන. යහපත් නිරෝගී සමාජයකට අප කවුරුත් වග කියන්න ඕන. එතකොට පුද්ගලබද්ධ කතාන්දර නීති රෙගුලාසි අස්සෙ හිර වෙනව. ඒ වගේම තමයි සමහර මිනිස්සු බැබළෙනව තනතුරු නිසා. එහි ඇති ව්‍යවස්ථාමය බලය මත ඕනම ගොබ්බයෙක් බැබළෙන්න පුළුවන්. ඒවගේම සමහර තනතුරු තියෙනව පුද්ගලය නිසා තනතුර බැබළෙන. දැන් අපට සුනිල් සෙනවි නම් අර උක්ත කී මිනිහා ගෙන් ඕන කරන්නෙ පුද්ගලයා නිසා තනතුර බැබළෙන්න. සාමාන්යයෙන් සංස්කෘතික ඇමැති ධුරය ලංකාවෙ ඇතුළෙ භාවිතාව විසින් බැලුව ම හරිම නෝංජල් ඇමැති ධුරයක්. එයාට තියෙන්නෙ ඔය පංසල්වල උත්සවවලට යන්න, කතා පවත්තන්න. මගුල් ගෙවල්වල අත්සන් කරන්න. මළගෙවල්වල අදාහනාපළවල්වල කතා පවත්තන්න. පොත්, නාට්‍ය, ගීත, කලා කටයුතුවල පෙනී හිටින්න. හිනා වෙලා පොටෝවලට ඉන්න. සෙල්ෆි ගහන්න. ජාතික වෙසක් අවුරුදු උත්සව පවත්තන්න. ඔන්න ඔය වගේ සිල්ලර වැඩ. මේ දැන් ඉන්න සංස්කෘතික ඇමැති ඒව ඕනවටත් වඩා කරනවා. ඔළුවත් පොඩ්ඩක් ඇල කරල හරිම නිහතමානී විදියට ඉන්නව. ඒත් අපට ඕන ඒක නෙවේ. ඔය ටික මට පුළුවන් මේ හේන් කැලේ බැද්දෙ තලගොයි සුමනෙ හේන් ගොයිය ලවා කරවන්න. එහෙනම් මොනවද අපට මාලිමාවෙ සංස්කෘතික ඇමැතිගෙන් ඕන...?
මාක්ස්ට වඩා සෝශියෝ දන්න මිනිහෙක්
ඉස්සරවෙලාම සංස්කෘතික ඇමැති නිහතමානිව පිළිගන්න ඕන කාරණාවක් තියෙනව. ඒ තමයි මේ ලංකාව කියන්නෙ දේශපාලනිකව සමාජීව සංස්කෘතිකව විනාස වෙච්ච, විනාශ කරපු අවලස්සන රටක් කියන කාරනාව. ඒ කියන්නෙ දැන් වෙනකොට තේරෙන්න ඕන බලය ඕනවටත් වඩා අරං ආණ්ඩුකරන්න ගියත් සිස්ටම් දාල මොනතරම් දැඟලුවත් මේ රටේ මිනිහගෙ ආකල්පමය වෙනසක් ඇති නොකර කිසි දෙයක් කරන්න අමාරුයි කියන එක. මේ රටේ උතුරේත් දකුණේත් අවුරුදු තිහක යුද්ධ, ලේ ඝාතන පිරිච්ච රටක්. ඉතාම බුද්ධිමත් ජාන පරම්පරාවක් අහිමි වී ගිය රටක්. අපි වෙඩි තියා ගත්තෙ අපි අපිට ම යි. එකම රටක් ඇතුළෙ අපේම දෙමළ මිනිහට. ඒක එහෙම වෙන්න එක හේතුවක් ජාතියක් නැතිකම. ජාතිය කියන්නෙ අකුරු තුනක්. ඒ ඇතුළෙ තියෙන වචනයට අදාළ අරුත තනිකරම අයිති සංස්කෘතික ඇමැතිට. මේ රටේ ජාතිය හදන්න බාරව ඉන්නෙ ඔහු. අනුර ඇතුලු අනිත් 158 දෙනා ම හතර වරං ගැහුවත් පාරවල් ගොඩනැගිලි සැප පහසු බස් නගර ගම් සේරෝම සංවර්ධනය කරත් වැඩැක් නෑ මාලිමා සංස්කෘතික ඇමැති ජාතිය නිර්මාණය නොකර. ඒක හැඟීමක්. ඒක ප්‍රවාහයක්. ඒක අදාළ සංස්කෘතික දේශපාලනයට. මිනිස්සු වෙනස් කරන්න නම් ඒක කරන්න පුළුවන් භාෂාවෙ ඉඳල. මොහු ඒ ගැන දන්න කෙනෙක්. මාක්ස්ට වඩා ඔහු සෝශියෝ දන්න මිනිහෙක්. කොටින් ම ඔහු ගේ දැණුම් සම්භාරය හොඳටම ඇති මේ රටේ ආකල්පමය වෙනසක් ඇති කරන්න පටං ගන්න. මේ රටේ උගතුන් බුද්ධිමතුන් ඒක රාශී කරන නව සමාජ කතිකා දියත් කරන්න. මතක තියා ගන්න ජපානය චීනය වගේ රටවල් වෙනස් කරේ ඒ රටවල හිටපු සංස්කෘතික ඇමැතිවරු ප්ලෑන් කරල මිනිස්සුන්ගෙ ඔළු වෙනස් කරපු නිසා කියන එක .
ආණ්ඩුව (සංස්කෘතික ඇමති) පෙරෙට්ටන්ට බය ද...?
එත් මේ යෝධය මොනවද මේ කරන්නෙ...? පාදඩ මෝඩ සිංහලය මොහොතකට පැත්තකින් තියමු. අර තුවාල වෙච්ච දෙමළ මිනිහගෙ හිත රිද්දන්නෙ කොහොමද මාලිමාවෙ සංස්කෘතික ඇමැති...? හරිනම් එයා කරන්න ඕන අදහස් ටේබල් එකට ගේන එක; ඒව සමාජයට මුදා හරින එක; ඒවා සාකච්ඡාවට ගන්නඑක. එක එක තක්කඩි චීවරධාරී සිවුරු රඳවනලට ඕන විදියට ආණ්ඩු කරන්න නෙවේ අපි මාලිමාවට ඡන්දෙ දුන්නෙ. අනිත් එක තමයි... 'මේ තහනම් කරපු පොත් දෙක ආරක්ෂක අමාත්‍යංශයෙන් කරේ; මට ඒක අදාළ නෑ' වගේ ගොබ්බ උත්තරය්ක් දුන්නෙ කොහොම ද...? අනෙක තමයි ඇමැති දන්නව තහනම් කරපු පොත් දෙක කියන්නෙ ම මීට කලින් පත්තරවල ගිය ඒව කියල. ඒ තියෙන්නෙ ලංකාවේ ඉංදියාවෙ පත්තරවල ගිය තීරු ලිපි සහ සම්මුඛ සාකච්චා. ඇයි ඒව පොතක් විදියට එනකොට තහනම් කරේ...? පෙරෙට්ටො මේක පිටිපස්සෙ දඟලන නිසා ද...? පිස්සුද අනේ...? පෙරෙට්ටන්ට බය ද මේ අපේ ඇමැති...? හරි අපි හිතමු වර්ස් සිනාරියෝ එක වෙන්න පුළුවන් ආපහු ඊළමක් ඕන ඒ වෙනුවෙන් පෙළ ගැහෙමු කියල මතයක් තියෙනව කියල. ඉතිං...? ඇටයක් පැළවෙන්න ඇටයක් තිබ්බට වැඩැක් නෑ පොළවක් තියෙන්න ඕන. අදහස් මග ඇරල, වළක්වල, තහනම් කරල නූතනය තුළ ගමනක් යන්න බෑ සංස්කෘතික ඇමැතිවරයා. බලන්න මේ සිද්ධිය එක්ක ඔයා එක්ක තරහ වෙච්ච අය...? අශෝක හදගමල අඩුගානෙ චූලා සමරනායකලා වගේ අය පවා මේකට විරුද්ධ වෙන එක සීරියස් විදියට ගන්න මොහු අසමත් වෙලා තියෙනව.
කරුණාකරල 30/4 හක්මනට මහජන සභා පුස්තකාලයට එන්න
ඉතිං අපේ ආදර ඇමැති සහෝදර සුනිල් අයියේ... අපි ඔහේලව පාර්ලිමේන්තුවට යැව්වෙ නීති මදි නම් නීති හදල හරි මේ රට යහපත් රටක් කරන්න. මේක චාන්ස් එකක්; මේක අත අරින්න එපා. පිස්සු කෙළින්නෙ නැතිව පොත් දෙක රිලීස් කරල අපි සාකච්ඡාවට ගමු. මොකෝ ඔය හැටි අදහස් වලට බය...? කරුණාකරල 30/4 හක්මනට මහජන සභා පුස්තකාලයට එන්න. එදාට දීප චෙල්වම් එනවා. අපි එදාට කාටත් නොපෙනෙන්න හොරෙං ගිහින් ඌව බදාගෙන මේ රටේ සිංහලය වෙනුවෙනුත් උගෙන් සමාව ගමු.
Sarath Premathilaka
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
