පෙරපර දෙදිග නාට්‍ය කලාව පිළිබඳ ප්‍රවීණාචාර්යවරයකු වූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු පසු ගිය දා සිය දිවි සැරිය නිම කළේ ය.
අනතුරුව ඔහු පිළිබඳ විවිධ මතකාවර්ජන: මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික මෙන් ම සමාජ මාධ්‍ය පුරා ද අසන්නට කියවන්නට ලැබිණ.
මෙම කරුණු අතර ''මයිකල් ප්‍රනාන්දු කියලා කවුදෝ කෙනෙක්...'' යනුවෙන් එකල පැවසූ විශ්විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව ඉගැන්වූ (ඇය තවමත් උගන්වනවා දැයි නොදනිමි) ආචාර්යවරියක පිළිබඳව ද යම් යම් කරුණු සමාජ මාධ්‍යයෙහි දක්නට ලැබිණි. ඒ අතර අදාළ ආචාර්යවරිය ''මයිකල් ප්‍රනාන්දු කියලා කවුදෝ කෙනෙක්...'' යනුවෙන් ප්‍රකාශ කරන්නට හේතු පාදක වූ නිමිත්ත සමාජ මාධ්‍යයේ තිබී කියවන්නට ලැබිණ.

එම සටහන මහාචාර්ය රත්නසිරි අරංගල ලියා තිබුණේ අදාළ කරුණ සම්බන්ධයෙන් face book පිටුවක දක්වා තිබූ අදහසකට ප්‍රතිචාර වශයෙනි. මහාචාර්ය රත්නසිරි අරංගල එය කොටස් තුනක් ලෙස ලියා තිබුණේ face book පිටුවෙහි ප්‍රතිචාර දැක්වීමේ දී පැන නගින තාක්ෂණික තත්ත්වයක් හේතුවෙන් යැයි හැඟුණ බැවින් අපි එය තනි ලියවිල්ලක් ලෙස ඉදිරිපත් කරන්නට අදහස් කළෙමු.
මහාචාර්ය රත්නසිරි අරංගල
මීට අමතරව අදාළ ප්‍රතිචාර දැක්වීම තුළ විශ්වවිද්‍යාල තුළ පවත්නා විවිධ ගැටුම් අතුරෙන් අංශුවක් පමණ පිළිබිඹු වීම ද මෙය පළ කිරීමට හේතු පාදක විය.
මෙම කරුණ ම පාදක කරගනිමින් පළ වූ තවත් ලියවිල්ලක් මතුවට ද ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වන්නෙමු.
මතු පළ වන්නේ මහාචාර්ය රත්නසිරි අරංගල විසින් face bookහි දක්වා තිබූ ප්‍රතිචාරය යි.
මා ආචාර්ය මයිකල් ප්‍රනාන්දු පළමු වරට දැක කතාබහ කළේ 1982 දී පමණ කොළඹ මරදානේ පන්සල පාරේ (හිටපු සංස්කෘතික අමාත්‍යවරයතු වූ ඇස්. ඇස්. කුලතිලකට අයත් නිවසෙහි යා ගෙයි පිහිටි මිත්රත්ව මන්දිරයේ දී ය. ඒ ජනතා ලේඛක පෙරමුණ සහ ජර්මන් ප්‍රජාතන්ත්රවාදී ජනරජ මිත්‍ර සංගමය සංවිධානය කළ බර්ටෝල්ට් බ්රෙච්ට් අනුස්මරණ සභාවක දී ය. ඉන් පසු ව වරින් වර කොමියුනිස්ට් පක්ෂයේ සහ ජනතා ලේඛක පෙරමුණේ කටයුතුවල දී ද, වෙනත් සාහිත්‍ය සම්මන්ත්‍රණාදියේ දී ද එතුමා මුණ ගැසිණි.
පෞද්ගලික හිතවත්කම් සහ විද්වත්හු
2015 දී මා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ අංශාධිපති ධුරය භාර ගත් පසු අධ්‍යයන සහ විභාග කටයුතු විධිමත් මෙන් ම ප්‍රමිත කිරීමේ අරමුණින් මම ඇතැම් ජ්‍යේෂ්ඨ ආචාර්යවරුන්, ආරාධිත දේශකයින්, ප්‍රශ්න පත්‍ර ප්‍රමිති කරන්නන් සහ දෙවන පරීක්ෂකවරුන් වශයෙන් සම්බන්ධ කර ගත්තෙමි. ඒ වන විට (1995න් පසු ව) ජපුර සිංහල අංශයේ පැවතුණේ හිතවතුන්ට ආරාධිත දේශන පැවරීමත් අල්ලපු මේසයේ හෝ එහා කාමරයේ හෝ සිටින ආචාර්යවරයකු ලවා 'කණ අත්සන' ගස්වා ගෙන 'ප්‍රමිත යි' යනුවෙන් ලියූ ප්‍රශ්න පත්‍ර ඉදිරිපත් කිරීමත් පළමු පරීක්ෂකගේ ලකුණු ලේඛනය අධ්‍යයනාංශයේ ලිපිකාර මහතා හෝ ආධුනික කථාකාචාර්ය/ තාවකාලික නිබන්ධකවරයතු ලවා පිටපත් කරවා අත්සන් කර දීමත් බැවින් මගේ වැඩ පිළිවෙළ බොහෝ දෙනාට නොරුස්සන්නක් විය. මා මගේ පෞද්ගලික හිතවතුන්ට මුදල් ලබා දීමට මෙසේ පරීක්ෂකවරුන් වශයෙන් පත් කරන බවට ඇතැමුන් විගණක අංශවලට සහ අල්ලස් කොමිසමට ද පැමිණිලි කර තිබිණි. ඒ පැමිණිලිවලට එදා සිටි උපකුලපති ද අනුග්‍රහය ලබා දුන් බව පැහැදිලි ව පෙනෙන්නට තිබිණි. (මගේ පෞද්ගලික හිතවත්කම නිසා එසේ පත් කරනු ලැබුවෝ නම් ජේ. බී. දිසානායක, කේ. එන්.ඕ. ධර්මදාස, චන්ද්‍රසිරි පල්ලියගුරු, ගාමිණී දෑළබණ්ඩාර, මයිකල් ප්‍රනාන්දු, ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමි, ආනන්ද තිස්ස කුමාර, සඳගෝමි කෝපරහේවා, රත්න විජේතුංග, රංග කලන්සූරිය ආදීහු ය. චින්තක රණසිංහ සහ ගනුෂ්ක රන්දුල ද ඇතැම් දේශන සහ පරීක්ෂා කටයුතු සඳහා මවිසින් නම් කෙරුණු දෙදෙනෙකි.)

ලංකාවෙ බ්රෙච්ට්
මයිකල් ප්‍රනාන්දු ම'විසින් නම් කෙරුණේ නාට්‍ය හා රංග කලාව සම්බන්ධ ප්‍රශ්න පත්‍ර ප්‍රමිත කිරීම සහ අදාළ පිළිතුරු පත් දෙවන වර ලකුණු කිරීම සඳහා ය. මුලින් ම එතුමා ගේ නම අ්‍යයනාංශ විභාග පරීක්ෂක ලේඛනයෙහි ඇතුළත් කර ඒ ලේඛන පීඨ සභාවෙහි අනුමතියට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ නාට්‍ය හා රංග කලාව 'ඉගැන්වීම' පවරා ගනු ලැබ සිටි ආචාර්යවරිය එයට විරුද්ධ ව 'තෙපුල් ලන්නට' වූවා ය. ඇයගේ 'තෙපුල් ලෑමෙහි' දී කියවුණේ 'මේ මයිකල් ප්‍රනාන්දු කියලා කවුදෝ කෙනෙක්' තමන් ගේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතකරණයට නම් කර ඇති බව යි. ඒ වන විට පීඨාධිපති ව සිටි මහාචාර්ය චන්ද්‍රකුමාර ඒ නාදය හමුවේ අසරණ වූ බව පෙනිණි. ඊට පිළිතුරු දුන්නාහු අනුරුද්ධ ප්‍රදීප් කලන්සූරිය සහ (අභාවප්‍රාප්ත) ටෙරන්ස් පුරසිංහ (ඇතැම් ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන් සහ මා අතර ගැටුම් පවා මතු වී තිබුණු බව කිව යුතු ය.) දෙපළ යි. ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ගැන 'කවුදෝ කෙනෙක්' යනුවෙන් පැවසීම ම අදාළ ආචාර්යවරිය නාට්‍ය හා රංග කලාව විෂය සම්බන්ධයෙන් නුසුදුසුකම පෙන්වන්නක් බව කී ඔවුහු තමන් සිංහල හෝ නාට හා රංග කලාව හෝ නො හදාළ සහ මයිකල් ප්‍රනාන්දූ ගේ දේශපාලන මෙන් ම දෘෂ්ටිමය පදනම සම්බන්ධ යම් විවේචන ඇතත් නාට්‍ය හා රංග කලාව විෂයයෙහි ඔවුන් ගේ ප්‍රාමාණිකත්වය එක හෙළා පිළිගන්නා බව ඔවුහු පැවසූහ.
''මයිකල් සර්ට කිව්වෙ ලංකාවෙ බ්රෙච්ට් කියලා,'' යනුවෙන් පුරසිංහ පැවසී ය. (බ්රෙච්ට් කෙසේ වෙතත් බ්රෙස්ට් ගැන නම් විශේෂඥයින් නච්චගීතවාදිතාදි විෂය ගැන කෙළතොල්ලන් අතර වන බව දන්නෝ දනිති)

අත් අකුරු සහ අත්සන
මයිකල් ප්‍රනාන්දූන් විසින් ප්‍රමිත කරන ලද ප්‍රශ්න පත්රයක් අදාළ ආචාර්යවරිය විසින් ඉවත දමා ඇය ගේ හිතුමතයට සැකසූ ප්‍රශ්න ඇතුළත් පත්‍රයක් ශිෂ්‍යයින්ට බෙදා දී තිබිණා ය. ඇය ප්‍රමිත කෙරුණු පත්‍රය ඉවත දමා ප්‍රමිත නොකෙරුණු පත්‍රයක් විභාගයට ලබා දුන් බව පැමිණිලි කිරීමට විභාග අංශයේ පරිපාලනය පවා එදා බිය වූ බව පෙනිණි. ඉන් පසු ව ඇය තමන් එසේ කළ බවත් මයිකල් ප්‍රනාන්දු නමින් ඇය ගේ ප්‍රශ්න වෙනස් කර අත්සන් කර ඇත්තේ අරංගල බවත් කියමින් උපකුලපතිවරයාට ලිපියක් යවා තිබිණි. මට එහි පිටපත ලැබුණු පසු මෙය විභාග අක්‍රමිකතාවක් බව පෙන්වා දෙමින් මම ඒ සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර එය සනාතන සභාවේ ද අවධානයට යොමු කෙළෙමි. එහි ප්‍රතිඵලය වූයේ ඒ සම්බන්ධයෙන් අනිකුත් පීඨවල ජ්‍යේෂ්ඨ ආචාර්යවරුන් කිහිප දෙනකු යටතේ විමර්ශනයක් සිදු කිරීමට පාලක සභාව තීරණය කිරීම යි. ඒ විමර්ශනයේ දී තමන් එක් එක් ප්‍රශ්නයෙහි වෙනස්කම් සහ සංශෝධන සිදු කිරීමේ න්‍යායාත්මක හා ශාස්ත්‍රීය පදනම සම්බන්ධයෙන් මයිකල් ප්‍රනාන්දු පැහැදිලි ව කරුණු දක්වා අදාළ අත් අකුරු සහ අත්සන තමන්ගේ බව කියද්දී ද ඒ අකුරු හා අත්සන අරංගල ගේ යැයි අදාළ ආචාර්යවරිය පවසා තිබිණි. විමර්ශන කමිටුව ඇය ගේ අක්‍රමිකතාව පෙන්වා දී තිබුණු නමුදු පරිපාලනය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නො ගැනීම පුදුමයට හේතුවක් නො වුණේ ඉහළ අතකින් ඇයට රැකවරණය සැලසී තිබුණු බැවිනි.

19වන සියවස සහ 20වන සියවස
ඊ් ළඟ අර්ධ වාර්ෂිකයේ දී ඇයගේ ම ප්‍රශ්න පත්‍රයක වූ 19 වන සියවසේ නාට්‍ය කලාව සම්බන්ධ ප්‍රශ්නයකට ඇය දී තුබුණු ලකුණු ප්‍රශ්නයේ අන්තර්ගතයට සහ ලකුණු දීමේ කිසිදු පටිපාටියකට අනුකූල නො වන බව මයිකල් ප්‍රනාන්දු පෙන්වා දීම නිසා නැවතත් ගැටුමක් ඇති විය. සිසුන් 19වන සියවසේ ලංකාවේ නාට්‍යකරුවන් හැටියට සාකච්ඡාවට ලක් කර තිබුණේ: එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම ආදීන් ය. ඔවුන් විසි වන සියවසේ නාට්‍යකරුවන් බව පෙන්වමින් අදාළ ප්‍රශ්නයට සිසුන් ලියා තිබුණු පිළිතුරුවලට ලකුණු පිරිනැමිය නො හැකි බව ප්‍රනාන්දු දන්වා තිබිණි. (තමන් 19 වන සියවස සේ සලකන්නේ 1900-2000 කාලය බවත් සිසුන්ට උගන්වා තිබුණේත් ඒ අන්දමට බවත් ආචාර්යවරිය පවසා තිබිණි.) ප්‍රශ්නය විසි වන සියවසේ නාට්‍යකරුවන් සම්බන්ධයෙන් යැයි සලකා ලකුණු ලබා දෙන ලෙස උපතුලපතිවරයා ප්‍රනාන්දු ගෙන් ඉල්ලා සිටි නමුදු එතුමා ඊට විරුද්ධ විය. ඉන් අනතුරු ව අදාළ පිළිතුරු පත් තෙවන වර පරීක්ෂාව සඳහා පීඨ හා සනාතන සභා අනුමතිය මත ගාමිණී දෑල බණ්ඩාර වෙත යවා ඇත; එතුමා ද මයිකල් ප්‍රනාන්දු ගේ අදහස් සමග එකඟ වෙමින් 19වන සහ 20වන සියවස් වටහා ගත නො හැකි අය විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයේ සේවය කිරීම ගැන තමන් විමතියට පත් වන බව ද දන්වා තිබිණි.
පල්ලියගුරු නමින් අරංගල
මහාචාර්ය චද්‍රසිරි පල්ලියගුරු විසින් ප්‍රමිත කළ ප්‍රශ්න පත්‍රයක් ද පල්ලියගුරු නමින් අරංගල තමන් ගේ ප්‍රශ්න වෙනස් කර පල්ලියගුරු යනුවෙන් අත්සන් කර ඇතැයි කළ පැමිණිල්ලක් නිසා උපකුලපතිවරයා ඇය ගේ සිත සතුටු කිරීමට පල්ලියගුරු ගෙන් කරුණු විමසීම සඳහා විශ්වවිද්‍යාලයේ වාහනයකින් විභාග අංශයේ සහ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ලේඛකාධිකාරිවරියන් පිටත් කර යවා තිබිණි.
මහාචාර්ය සුරවීර විසින් ආරම්භ කරන ලද ලේඛකත්ව හා සන්නිවේදන පාඨමාලාවට ද ආරම්භයේ දී මයිකල් ප්‍රනාන්දු සම්බන්ධ වී තිබිණි. මා ඒ පාඨමාලවේ අධක්ෂ ධුරය බාර ගත් පසු එතුමා නැවත ඒ සඳහා කැඳවීමි. සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය ද නො තකමින් විශ්ව නාට්‍ය වංශයේ ශ්‍රේෂ්ඨ නිර්මාණයන්හි වීඩියෝ දර්ශන ද ඉදිරිපත් කරමින් එතුමා අදාළ දේශන පැවැත්වීම සිසුන්ට අතිශයින් වැදගත් වූ අතර ඒ ඒකකය සිසුන්ගේ ප්‍රියතම ඒකකයක් බවට පත් ව තිබිණි.
මයිකල් ප්‍රනාන්දු ගෙන් උගත් දෑ
සුලෙයිමාන් ටෙරස්හි පිහිටි එතුමා ගේ නිවසේ දී නාට්‍ය කලාව සම්බන්ධයෙන් මෙන් ම දේශපාලනය සම්බන්ධයෙන් ද වරින් වර අපි බොහෝ වේලා කතා බහෙහි නිරත වීමු. තමන් සතු ව පැවති සිංහල ශබ්දකෝෂයේ කාණ්ඩ රාශියක් එතුමා එවැනි අවස්ථාවක මා හට පරිත්‍යාග කෙළේ ය. මා සතු ව නො තිබුණු කිහිපයක් හැරෙන්නට එයින් වැඩි කොටසක් මම ගනුෂ්ක රන්දුල මිතුරාට පරිත්‍යාග කෙළෙමි.
විශ්වවිද්‍යාලයක හෝ වෙනත් විද්‍යායතනයක මට ඉගැන්වූ ගුරුවරයකු නො වුව ද මයිකල් ප්‍රනාන්දු ගෙන් මම සාහිත්‍යාදි කලා සම්බන්ධයෙන් ද, දේශපාලනය සහ සමාජ සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් ද බොහෝ දේ උගත්තෙමි. එතුමාට මගේ ආචාරය සහ උපහාරය පුදමි...!
රත්නසිරි අරංගල

