හරිණි අමරසුරිය පිළිබඳව ජවිපෙ/ ජාජබ මුනිවත රකින්නේ ඇයි...?

හරිණි අමරසුරිය පිළිබඳව ජවිපෙ/ ජාජබ මුනිවත රකින්නේ ඇයි...?

හරිණි අමරසූරිය සහෝදරියගේ පුද්ගලික ජීවිතය ඉලක්ක කරමින් කලක් තිස්සේ සැලසුම් ගතව දියත් කළ අභූත චෝදනා ඉංග්‍රීසි මොඩියුල සිදුවීම සමග තීව්‍ර වී ඇත.

ඇයගේ ලිංගික නැමියාව සමරිසි වන බවත්, ඉන් රටේ 'සංස්කෘතික සභ්‍යත්වයට' හානි පැමිණවීම අරමුණ කර ඇති බවත් විපක්ෂයේ විවිධ පාර්ශවවල වර්ගවාදීන් පැතිරවූ කටකතා මේ වනවිට පොදු ජන විඥානය තුළ ඇය පිළිබදව යහපත් නොවන චිත්‍රයක් ඇද තැබීමට බලපා ඇති බව පෙනෙයි.

ජවිපෙ නිහඬතාව

හරිණි සහෝදරිය ආණ්ඩුකරණ දේශපාලනයට අවතීර්ණ වීමට පෙර සිට ම ආන්තික සමාජ-ලිංගභාවී ප්‍රජාව අයිතිවාසිකම් වෙනුවෙන් යම් හඬක් නැගූ ක්‍රියාකාරිනියක් වූවා ය. එහෙත් මම දන්නා තරමින් ඇය සමරිසි ලිංගික නැඹුරුවකින් යුත් ස්ත්‍රියක් නොවෙයි. එය එසේ වූවා ද කම් නැත. එහෙත් ඇය ස්ත්‍රියක් ලෙසත් සහෝදරියක් ලෙසත් මෙසේ ලිංගවාදී අපහාස, උපහාසවලට දිගින් දිගට ම මුහුණ දෙද්දී ඇය බැඳී සිටින දේශපාලන ව්‍යාපාරයේ ක්‍රියාකාරී සගයින් ඇය වෙනුවෙන් තීරණාත්මකව පෙනී සිටින බවක් පෙනෙන්නේ නැත. රංවල සිදුවීමේ දී ඔහු පක්ෂයේ දිගුකාලීන (පුරුෂ) සාමාජිකයකු වීම නිසා ඔහුගේ පක්ෂ සගයින් කිහිපදෙනකු ඔහු වෙනුවෙන් පෙනී සිටි බවක් දක්නට ලැබුණ ද, හරිණි මුහුණ දෙමින් ඇති චරිත ඝාතන ගැටලුවේ දී එවැන්නක් දක්නට ලැබෙන්නේ නැත.

බලය ලබා ගත් පසු LGBTQ කතිකාව නිශ්ක්‍රීය කිරීම

මෙතන දී සමරිසි මනුෂ්‍ය සබදතා ඇතුළු ලිංගිකත්වයේ සමාජ-භාවී අයිතීන් සම්බන්ධයෙන් ජවිපෙ වර්ගයේ ජාතිකවාදී-වාමාංශික උරුමයට ඇත්තේ ලැජ්ජාශීලී බැහැරකිරීමක් හෝ මුනිවතකි. පෙසප වැනි පක්ෂයක් ද එම උරුමයේම ප්‍රකාශනයකි. ජවිපෙ/පෙසප ධාරාවේ නොවන වෘත්තිය සමිති වාමාංශයේ අඩුම කුඩුමවලට ද සමාජ-ලිංග භාවී මාතෘකා තහනම් කලාප වේ. එහෙත් මෙතන දී ගැටලුව වන්නේ සිය පූර්ව මැතිවරණ වේදිකා මත ආන්තික සමාජ-ලිංගභාවී ප්‍රජාව වෙත යම් ආමන්ත්‍රණයක් පළ කළ ජාතික ජන බලවේගය අද බලය ලබා ගත් පසු මෙම කතිකාව නිශ්ක්‍රීය කර දමා තිබීම යි. හරිණි ගේ ශරීරය හරහා ආන්තික සමාජ-ලිංගභාවී ප්‍රජාව බරපතළ අපහාසයන්ට ලක් කෙරෙද්දී එදා ඔවුන් නියෝජනය කෙරෙන බවක් ඉඟි කළ ව්‍යාපාරය නිහඩ වෘතයක් නඩත්තු කරමින් සිටියි. මෙකී සමරිසි මාතෘකාවට අදාළ සියලු 'කුණු' හරිණි ගේ පිටින් යන නිසා එම 'කුණු ගොඩට' නොවැටී සිටීමට පක්ෂ-ව්‍යාපාරය දැනුවත්ව ප්‍රවේශම් වන බවක් මින් ප්‍රදර්ශනය වේ. පූර්ව මැතිවරණ කාලයේ LGBTQ ප්‍රජාවන් සම්බන්ධ කතිකාව හුදු දේශපාලන වාසියකට පාවිච්චි කළා මිස ජවිපෙ ක්‍රියාධර සමූහය වෙත එම සමාජ කතිකාව විවෘත කිරීමක් සිදුනොවූ බව මින් උදක්ම පැහැදිළි වේ.

හරිණි, ගතානුගතික ජවිපෙ හැඩය වෙනස් කිරීම

අනෙක් අතට මේ මොහොතේ හරිණි අමරසූරිය සහෝදරිය වෙනුවෙන් පෙනී සිටීමට හැකියාවක් හා සූදානමක් පැවතිය හැකි ප්‍රගතිශීලී හා ලිබරල්-වාම පාර්ශව ද ඇය සම්බන්ධයෙන් සිටින්නේ අතෘප්තිමත් නොසතුටකින් බව කිව යුතු ය. ඇයට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු ආසනයක් ලබා දුන් තීරණයේ සිට වත්මන් අගමැති/අධ්‍යාපන ඇමති ධුරය ලබාගැනීම දක්වා වූ කාලය තුළ ඉහත කී පාර්ශවවල වඩාත් ආකර්ෂණීය තෝරාගැනීම වූයේ හරිණි අමරසූරිය යි. ගතානුගතික ජවිපෙ හැඩයට වඩා ජාතික ජන බලවේගයේ වෙනස් වර්ණය පෙන්නුම් කිරීමට ඇයගේ ප්‍රතිරූපය එවක දී අපේක්ෂා සහගත විය. එහෙත් ඇය සිය අධ්‍යාපන අමාත්‍ය තනතුර තුළ ක්‍රියාකාරී වීමට පටන් ගත් පසු දක්වමින් තිබෙන්නේ යම් ආකාරයක අත්තනෝමතික ස්වාභාවයකි. විශේෂයෙන් ම ජාතික වැදගත්කමකින් යුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ඉදිරිපත් කර සිටීමේ දී ඇය සිය නිල බල ආයතනවල ඉහළ ධුරාවලිය පමණක් විශ්වාස කර කටයුතු කරන තැනකට සීමා වූවා ය. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැනෙන පරිවර්තනයක් කිරීමේ දී අත්‍යන්තයෙන්ම අවශ්‍ය වන පුළුල් සාකච්චාවකට ඇය විවෘත නොවූවා පමණක් නොව ඊට අදාළ තීරණාත්මක පාර්ශව සිය ක්‍රියාවලියෙන් දුරස්ථ කර හෝ අවප්‍රමාණ කර තැබීමට ඇය පරිස්සම් වූ බව පැහැදිලිව දක්නට ලැබිණි.

හදිසිය නිසා නිර්මාණය කරගත් විකාරය

ඇය ප්‍රමුඛ බලධාරින්ට පැවතියේ එවැනි පුළුල් කතිකාවකින් තොරව සැකසූ සිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමේ කුලප්පුවකි. 'ජාතික අධ්‍යාපන ආයතනය' නම් වූ වසංගතය හරහා මේ වනවිට මතු වී ඇති ප්‍රශ්නය එම කුලප්පුවේ ම එක් නිදර්ශනයක් පමණී. 'අධ්‍යාපන ප්‍රතිසංස්කරණ' නාමයෙන් ගෙන ඇති අනෙකුත් කාරණා බොහොමයකම ඇත්තේ ද එවැනි පටු හදිසිය නිසා නිර්මාණය කරගත් විකාරයන් ප්‍රමාණයකි. මෙම පසුබිම තුළ හරිනි අමරසූරිය යනු ප්‍රජාතන්ත්‍රවාදී සංවාද භාෂණයට විවෘත සහ සමාජ-ආයතනික පරිවර්තනයන්ගේ සාකල්‍ය අර්ථය වටහා ගත් තැනැත්තියක් ලෙස ප්‍රගතිශිලී මෙන් ම ලිබරල්-වාම පාර්ශවය ඇය ගැන තිබූ චිත්‍රය මේ වනවිට බොහෝදුරට දුර්වර්ණ වී තිබේ. ඇයගේ පුද්ගලික චරිතය ලිංගභාවී අර්ථයෙන් අපහාසයට ඉලක්ක වෙද්දී ඇය වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය පිරිස් පවා මේ වනවිට මන්දෝත්සාහී වීමට ඉහත කී ඇයගේ තානාන්තර භාවිතය හේතු වී ඇති බවක් පෙනෙයි.

තනි ගැහැනිය ගේ ආත්ම ගරුත්වය රැකිම

එහෙත් අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස වන ඇයගේ අපරිණත ලක්ෂණ විවේචනයට සහ විචාරයට බඳුන් කරන අතරේ ම ස්ත්‍රියක සහ සහෝදරියක ලෙස ඇයව අපහාසයට ලක් කිරීමේ කුප්‍රකට මෙහෙයුමට එරෙහිව ද ප්‍රගතිශීලී හඬ අවදි විය යුතුව ඇත. ඒ හරිණි නම් වූ තනි ගැහැනියගේ ආත්ම ගරුත්වය කෙළෙසීමට දරන දුෂ්ට අරමුණට ඉඩ නොතැබීමට පමණක් නොව පටු ලිංගවාදී-සංස්කෘතික තත්වාරක්ෂක ව්‍යාපෘතිවල මතුවීම් ව්‍යර්ථ කර දැමීම ප්‍රගතිශීලී දේශපාලන වගකීමක් වන බැවිනි. මන්ද යත් මෙවර ජරපත්, දූෂිත හා වර්ගවාදී විපක්ෂ ප්‍රවණතා යළි හිස ඔසවන්නට මාන බලන දෘෂ්ටිමය අඩවිය වනාහී ගතානුගතික සංස්කෘතික ආරක්ෂණවාදය වීමට බොහෝදුරට ඉඩ ඇති නිසා ය.

Vidarshana Kannangara

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න