L කැන්ටින් එකේ වසන්ත අයියට මේ පාර ටෙන්ඩර් එක ලැබිලා නෑ කියලා නෝට් එකක් දාලා එයාගේ සමුගැනීම සටහන් කරලා තිබුණා දැක්කා.
වසන්ත අයියා වගේ කෙනෙක්ට ටෙන්ඩර් එක නොලැබුණ එකේ පාඩුව දැනෙන්නේ කැම්පස් එකක කැන්ටිමකින් කාලා තියන මනුස්සයෙක්ට.
කෑමවල තිබුණ මැජික් එක

මම කැම්පස් අපේ මොරටුව කැම්පස් එකෙන් ඇරෙන්න එක එක වැඩසටහන් වලට ගිහින් තව කැම්පස් පහක කැන්ටින්වලින් කෑම කාලා තියනවා.සමහර කෑම ජීවත් වෙන්න කෑවා මිසක් රහකට කෑව කෑම නෙවේ. මොරටුව කැම්පස් එකෙත් අටෝරාශියක් කැන්ටින් තිබුනට අපේ කාලේ රහට කන්න පුළුවන් කැන්ටින් එකකට තිබුනෙ එල් එක විතරයි. එල් එකේ බත් එකක් කන්න බෝඩිමේ උදේම ඇහැරෙන එකා හැටියට මම කැන්ටිමේ පෝලිමට යන්නේ පාන්දර 6.15 ට. අටට පටන් ගන්න ලෙක්චර් එකකට උදේ හයේ ඉදලා පෝලිමක ඉඳලා කෑම ගන්න තරම් එල් එකේ කෑමවල තිබුනා මැජික් එකක්. වසන්ත අයියා හයයි පනහා විතර වෙද්දි තමා කැන්ටින් එකේ ඇතුළෙ දොර අරින්නේ. මම හයයි විස්සට යද්දිත් සමහරදාට පෝලිමේ තව දහයක් විතර ඉන්නවා. කොහොම හරි වසන්ත අයියා දොර අරිනකොට පෝලිම කැන්ටින් එකෙනුත් එල් හැඩේට එලියටත් යන තරම් දුරයි. රතු බත්, පොල් සම්බෝල, පරිප්පු, මාළු හොඳි, එක්ක මුං ඇට රුපියල් දහයක. මේක තමා අපේ මෙනු එක. මේකෙන් කෑම හතරක් ගන්න මම පෝලිමේ ඉන්න අතරේ අනිත් අපතයෝ ටික එනවා ලෑස්ති වෙලා මං පෝලිමෙන් අරන් දෙන කෑම ටික ගන්න.
'ටිං ටිං', 'ටොං ටොං' සහ 'ටුං ටුං'

කොයි ලෝකේ ගියත් මගේ ජීවිතේ දිව්‍යමය ආහාරය කිරිබත් නිසා මම ගන්නේ කිරිබත් එකක් ගොඩක් වෙලාවට. කිරිබත් එකට ලුණු මිරිස් එක්ක මාළු හොඳි දාලා දුන්නාම ඒකේ තියන රහ තාමත් මතක් වෙනවා. එල් එකේ දවල්ට බත් නැති නිසා සමහර දවස්වලට කෑම පහක් අරන් පාර්සල් දෙකක් තුනක් ගන්නවා දවල්ට කන්න. මොකද දවල්ට කන්න හරිහමන් කඩයක්වත් අහලක නැති නිසා. වසන්තයිය ගේ කෑම එකේ තිබුන මැජික් එක තමයි මුළු කැම්පස් එකට ම ඇතිවෙන්න කල්දේරම් ගණන් උයන්නැ. පෝලිමේ කී දාහක් හිටියත් වසන්තයියා උයන්නේ මිම්මට. වසන්තයියා කෑම එක බෙදන්නෙත් මිම්මට කලාවට. පෝලිමේ සීයක් හිටියත් වසන්තයියා වැඩ කරන ස්පීඩ් එක, කලාව වෙනසක් නෑ. පරිප්පු ටික බෙදලා හැන්ද 'ටිං ටිං' ගාලා දෙපාරක් බේසමට 'ටොං ටොං' ගාලා තට්ටු කරලා පැත්තක තියනවා, ඊළඟට හොඳි බෙදලා ඒ හැන්ද 'ටිං ටිං' ගාලා ගහලා පැත්තක තියනවා. ඊළඟට සම්බෝලේ ගන්න හැන්ඳ 'ටුං ටුං' ගාලා ගසලා ඒක පැත්තක තියනවා. එක බත් එකක් බෙදන්න අඩුම විනාඩි හතරක් විතර යනවා වසන්ත අයියගේ බෙදීමේ කලාවට. එතකම් පෝලිමේ ඉන්න උන් දත් මිටි කනවා, කැරකෙනවා, එබි එබී බලනවා, ගණන් කරනවා තව කීයක් ඉන්නවද කියලා චුක් චුක් ගගා මූණ ඇද කරගන්නවා, මේස වල ඉඳගෙන කන උන්ගේ කෑම දිහා බල බල කෙළ ගිලිනවා ඔය වගේ නානාප්‍රකාර දේවල් කරනවා තමන්ගේ වාරේ එනකම්.
සික්කාරයින්ට කුඩු නැති වුණා වගේ
වසන්තයියා උයන්නේ මිම්මටනේ. ඒ මිම්මට උයන එකේ වාසිය තමයි ගෙදර උයන කෑම එකක වගේ ලුණු, ඇඹුල්, මිරිස්,දෙහි තුනපහ දාලා සුවඳට රහට කෑම වේලක් කන්න හම්බෙන එක. අවාසිය තමා පෝලිමේ දුර සෙට් වුනොත් බත්, කිරිබත් ඉවර වෙනවා. එතකොට ඉතිං ඉතුරු දෙයක් තමා ගන්න වෙන්නේ. එල් එකෙන් කන්න බැරි වෙන දවසක් කියන්නේ අපිට නිකං සික්කාරයින්ට කුඩු නැතිවුනා වගේ වෙනවා. ඒ සික් එක නැතිවෙන්න රාජ බෝජන හම්බුනත් හරියන්නෑ.
අඩුම හවසට එල් එකට ගිහින් ප්ලේන්ටි එකයි රෝල් එකයිවත් කන්න ඕනා සික් එක නැතිවෙන්න. මම එල් කැන්ටිමෙන් මුලින්ම කෑවේ inauguration එක දවසේ. මටත් කලින් ඒකෙන් කෑම කෑවේ තාත්තා. අපි පොටෝ ගන්න අරවට මේවට කැම්පස් එක වටේ දුවද්දි අම්මලා තාත්තලා තැන් තැන්වල නවත්තලා ඉන්න අතරේ අපේ තාත්තා එල් එකෙන් කෑම එකක් කාලා ඇවිත් කිව්වා මාර රහ කෑම එකක් කෑවා කියලා. ඔන්න එදා ගිහින් කන්න පටන් ගත්ත එල් එකේ කෑම එක කැම්පස් එකෙන් අවුට් වෙනකම්ම කෑවා. වළ, ගොඩ, ගොඩ උඩ, ෆුඩ් කෝට් එක මේ මොනවා තිබ්බත් අපිට එල් එකෙන් ගැලවෙන්න බැරිවුණා.
ගෙදර වගේ බත් ටිකක්
කොහොම හරි ගෙවල්වලට නොයා ඉන්න ළමයින්ට අවුරුදු ගාණක් තිස්සේ ගෙදර වගේ රහ කෑම වේලක් කන්න දුන්නට වසන්තයියට පිං. සල්ලි දීලත් බල්ලෙක්ටවත් කන්න බැරි කෑම විකුණපු කැන්ටින්, කෑම කඩ අතරේ වසන්තයියව අපිට පෙනුණේ දෙවියෙක් වගේ. කැම්පස් එකේ අටෝරාසියක් මතක අස්සේ වසන්තයියගේ කෑමවලටත් වෙනම ම එපිසෝඩ් එකක් තියෙන්නේ සල්ලිවලටවත් රහට කන්න තැනක් නැති කාලෙක , අපිට ගෙදර වගේ බත් ටිකක් කන්න දුන්න නිසා. ඒ පිනම ඇති වසන්තයියට යන ඕන තැනක හරියන්න.
-නීනා-
උපුටා ගත්තේ Ninaa Kasthuriarachchi ගේ face book පිටුවෙන්

