පුවත්

ඩොලර් අර්බුදය තවත් උග්‍ර වෙයි !
ලංකාවට ඩොලර් මිලියන 1,180 ක් පසුගිය දින කීපය තුළ ගලාගෙන ඇවිත් යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පුරාජේරු කියා ඇත.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට අයත් වීමට නියමිත ඩොලර් මිලියන 780 හා චීනයෙන් හා බංග්ලාදේශයෙන් ලැබුණු අතමාරු ඩොලර් මිලියන 400 ක් සමඟය. ජුලි මාසය අවසන් වන විට රට සතු විදේශ සංචිත ප්රමාණය ඩොලර් බිලියන 2.8ක් විය. අලුතෙන් ලබාගත් ණය හා අතමාරු සමඟ සංචිත නැවතත් ඩොලර් බිලියන 4.0 සීමාවට ආසන්න වනු ඇත නමුත්
මෙම සංචිත කොපමණ කලකට සෑහෙනු ඇතිද?
චීනයෙන් ලැබුණු මුදල් කෘත්රීම ඉහළ මිලක් ගෙවා ලබාගත් SINOPHARM එන්නත වෙනුවෙන් බොහෝ දුරට වැයවීමට නියමිතය. එමෙන්ම මේ වසරේ තවත් ආසන්නයෙන් ඩොලර් මිලියන 900-1000 ක පමණ විදේශ ණය පියවීමට ද ඇත. ඒ හා සමග රටට අවශ්ය ඖෂධ, තෙල්, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි, පොහොර, හා අනෙකුත් අන්තර් හා ආයෝජන භාණ්ඩ ගෙන්වීමටද සංචිත භාවිතා කිරීමට සිදු වනු ඇත. ඒ අනුව සංචිත 2021 අවසාන වීමට පෙර හිදී යාමට නියමිතය. රාජ්ය මුල්ය බංකොලොත් භාවය,
රාජ්‍ය ණය ආපසු ගෙවීමට ඇති නොහැකියාව, ආනයන තව දුරටත් කිරීමට ඇති නොහැකියාව අපි දිගින් දිගටටම පෙන්වා දුනිමු. ඒ හා සමග රට තවත් භයානක අනතුරක මුව විටට පැමිණ සිටී. එනම් ශ්රී ලංකා මහා බැංකුව බංකොලොත් වීමේ අවදානම සහ වාණිජ බැංකු පද්ධතිය බිද වැටීමේ අවදානමයි. ‘සෞභාග්යයේ දැක්ම’ හරහා බැංකු සතු ශුද්ධ විදේශ වත්කම් ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස දැඩි ලෙස කඩා වැටීම මීට ආසන්නතම හේතුවයි. විදේශ විනිමය වගකීම් පියවීමට අවශ්ය ප්රමාණයට විදේශ විනිමය වත්කම් නොමැති විට රටක මහ බැංකුව වුවද බංකොලොත් වීමට හැකියාව ඇත.
අපි ප්රශ්න කිහිපයක් රටේ පාලකයන්ට ඉදිරි පත් කරමු.
• ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 50ක් වැනි සොච්චමක් දක්වා අඩු වෙන තෙක් ශ්රී ලංකා රජය සහ මහා බැංකුව සිදු කර ඇත්තේ කුමක්ද?
• පවත්නා අභියෝගයන් සඳහා අවශ්ය පියවර නොගෙන තව කොපමණ කලක් රට පවත්වා ගැනීමට රජයට හා මහා බැංකුවට හැකි වනු ඇතිද?
• විනිමය අනුපාතය කළමනාකරණය කර ගැනීමටත් රටට අවශ්ය ආනයන දිගටම පවත්වා ගැනීමටත් රජය ගන්නා පියවර මොනවාද?
• මුදල් අච්චු ගැසීම හැර ආර්ථික කළමනාකරණය සඳහා රජයට ඇති වෙනත් ක්රමෝපාය මොනවාද?
මේ වනවිටත් විදේශ විනිමය සම්පත් වෙනුවෙන් කළු කඩයක් නිර්මාණය වී ඇති අතර ඩොලරය කළු කඩයේ රුපියල් 240-260 ඉක්මවා විකිනෙමින් පවතී. විදේශ වල ඉගෙන ගන්න දරුවන්ට කෑමට බීමට වත් මුදල් යැවීම ප්රශ්නයක් වී ඇත. දැඩි හිඟය හමුවේ වාණිජ බැංකු සීමිත ඩොලර් සම්පත් සලාක ක්රමයට තමා කැමති ගනුදෙනු කරුවන් අතර බෙදාහරිමින් සිටියි. තෙල් ටෙන්ඩරයට සැපයුම් කරුවන් නොමැත. ඖෂධ, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි ආනයනය කිරීමට මුදල් නැත. මේ තත්වය යටතේ නැවතත් දුප්පත් කමෙන්, බඩ ගින්නෙන්, විරැකියාවෙන් පීඩිත, දර වලින් කෑම උයන, බක්කි කරත්තයෙන් ගමන් බිමන් යන යන, සුළු රෝගී තත්වයකිනුත් ජීවිතය අහිමි වන යුගයක පෙරනිමිති පහළ වෙමින් පවතියි. සරලවම කිවහොත් දශක ගණනාවකට පෙර තිබු ආර්ථික සමතුලිතයකට රට ගමන් කරමින් පවතී.
විදේශ මුදල් පමණක් නොව දේශීය මුදල් ගැන බැලුවද ආණ්ඩුව කෙරේ වෙළෙඳපොළ විශ්වාසය බිඳවැටී ඇත. හොඳම උදාහරණය වන්නේ පසුගිය අගෝස්තු 30 වන දා නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර දෙක (රුපියල් බිලියන 30 හා 20) සඳහා දේශීය වෙළෙඳපොලේ ප්‍රතිචාරය වූයේ ආණ්ඩුවේ ප්‍රතිලාභ වලට අනුකූලව රුපියල් බිලියන 04 ක් (8% ක්) පමණක් බවයි ! ඉතිරි බිලියන 46 (92%)සඳහා සල්ලි අච්චු ගැසීමට ඇතැම්විට ආණ්ඩුවට සිදුවනු ඇත.
පුරාජේරු. වගාඩම්බර වලින් ප්රශ්නය විසඳිය නොහැක. එක ණය වාරිකයක් ගෙවා සියලුම ණය ගෙවූ විලාසයෙන් හැසිරීම, අපට ජාත්යන්තරය අවශ්ය නැත වැනි උද්දච්ච ප්රකාශ කිරීම, ප්රශ්නය ඉදිරිපත් කරන පණිවිඩ කරුවා උසුළු විසුළුවට ලක් කිරීම, මීට වඩා සංචිත අඩු වූ අවස්ථා තිබුණා යයි ප්රශ්නය ලඝු කොට තැකීම වැනි දෙයින් කිසිම සෙතක් නොවනු ඇත. ප්රශ්නය විසඳීමට හැකි වනුයේ ප්රශ්නයක් ඇති බව තේරුම් ගැනීම, ප්රශ්නයක් ඇති බව පිළි ගැනීමට ඇති අවංක භාවය, ප්රශ්නයට පිළියම් යෙදීමට ඇති උවමනාව සහ ප්රශ්නයට පිළියම් යෙදීමට ඇති මාර්ග සෙවීමෙන් පමණි.
ආණ්ඩුව කෝවිඩ් වසංගතයෙන් රට වැනසූ අවිද්‍යාත්මක ක්‍රමයට, අවිද්‍යාත්මක මූල්‍ය කළමනාකරණයෙන් ද රට වනසමින් ඇත.
විද්‍යාත්මක වසංගත පාලනයකට හා විද්‍යාත්මක මූල්‍ය කළමනාකාරීත්වයකට කාලය එළඹ තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

මහා මූල්‍ය අපරාධයක් : දිනමිණ පුවතින් ආණ්ඩුවේ රෙදි නැතිවෙයි !
මෙරටට සීනි ආනයනය කිරීමේ බදු මුදල කිලෝවක් සඳහා රුපියල් 50/- සිට ශත 25 දක්වා කපා හැරීමේ රජයටl ලැබිය යුතු රුපියල් මිලියන 29,054 (රුපියල් කෝටි 2,905) ක අති විශාල බදු ආදායමක් අහිමි කර ගත් ආකාරය දිනමිණ පුවත්පත හෙළිකරයි.
එම පුවත්පතේ අද (3) පළ කර තිබෙන ප්‍රධාන ප්‍රවෘතියෙන් මෙයට අදාළ දත්ත සියල්ල හෙළිකර තිබේ.
2020 ඔක්තෝබර් 14 වෙනි දින සිට මෙම වසරේ ජූනි 30 කාලය තුළ ශත 25ක බදු අය කිරීම යටතේ සීනි මෙට්‍රික් ටොන් 584,000ක් ආනයනය කර තිබෙන බව හෙළි කර තිබේ.
2020 ඔක්තෝබර් 14දින වන විට මෙරට ගබඩා තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88,878ක් බව දක්වා තිබේ. ඒ අනුව මාස 17කට අවශ්‍ය තරම් අති විශාල සීනි තොගයක් ශත 25ක බදු මුදල යටතේ ගෙන්වා ඇති බව දිනමිණ දත්ත සමඟින් හෙළිකර තිබේ.
සීනි මෙට්‍රික් ටොන් 584,000ක් යනු කිලෝ ග්‍රෑම් 584,000,000 කි. මේ අනුව කිලෝ ග්‍රෑම් එකකින් අහිමි වූ රුපියල් 49.57ක බදු මුදල ගණනය කිරීමෙන් ( 584,000,000 X 49.75) රුපියල් මිලියන 29,054ක් වූ බදු ආදායමක් අහිමි කර ගෙන ඇත. මෙම බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට කිසිසේත් ලබා නොදී මුලුමනින්ම ආණ්ඩු හිතවාදී ජාවාරම්කරුවන් අතට ගලා යාමට සලස්වනු ලැබීය.
Lanka Truth

පොලිසියට වසර 155 යි : 11700කට කොරෝනා හැදෙයි !
ශ්‍රී ලංකා පොලිස් සේවය පිහිටුවා අද (03) දිනට වසර 155ක් සපිරෙයි.
වාර්තා වන ආකාරයට පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ පොලිස් සේවයට වසර 155ක් සපිරීම නිමිත්තෙන් පොලිස් දින සැමරුම පැවැත්වෙන්නේ නැත. ඒ වෙනුවට පොලිස් ස්ථාන හා පොලිස් කාර්යාල මට්ටමින් පොලිස් ධජය එසවීම පමණක් සිදුකිරීමට තීරණය කර ඇත.
මේ අතර පොලිස් සේවයේ 11,700ක් මේ වනවිට කොවිඩ් 19 වසංගතයට ගොදුරු වී ඇති බව වාර්තා වේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වන අතර එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ දක්වා කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් පොලිස් නිලධාරීන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න - විශේෂඥ වෛද්‍ය සුදර්ශනී
තම ජීවිත ආරක්ෂා කරගැනීමට තමන්ම කටයුතු කළ යුතු බවත් වෙනත් අය තීරණ ගන්නා තුරු නොසිට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කරයි.
මේ වන විට කොරෝනා පැතිරිම ප‍්‍රබලව සිදුවන නිසා මුව ආවරණ දෙකක් පළඳින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ ගම්පහ සිට මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනි.
නිවසින් එළියට යන අවස්ථාවන්හිදී ‘ෆේස් ෂිල්ඩ්’ ආවරණය පැලඳීමත් ඉතා වැදගත් බවත් ඇය කියා සිටියාය.
එමෙන්ම ජාතිය වර්ගය නොබලා ළඟම ඇති ස්ථානයට ගොස් කොරෝනා මර්ධන එන්නත් කඩිනමින් ලබා ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍යවරිය පවසා ඇත.
ජනතාවන් නිවෙස් වලට හැකි තරම් කාලය ගත කිරීම වඩා වැදගත් බවත් කොරෝනා පාලනය කර ගැනීමට හුදෙකලා වීම ඉතා වැදගත් බවද ඇය කියා සිටියාය.

ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමේ අදිසි හස්තය කුමක්ද? - විපක්ෂ නායක සජිත්
භාණ්ඩ මිල පාලනය කිරීමට යැයි සම්පූර්ණ බොරුවක් මවාපාමින් ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමට කටයුතු කර ඇති බවත්, එය සහමුලින්ම ආණ්ඩුවේ වැරදි සහ නොහැකියාවන් වසා ගැනීම සඳහා ගෙන එනු ලැබූ අත්තනෝමතික ක්‍රියාවලියක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු අද (02) මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනි.
2003 අංක 9 දරණ පාරිභෝගික පනත හරහා ඒ කටයුත්ත මැනවින් සිදු කර ගැනීමේ හැකියාව ඇතත් කඩිමුඩියේ ආණ්ඩුව හදිසි නීතිය ගෙන ඒමෙන් කවුරු වන්නේ ඊට වඩා භයානක කටයුත්තකට ආණ්ඩුව අර අදිමින් සිටින බව ඔහු එහිදී පැවසීය.
ආණ්ඩුවේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රට , ඒකාධිපතිත්වයකට යොමු කරමින් අත්තනෝමතික ලෙස මානව හිමිකම්වලට පවා අභියෝග කිරීම බව පැහැදිලි වන්නේ යැයිද හෙතෙම පැවසීය.
ආණ්ඩුව හදිසි නීතිය ගෙන ආ පලියට මෙරට ආසාධිතයින් ප්‍රමාණය අඩු වෙන්නේ නැති බවත්, අවශ්‍ය එන්නත් ප්‍රමාණය රටට ලැබෙන්නේ නැති බවත්,කොරෝනා මර්දනය කිරීම සඳහා හදිසි නීතියෙන් සහයක් ලැබෙන්නේ නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා , වැඩිදුරටත් පවසා සිටියේ රටේ භාණ්ඩ මිල හෝ විදේශ සංචිත ප්‍රමාණය හෝ පාලනය කර ගැනීමට බැරි ආණ්ඩුවකට හදිසි නීතිය අවශ්‍ය වන්නේ ජනතාව පීඩාවට පත් කිරීමට පමණක් බවය.
ප්‍රජාතන්ත්‍රවාදය කණපිට හරවමින් ඒකාධිපති ගමනකට අරඅඳින මෙම හදිසි නීති ගැසට්ටුව වහාම ආපසු හරවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීමට පාරිභෝගික පනත සක්‍රීය කරන ලෙසත් ඒ හරහා පාරිභෝගික භාණ්ඩ සඟවාගෙන සිටින පුද්ගලයින්ට දැඩි දඩුවම් පමුණුවනු ලෙසත් ඉල්ලා සිටියේය.
හදිසි නීතිය ගෙන ඒමේ ක්‍රියාවලියට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සහමුලින්ම විරුද්ධ බවද ඔහු වැඩිදුරටත් පැවසීය .

තිරිගු පිටි මිල ඉහළ දැමීම නීති විරෝධීයි !
ප්‍රීමා සමාගම විසින් තිරිගු පිටි මිල ඉහළ දැමීම අනීතික බවත් වැඩි මිලට තිරිගුපිටි මිලදී ගැනීමෙන් වළකින ලෙසත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර , තිරිගු පිටි මිල රුපියල් 12.00 කින් වැඩි කල බවට ප්‍රීමා සමාගම විසින් අද දිනයේ නිවේදනය කල අතර, එම නිවේදනය නීති විරෝධි නිවේදනයක් බව තම සංවිධානය වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත් එහි සඳහන් කර ඇත.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 20(5) වන වගන්තිය යටතේ තිරිගු පිටි සදහා මිල වැඩිකිරීමක් සිදුකරන්නේ නම් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිසි අවසරයක් ලබා ගතයුතුය. ඒ බව දැනුම්දෙමින් 2015 පෙබරවාරි 20 වනදා අංක 1902/55 යටතේ අතිවිශේෂ ගැසට්පත්‍රයක් නිකුත්කොට ඇත. මේ වන විටත් පාරිභෝගික කටයුතු අධිකාරිය තිරිගු පිටි මිල වැඩි කිරීම සදහා ප්‍රීමා ආයතනවයට නිසි අවසරයක් ලබා දී නොමැත. එසේ තිබියදී තිරිගු පිටි මිල වැඩි කිරීම නීති විරෝධිවේ.
එබැවින් සියලුම පාරිභෝගිකයින්ගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ තිරිගු පිටි වැඩි මිලට මිලදී ගැනීම සිදු නොකරන ලෙසයි. යම්කිසි වෙළෙන්දෙක් තිරිගුපිටි වැඩි මිලට අලෙවි කරන්නේනම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියේ අංක 1977 අංකයට පැමිණිලි කරන ලෙස සියලුම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිමු.
මීට ඉහත අවස්ථා කිහිපයකදී උක්ත සමාගම විසින් අනීතික ලෙස තිරිගු පිටි මිල වැඩි කිරීමට කටයුතු කලද පාරිභෝගික අධිකාරියේ බලපෑම මත එම මිල වැඩි කිරීම අවලංගු කරන ලදී. එබැවින් පාරිභෝගික කටයුතු අධිකාරියද තිරිගු පිටි වැඩි මිලට අලෙවි කරන වෙළෙන්දුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුය.
තිරිගුපිටි කිලෝ එකක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 87.00 කි
මීට විශ්වාසී,
රංජිත් විතානගේ - සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

බණ්ඩාරනායක ගුවන් තොටුපළේ දෙවන අදියර කොටඋඩ ?
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කල්යමින් තිබීම සම්බන්ධව පාර්ශව රැසක විරෝධය පළවෙමින් තිබේ.
මේ වන විටත් ගුවන් තොටුපළ ඉංජිනේරුවන් නීර්ණය කර ඇත්තේ අදාළ ව්‍යාපෘතිය අවසන් කිරීම දැඩි ප්‍රමාදයකට ලක්වනු ඇති බවත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබීම සම්බන්ධව තක්සේරුවක් කිරීම පවා දුෂ්කර බවයි.
ඊට හේතුව ලෙස වාර්තා වන්නේ China State Construction Engineering Corporation ආයතනය මෙහි ඉදිකිරීම් කටයුතු බාරගෙන මාස කිහිපයක් ගතවුවත් මෙතෙක් කිසිඳු කටයුත්තක් ආරම්භ කර නොතිබීමය.
වත්මන් ආණ්ඩුව යටතේ මෙකී ඉදිකිරීමේ කටයුතු China State Construction Engineering Corporation වෙත ලබාදෙන විට ඒ සම්බන්ධව බරපතළ විරෝධයක් මතුවිය. විශේෂයෙන් දෙවන පර්යන්තයේ ඉදිකිරීම් සම්බන්ධ උපදේශක සමාගම වන Japanese Airport Counsultant ද ඊට විරෝධය පළකර ඇත.
කෙසේවුවත් ඒ සමයේ මාධ්‍ය වාර්තා පළවුයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීම සහ ඩොලර් මිලියන 20 ක පමණ අල්ලසක් මත China State Construction Engineering Corporation වෙත අදාළ ඉදිකිරීම් පැවරුණු බවය.
විශ්වාසදායක ආරංචිමාර්ග පවසන්නේ , China State Construction Engineering Corporation මෙවැනි වැදගත් ඉදිකිරීමක් සම්බන්ධව කොහෙත්ම විශ්වාසය තැබිය නොහැකි ආයතනයක් බවය. ඒ දකුණු අධිවේග මාර්ගය තැනීමේදී මෙන්ම මහවැලි අධිකාරියේ සිදුකළ ව්‍යාපෘති වලදී පෙන්වා ඇති අසාර්ථකබව නිසා යැයිද පැවසේ. ඒ අත්දැකීම් හරහා China State Construction Engineering Corporation නිසි ගුණාත්මක ප්‍රමිතියට නොතිබීම, කලට වෙලාවට වැඩ අවසන් නොකරන ආයතනයක් ලෙස තහවුරු බවත් එබැවින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවන අදියර වැනි ව්‍යාපෘතියකට කොහොත්ම නොගැළපෙන බවත් අමුතුවෙන් කියන්න දෙයක් නොමැති බවය.
මේ සම්බන්දව සිවිල් හා ගුවන් සේවා සමාගමේ ඉංජිනේරුවරුන් විසින් පාර්ලිමේන්තු කෝප් කමිටුවටද සාක්ෂි සහිතව ඉදිරිපත්කර ඇති බවට ආරංචි මාර්ග වලින් සදහන් වේ.
එසේම දැනටමත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් මේ ගැන දැනුවත් කරමින් ඇති බවත් එම ආරංචිමාර්ග පවසයි. කෙසේවුවත් මේ ආකාරයට දිගින් දිගටම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කල්යමින් තිබීම සම්බන්ධව ගුවන් සමාගමේ නිලධාරීන්ද නිහඬ ප්‍රතිපත්තියක සිටින බවත් ඊට හේතුව අමාත්‍යවරයකුගේ බලපෑම බවද එම ආරංචිමාර්ග පවසයි.
මෙම සමාගමට අවශ්‍ය වන පරිදි සුදුසු කාර්යාලයක්වත් නඩත්තු කරගැනිමේ නොහැකියාව හා සුදුසු ඉංජිනේරුවරුන් හා නිලදාරීන් නොමැති සිල්ලර ටකරම් කඩයක් වැනි China State Construction Engineering Corporation කාර්යාලය මෙම ජායාරූපවලින් දැක්වේ.

ඇඳිරිනීතිය කාලසීමාව දීර්ඝ කෙරේ
දැනට පවතින නිරෝධායන ඇඳිරිනීති කාලසීමාව සැප්තැම්බර් මස 13 වන සඳුදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව ජනාධිපති ප්‍රකාශකවරයා පැවසීය.

සීනි වැටලීම් අස්සේ : රවීටත් දේශපාලන මඩක් !
තම සමාගම විසින් සීනි තොග සඟවා ගෙන තිබියදී පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගත් බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ග්ලෝබල් පාර්ක් සමාගම නිවේදනය කරයි.
එම සමාගම වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී ප්‍රියංක දිසානායක නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, තම ආයතනය කිසිදු අයුරකින් අනවසර සීනි හෝ වෙනත් නීතියට පටහැනි භාණ්ඩ ගබඩා කිරීමක් සිදුකර නොමැති බවයි.
ග්ලෝබල් පාර්ක් සමාගම සැලකෙන්නේ හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ දියණියට අයත් සමාගමක් ලෙසයි.
පසුගිය දිනවල පාරිභෝගික අධිකාරිය අනවසර සීනි ගබඩා කිහිපයක් වැටළු අතර එම ගබඩා අයත් සමාගම් අතර පිරමීඩ් විල්මා සමාගම, ග්ලෝබල් ට්‍රේඩින් සමාගම, විල්සන් ට්‍රේඩින් සමාගම සහ, ආර්. ජි. ස්ටෝර්ස් යන සමාගම් තිබිණ .
එම ලේඛනයේ හිටපු අමාත්‍ය රවි කරුණානායකගේ දියණියට අයත් ග්ලෝබල් පාර්ක් සමාගමට නමින් සමාන වූ ග්ලෝබල් ට්‍රේඩින් සමාගම ද තිබීම නම්වල ඇති එම සමානකම පාදක කර ගනිමින් හිටපු අමාත්‍යවරයාගේ දියණියට අයත් සමාගමට දේශපාලනිකව මඩ ප්‍රහාරයක් එල්ල වන බව ද නිරීක්ෂණය වෙයි.
පහත දැක්වෙන්නේ හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ දියණියට අයත් ග්ලෝබල් පාර්ක් සමාගම නිකුත් කළ සම්පූර්ණ නිවේදනයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් ආණ්ඩුවට සැර චෝදනාවක් !
එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත අවශ්‍ය ප්‍රමාණයට එන්නත් ලබාදීම වසංගත රෝග විද්‍යා ඒකකයේ වගකීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
(02) පැවති මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය හංසමාල් වීරසූරිය පවසන්නේ, අදාළ ඒකකය මගින් රෝහල්වලට ලබාදිය යුතු ප්‍රමාණවලින් එන්නත් මාත්‍රා ලබා දීම සිදු නොවන බව මේ වනවිට ඇති ප්‍රධානතම ගැටලුව බවයි.
”මේකෙන් වෙන්නේ උපරිම ධාරිතාවකින් එන්නත්කරණය ඉතාමත් යුහුසුළුව කරගෙන යන සෞඛ්‍ය සේවය නිරපරාදේ හෑල්ලුවට ලක්වීම විතරයි. මේ හමුදාව මගින් එන්නත්කරණය සිදුකරන ස්ථානවලට ඇති ප්‍රමාණයට දිගින් දිගටම එන්නත් මාත්‍රා හරි ආකාරව ලැබීම සිද්ධ කරනවා. ඕන තරම් එන්නත් මාත්‍රා ඒ තැන්වල තියෙනවා”
අත්තනෝමතික ලෙස එන්නත්කරණය සෞඛ්‍ය අංශයෙන් කප්පාදු කර ක්‍රියාවලිය අඩාල කර,සෞඛ්‍ය අංශ මිනිසුන්ගෙන් බැණුම් අහන තත්ත්වයකට හිතාමතා තල්ලු කිරීමක් කර ඇතැයි, ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටී.
මේ අතර නොගැළපෙන වයස් කාණ්ඩවලට විවිධ ස්ථානවලදී ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කරලා ඇතැයි, පැවසූ වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා ප්‍රශ්න කර සිටින්නේ, අවුරුදු 20 – 30 අතර වයස් කාණ්ඩයේ සිටින ජනතාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේදී ෆයිසර් එන්නත ලබාදීම තීරණ තාක්ෂණික කාරණයක් වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටී.
”උදාහරණයක් විදිහට අවුරුදු 20 – 30 අතර වයස් කාණ්ඩයේ සිටින ජනතාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේදී ෆයිසර් එන්නත ලබාදීම සිදු කරන්න කියලා ඒ පණිවිඩය ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක කොහොමද තාක්ෂණික කාරණයක් වුණේ. එතකොට ඒගොල්ලොන්ට ඇයි ෆයිසර් එන්නත ම ලබා දෙන්නට ඕනේ ? ෆයිසර් එන්නත ලබා දෙනවා නං ඇයි හම්බන්තොට දිස්ත්‍රික්කයට ම ලබා දෙන්නේ”
එම සංගමය අවධාරණය කර සිටින්නේ මෙවැනි කාරණා සඳහා ඇති විද්‍යාත්මක පැහැදිලි කිරීම සෞඛ්‍ය බලධාරීන් රටට හෙළි කළ යුතුව ඇති බවයි.
News 1st

”ලැබෙන එන්නත හොඳම එන්නත” ලෙස සලකා 18 – 30 පිරිස් සඳහා එන්නත්කිරීම ඇරඹේ
වයස අවුරුදු 18 – 30 ත් අතර පිරිස් සඳහා වන එන්නත්කරණ වැඩසටහන අද (02) සිට දිස්ත්‍රික්ක මට්ට්මින් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
එම වයස් කාණ්ඩයේ මිලියන 3.7ක් පමණ වන පුද්ගලයින් සඳහා කඩිනමින් එන්නත් කර අවසන් කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමග සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (02) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
මේ අතර එළැඹෙන සති දෙක තුන අවසන් වීමට පෙර වයස අවුරුදු 30 ඉක්මවූ සියලු පිරිස් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි ද මෙහිදී අමාත්‍යවරයා පැවසූ බව අදාළ නිවේදනයේ සඳහන් ය.
තව ද ඔක්තෝබර් අවසානයට පෙර අවුරුදු 18 ඉක්මවූ පුරවැසියන් සඳහා වන එන්නත්කරණය අවසන් කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා එහිදී විශ්වාසය පළ කර තිබේ.
”ලැබෙන එන්නත හොඳම එන්නත” ලෙස සලකා හිමිවන කුමන හෝ එන්නතක් කඩිනමින් ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙවර 5 ශිෂ්‍යත්ව හා A/l විභාග අයදුම්පත් බාර ගැනීමේ කාලය දීර්ඝ කරයි
2021 අ.පො.ස. උසස් පෙළ විභාගය සහ පහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මෙවර සෑම විභාග අපේක්ෂකයකුම අයැදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ ඔන්ලයින් ක්‍රමවේදයට පමණක් බවද අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටී.
ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ විභාග දෙපාර්තමේන්තුවෙි නිල ජංගම දුරකථනය යෙදවුම වන "DoE"වෙත පිවිස අදාළ උපදෙස් කියවා ඒ අනුවම නිවැරදි ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත්‍ර යොමු කළ යුතු වේ.
විභාග සඳහා ඉදිරිපත් වන රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරයාට දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිතයෙන් අයදුම් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයපෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර සම්පූර්ණ කළ යුතු වෙයි.ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටී.

සැප්තැම්බර් 03 තීරණාත්මක තීන්දුවක් !
මේ වනවිට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේ ද එසේත් නැත්නම් ඉවත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් හෙට (03) දිනයේ තීරණය කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඊට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට දින රැස්වන කොවිඩ් කාර්යසාධක බළකා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
මේ වනවිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන 6 වන සඳුදා දින අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක අතර අගෝස්තු මස 20 වන දින සිට මෙම නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙයි.
මේ අතර දැනට ක්‍රියාත්මක රට වසා දැමීමේ ප්‍රතිඵල ලබාගැනීමට නම් බීජෞෂණ සමයන් දෙකක්වත් ගත යුතු විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.
තවත් සති දෙකක්වත් සංචරණ සීමා පවත්වා ගැනීම හා අන්තර්පුද්ගල සබඳතා පැවැත්වීම වැළැක්වීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බවද ඔහු පැවසීය.
යම් ලෙසකින් සදුදා දිනයේ සංචරණ සීමා ලිහිල් කරන්නේ නම් ප්‍රසිද්ධ ස්ථානයන්හි ජනතාව ඒකරාශී කිරීම පාලනය කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද ඊට අවශ්‍ය විධිවිධාන දැන්ම සැලසුම් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.
එසේ සිදු නොකර නැවතත් සෞඛ්‍ය අංශවලට චෝදනා නොකරන්නැයි ඉල්ලීමක් කරන බවද සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
වෛරසයෙන් ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වලට අනුගත නොවී රට වසා දැමීමෙන් පමණක් ප්‍රශ්නය විසඳා ගත නොහැකි බවත් ඔහු තවදුරටත් පැවසීය.
රට වසා දැමීමට වඩා වැදගත් වන්නේ රෝගය බෝවීම වළක්වා ගැනීමේ චර්යාධර්ම වලට ජනතාව හුරු වීම බවද ඔහු එහිදී අවධාරණය කළේය.

ශ්‍රීලනිපයට 70 යි : චන්ද්‍රිකාගෙන් ප්‍රතිඥාවක් ! (වීඩියෝ )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති රූක්ෂ ගස කඳින් කපා වෙන් කළ ද නැවත ශක්තිමත්ව ලියලනු ඇති බවත් රූක්ෂ ගස බිහි වන දා තමා ජීවතුන් අතර සිටී දැයි නොදන්නා නමුත් ලියලා ගෙන එන රූක්ෂ ගසට ශක්තියක් දෙන්න අවශ්‍ය තරුණ පරපුරක් හදන්නට තමා උර දෙන බවද චන්ද්‍රිකා කුමාරණතුංග පවසයි.
හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 70ක් පිරීම නිමිත්තෙන් විශේෂ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත යොමුකරමිනි.
පක්ෂය සම්පූර්ණයෙන් විනාශ කරන්නට බැරි බවත් ශක්තිමත් පදනමක් නිර්මල දර්ශනයක් තිබෙන ශ්‍රේෂ්ඨ මිනිසුන් කීප දෙනෙක්ගේ ලෙයින් සනිටුහන් කළ ඉතිහාසයක් තිබෙන පක්ෂය විනාශ කරන්න බැරි බවත් ඇය පවසයි.
මෙම වීඩියෝව හරහා හිටපු ජනාධිපතිය මේ මොහොතේ පක්ෂය දුර්වල කිරීමට අදාළව හිටපු ජනාධිපති, වත්මන් ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ වෙත චෝදනා කර සිටියේය.
අදාළ වීඩියෝව පහත දැක්වෙයි.

ඔක්තෝබර් අග කොරෝනා අඩුවෙයි ?
එන්නත්කරණය සහ රෝගය ව්‍යාප්ත වීමේ වේගය මත ලබන ඔක්තෝබර් මස අවසාන සතිය වනවිට කොරෝනා වසංගතයෙන් රට තුළ මතුව ඇති අවදානම් සහ පීඩාකාරී තත්ත්වය පහව යනු ඇතැයි පුරෝකතනය කළ හැකි බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
එන්නත්කරණයේ ප්‍රතිශක්තිය එම කාලය තුළ වර්ධනය වීමත්, ස්වාභාවික ආකාරයෙන් ජනතාවගේ ප්‍රතිශක්තිය ඉහළ ගොස් රෝගය සුව වී තිබීමත් ඊට හේතුව බවත් එහිදී ඔහු පැවසීය.
කෙසේවෙතත් අලුත් කොරෝනා ප්‍රබේදවලින් ගැටලුවක් මතු නොවණහොත් පමණක් මෙම තත්ත්වය බලපොරොත්තු විය හැකි බවද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කල අතර ඔහු මෙසේ අදහස් දක්වා සිටියේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

ලංකාව ඇතුළු රටවල් 3ක මරණ ඉහළට !
ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 03 ක කොරෝනා මරණ සංඛ්‍යාව අගෝස්තු මාසය අවසන් වන විට 15% කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය සතියකට වරක් නිකුත් කරන වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල කොරෝනා මරණ සංඛ්‍යාව පහළ ගොස් ඇති බව වාර්තා වේ.
අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ දකුණු ආසියානු කලාපයේ මරණ සංඛ්‍යාව පහළ යද්දී ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 19% කින්, ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයේ 32% කින් සහ ඉන්දියාවේ 17% ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි.
පසුගිය සතිය සමග සසඳන විට කාලපයෙන් නව මරණ 14 ,000 ක් වාර්තා වී ඇති අතර එය සාපේක්ෂ වශයෙන් 20% ක අඩුවීමක් බවත් අදාළ වාර්තාව පවසයි.

ශ්‍රී ලංකාවේ හදිසි ආර්ථික තත්ත්වයක් : යළි පෝලිම් යුගයක ?
රුපියලේ අගය විශාල ලෙස බාල්දු වීම හමුවේ භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග, ශ්‍රී ලංකාව හදිසි ආර්ථික තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ආණ්ඩුව පවසන්නේ මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා සහල් සහ සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර සැපයුම සිය පාලනය යටතේ සිදුවනු ඇති බවය.
ඉහළ යන බඩු මිල පාලනය කිරීමේ උත්සාහයක් වශයෙන් සහතික මිලක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ආණ්ඩුව කියා සිටියි.
මේ වසරේදී රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 7.5%ක අගයකින් අවප්‍රමාණය වී ඇත.
අඟහරුවාදා (අගෝස්තු 31) සිට පුළුල් පරාසයක හදිසි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේ.
ආණ්ඩුව විසින් අත්‍යාවශ්‍ය සේවා කොමිසමේ ප්‍රධානියා ලෙස හමුදාවේ හිටපු ජෙනරාල්වරයෙකු පත් කරනු ලැබ ඇත.
වෙළෙන්දන් සහ කඩ හිමියන් සතු 'සඟවා ඇති' භාණ්ඩ තොග සිය භාරයට ගැනීමට ඔහුට බලය හිමි වේ.
ජනාධිපතිගෙන් නිවේදනයක්
"වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදීගෙන ජනතාවට සාධාරණ මිල ගණන්වලට ලබා දීමට බලය ලත් නිලධාරීන් කටයුතු කරනු" ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඒ බව නිවේදනය කෙරුනේ සීනි, අල සහ ළූණු වැනි අත්‍යාවශ්‍ය ආහාරවල මිල විශාල ලෙස ඉහළ යාමත් සමගය.
පසුගිය දිනවල කිරි පිටි, භූමිතෙල් සහ ගෑස් සිලින්ඩර්වල හිඟය හේතුවෙන් වෙළඳසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.
විදේශ විනිමය අනුපාතයේ ඉහළ යාම ද පසුගිය වසරක කාලය පුරා බොහෝ භාණ්ඩ මිල ඉහළ යාම කෙරෙහි බලපෑ එක් හේතුවක් වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
ආහාර මිලගනනන් ඉහළයාම හේතුවෙන් අගෝස්තු මස උද්දමනය සියයට 6ක් දක්වා අගයකට ඉහළ ගියේය.
සිය ආහාර සහ අනෙකුත් මූලික අවශ්‍යතාවන්ගෙන් වැඩි කොටසක් රට තුළට ආනයනය කරන ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් වන සංචාරක කර්මාන්තය ද කොවිඩ් වසංගතය හමුවේ අකර්මන්‍ය වී ඇත.
සංචාරකයන් පැමිණීම පහළ බැසීමේ ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.6%ක වාර්තාගත අගයකින් සංකෝචනය විය.
ආණ්ඩුව විදේශ විනිමය රටෙන් පිටවීම වළකා ගැනීමේ අරමුණින් පසුගිය වසරේ මාර්තු මස දී මෝටර් රථ සහ තවත් භාණ්ඩ රැසක් ආනයනය කිරීම තහනම් කළේය.
මුදල් සංචිත ගලා යාම පාලනය කිරීමේ උත්සාහයක් වශයෙන් පොලී අනුපාත ඉහළ නැංවූ කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පසුගිය මාසයේදීපත් විය.
කොවිඩ් මරණ සහ රෝගීන් සීග්‍රයෙන් ඉහළ යාමත් සමග මේ වන විට රට පුරා අගුළු දැමීමක් ක්‍රියාත්මක වේ.
(බීබීසී )

තවත් කොවිඩ් මරණ 215ක් : මරණ 167 ක් අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියන්
අද (01) නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ වාර්තාව අනුව පුද්ගලයින් 215 දෙනෙකු ඊයේ (31) මරණයට පත්ව තිබේ.
ඒ අනුව කාන්තාවන් 100 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 115 දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 46 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 167 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 9,400ක් දක්වා ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 60 වන ස්ථානයේ පසුවේ.
එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ 09වන ස්ථානයේය.
Page 431 of 462