පුවත්

අරගලය අවසන් වනතෙක් විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදු කරන්නෑ - ජෝසප් ස්ටාලින්
තම ඉල්ලීම් දිනාගැනීම සඳහා වන අරගලය අවසන් වනතෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදුනොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
"මේ වෙනකොට විභාග සඳහා අයදුම්පත් ඉදිරිපත් කරලා නෑ අපි. උසස් පෙළ විභාගයට හා ශිෂ්‍යත්ව විභාගයට අපි ඉදිරිපත් කරන්නෙත් නෑ මේ අරගලය ඉවර වෙනකල්. අපි දැක්කා අමාත්‍යවරයා කියනවා පොලීසි යන්නලු. මොකද්ද මේ කරන්නේ. සැප්තැම්බර් 15 වෙනකල් කල්දීලා තියෙන්නේ. ප්‍රශ්නය විසඳන්න තියෙන්නේ."
එසේ වුවද දරුවන් ගැන සිතා අදාළ කටයුතු නියමිත දිනට සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටියේය.
උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සඳහා සිසුන්ගේ අයදුම්පත් සම්පූර්ණකර යැවීමේ අවසන් දිනය ලෙස සැප්තැම්බර් 15 වනදා ප්‍රකාශයට පත්කර ඇත.
වසර 24ක් පුරා නොවිසඳුනු ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් එම වෘත්තිය සංගම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ අතර පසුව ඔවුන් සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙන්ද ඉවත්විනි.
මේ වනවිට මාස 02 ක කාලයක් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු අඩපණ වී තිබේ.

විදෙස් සංචාරකයන්ට මත්පැන් අලෙවියට අවසර
සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත, සුරාබදු බලපත්‍ර හිමි සංචාරක හෝටල් සඳහා විදෙස් සංචාරකයන්ට මත්පැන් විකිණීම සඳහා අවසර ලබාදෙන බව සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීමේ) කපිල කුමාරසිංහ නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ සුරාබදු ර.බි. 07, සුරාබදු ර.බි. 08, සහ බුටික් විලා යන වර්ගවලට අයත් බලපත්‍ර හිමියන්ට මෙම අවසරය හිමිවන බවයි.
පූර්ණ එන්නත්කරණයට ලක් වූ විදෙස් සංචාරකයන්ට සංචාරක බුබුළෙන් මිදී රටේ ඕනෑම ස්ථානයක සංචාරය කිරීමට මෙන්ම ලියාපංචි ඕනෑම සංචාරක හෝටලයක නවාතැන් ගැනීමට මීට පෙර අවසර ලබා දී තිබූ අතර ඊට සමගාමීව එම සංචාරක හෝටල්වල මත්පැන් අලෙවියටද අවරස ලබා දී තිබේ.

රැකියා සඳහා විදේශගත වන්නන්ගේ ගැටළුවලට කඩිනම් විසඳුම්
රැකියා සඳහා විදේශගතවීමට අපේක්ෂාවනේ සිටින පිරිස් මුහුණ දී සිටින ගැටලු හඳුනාගෙන ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මුදල් ආමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, පසුගිය 10 වනදා අරලියගහ මන්දිරයේදී පැවති විදේශ විනිමය ප්‍රවාහ කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වමට එක්වෙමින් අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබාදුන් බවයි.
විදේශ රැකියා වෙළඳපොළ තුළ ලාංකිකයින්ට වැඩි ඉල්ලුමක් ලැබී ඇති බැවින් ඊට යොමු වීම සඳහා යම් බාධාවන් ඇත්නම්, හැකි ඉක්මනින් ඒවා ඉවත් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
ඒ අනුව විදෙස්ගත වීමට අපේක්ෂිත පිරිසට ආසන පහසුකම් හිඟවීම පිළිබඳ ගැටලුව කෙරෙහි ද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබේ.
පසුගිය වසරේදී වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ලද ආදායමේ මාසික සාමන්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 840 ක් බවත් 2021 වසරේ මුල් මාස 8 තුළ එය එක්සත් ජනපද ඩොලර් මිලියන 986 ක් දක්වා වර්ධනය කරගෙන ඇති බව ත් මෙහිදී අනාවරණය වී තිබේ.
තව ද අපනයන ක්ෂේත්‍ර යේ වර්ධනය අඛණ්ඩව පවත්වා ගනිමින් ආර්ථිකය ශක්තිමත් කරන අතර ම රට තුළ ක්‍රියාත්මක සංවර්ධන කටයුතු ද අඛණ්ඩව ඉදිරියටගෙන යන බව මුදල් අමාත්‍යවරය මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

භාණ්ඩ ආනයනය මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණයි : ආණ්ඩුව අස්සෙන්ම අනාවරණයක් !
දැන් සිදුවී ඇත්තේ භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී එහි මුළු වටිනාකම මුදල් ලෙස තැන්පත් කිරීමට කොදේසියක් පැනවීම පමණක් බවත් ඒ අනුව මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ විවිධ අන්තවාදී සංවිධානවලින් ආයෝජන සඳහා මුල්‍යය සහය ලැබෙන ව්‍යාපාරිකයන්ට කිසිදු ගැටළුවකින් තොරව ණයවර ලිපි නිකුත් කර සීමා කළා යැයි කියන භාන්ඩ ආනයනය කළ හැකි බවත් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.
එහිදී වෙළෙඳ තරගය සීමා වන බැවින් මිල ඉහළ දැමීමටද හැකියාව ලැබෙන නමුත් ආණ්ඩුවට කිසිදු ආදායමක් නොලැබෙන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර අවධාරණය කරයි.
ආණ්ඩුවේ සහ විපක්ෂයේ පිරිස් දෙපසට බෙදී හිස් වාද විවාද සහ හිස් ප්‍රලාප දෙඩ වුවද ආණ්ඩුව විසින් කිසිදු භාන්ඩයක් ආනයනය කිරීම තහනම් කර නැති බව පවසන වෛද්‍ය වසන්ත බණ්ඩාර ආණ්ඩුවේ මෙම තීන්දුව මගින් පාරිභෝගිකයාට සහ රජයට පමණක් නොව සුළු ව්‍යාපාරිකයාටද බරපතල අවාසියක් සිදු වන බවත් පවසයි.
එසේම ඩොලර් ඉතිරි වීමක්ද සිදු නොවන බව පවසන වෛද්‍ය වසන්ත බණ්ඩාර වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ පණ්ඩිතයින්ට මොළේ කළඳක් ඇත්නම් කළ යුත්තේ ආනයන බදු ඉහළ දැමීම මගින් පරිභෝජනය සීමා කිරීමක් කළ යුතු බවයි. එවිට ආණ්ඩුවට බදු ආදායම ලැබෙන අතර ලොකු කුඩා සියළු ව්‍යාපාරිකයන්ට තරග කිරීමේ අවස්ථාවද ලැබෙන බව ඔහු පවසයි.
ජාතික සංවිධාන එකමුතුව පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අවස්ථාවේ වත්මන් ආණ්ඩු පාර්ශ්වය ජයග්‍රහණය කරවීමට සක්‍රියව මැදිහත් වූ පිරිසකගේ නියෝජනයකි. එසේම වෛද්‍ය වසන්ත බණ්ඩාර ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන විමල් වීරවංශගේ පළමු පෙළ ආධාරකරුවෙකු ලෙසත් ප්‍රකටය.

සමස්ත කොවිඩ් මරණ 11,000 පනියි !
තවත් කොවිඩ් මරණ 157ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමෙන් පසුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (11) නිවේදනය කර ඇත.
ඊයේ (10) දිනට අදාළව තහවුරු කර ඇති එම මරණ 157 සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,152ක් දක්වා ඉහළගොස් ඇත.
එම කොවිඩ් මරණ 157න් 87 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 70දෙනා පිරිමි පුද්ගලයින් වන බව නිවේදනයේ සඳහන් වෙයි.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 130 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් තිදෙනෙකු ද සිටියි.
එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 23 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින්ය.
අදාල නිවේදනය පහත දැක්වෙයි.

තුන් වේල කාපු අය වේල් දෙකක් කාලා කැපකිරීමක් කරන්න - ජගත්
රටේ පවතින ආර්ථික අර්බූදය හමුවේ මෙතෙක් තුන් වේලක් කෑ ජනතාවට ඇතැම් විට දෙවේලක් කා කැපකිරීමක් කිරීමට සිදුවනු ඇති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර මෙම තත්ත්වය කෙටි කාලයක් පමණක් පවතිනු ඇති බවත්, ආර්ථිකය හරි අතට පැමිණි වහා ජනතාවට සහන ලබා දිය හැකි බවද කීය.
මන්ත්‍රීවරුන්ද වැටුප පරිත්‍යාග කරමින් කැපකිරීමක් කර ඇති බවද ඔහු පැවසීය.
ආණ්ඩුවට හැකියාව තිබුණා නම් දෙදහසක් නොව විසි දාහක් වුවත් දෙන බවත් අවාසනාවකට ඒ හැකියාව නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

''නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතා දුර්වලයි''
සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීමෙන් ප්‍රතිඵලයක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතා දුර්වල මට්ටමක පවතින බවද හෙතෙම සඳහන් කළේය.
වාහන සහ මහජනතාව අනවශ්‍ය පරිදි විශාල වශයෙන් මාර්ගවල ගමන් කරන බවත් බොහෝ පිරිස් අත්‍යවශ්‍ය සේවාද අවභාවිතා කරන තත්වයක් පෙනෙන්නට ඇති බවත් සභාපතිවරයා කීවේය.

රංජන්ට ජනාධිපති සමාව දෙන්න : සජිත් - චන්ද්‍රිකා ඉල්ලති !
සිරකරුවන්ගේ ජාතික දිනය යෙදී ඇති සැප්තැම්බර් 12 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙතැයි සිතන බවද ඔහු පවසා සිටියි.
ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
චන්ද්‍රිකාගෙන් ජනාධිපතිට ලිපියක් !
මේ අතර සැප්තැම්බර් 12 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සඳහා ජනාධිපති සමාව අපේක්ෂා කරන බව සඳහන් කරමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර ඇත.
අදාළ ලිපිය පහත දැක්වෙයි.

හම්බන්තොටට ෆයිසර් ගිය හැටි : සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියයි !
ෆයිසර් එන්නත හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබා දීමට තීරණය කළේ, රජය විසින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසයි .
එම ලැබුණු උපදෙස් අනුව අදාල එන්නත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයට යැබූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජවරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ සඳහන් කළ අතර ඒ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එන්නත් බෙදාහැරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් බවද ඔහු එහිදී පැවසීය.
එසේ නැතිව එන්නත් ලබා දෙන කිසිදු රටක් ඒවා ලබා දිය යුතු ප‍්‍රදේශ නිර්දේශ නොකරන බවද ඔහු පැවසුවේ මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.
මේ සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන නියෝජිතයන් චෝදනා කර සිටියේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බලපෑම මත මෙය සිදුව ඇතැයි කියාය.

ජනතාවට සහන දෙන්න : නැත්නම් දැවැන්ත ආණ්ඩු විරෝධයක් !
කොවිඩ් වසංගතය හමුවේ වසර එක හමාරකට අධික කාලයක් පීඩාවට පත්ව සිටින ජනතාව තව තවත් පීඩාවට ලක්කරමින් භාණ්ඩ මිල ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීන්දුව හකුළා ගෙන ජනතාවට සහන ලබා දීමට කටයුතු කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන දැවැන්ත විරෝධයට මුහුණ දීමට සූදානම් වන්නැයි ජනතා විමුක්ති පෙරමුණ අනතුරු අඟවයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කළ අතර ඒ අද (10) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ය.
එහිදී ඔහු මෙසේද පැවසීය.
ආණ්ඩුවක් කළ යුතුව තියෙන්නේ වසංගත තත්වයක් තුළ ජනතාවට සහන දීමයි. නමුත් ආණ්ඩුව ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දරාගන්න බැරි තරම් ඉහළ යන්න ඉඩ ඇරල තිබෙනවා. සාමාන්‍ය ජනතාවට ජීවත් වීමට ඉතාම අසීරු වෙලා. ඒ නිසා වහාම ජනතාවට සහන ලබාදිය යුතුයි කියලා බල කරන්න සිදුවෙනවා. කොරෝනා තත්වය නිසා ජනතාවගේ හඬ නගන්නවත් බැරිවෙලා තියෙන්නේ. සියලුම පීඩාවන් නිවාසවලට වෙලා දරාගන්න සිදුවී තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බලකර සිටිනවා අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිල අඩු කරන්න කියලා. වර්තමාන ආණ්ඩුවබලය ගත්තේ සුරංගනා කතා ගොඩක් කියලයි. බඩුමිල අඩු කරන හැටි, මුදල් හොයන හැටි දන්නවා කියලා පම්පෝරි ගැහුවා. නමුත් දැන් අත්‍යවශ්‍යම ද්‍රව්‍යවල මිල පාලනය කරන්නවත් මැදිහත් නොවෙනවා නම් ඒක මොන ආණ්ඩුවක්ද? ව්‍යාපාරිකයන්ට ලාභ ලබාදීම සඳහා කටයුතු කරනවා මිස පොදු ජනතාවට සහන ලබා දෙන්නේ නැහැ. මෙය ඉතාමත්ම අසාධාරණ තත්වයක්. කොරෝනා පිට දාලා ආණ්ඩුවට ගැලවෙන්න බැහැ. බඩු මිල ඉහළ යාම පාලනය නොකිරීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි.
ජනතාවට පහසුකම් සලසනවා කියලා බලය ගත්තු ආණ්ඩුවේ බරත් ජනතාවට දරන්න වෙලා තියෙන්නේ. බඩු මිල වැඩි වෙන්නේ ඒ නිසා. අත්‍යවශ්‍ය ආහාරවල ඉඳලා සබන්, දත් බෙහෙත්, ඖෂධ හැම භාණ්ඩයකම මිල වැඩිවෙලා තියෙන්නේ. වැඩිවීමේ නතර වීමක් නැහැ. ආණ්ඩුව මැදිහත් වී කිසියම් පාලනයක් කළ යුත්තේ මේ නිසයි. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට විධායක බලය, තුනෙන් දෙකේ බලය සහ 20 සම්මත කරලා ගත්තු බලය යොදවලා භාණ්ඩ මිල පාලනය කරන්න බැරිවෙලා. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ පොල්තෙල් ලීටරයක් රු. 480යි. දැන් 655 දක්වා වැඩිවෙලා. සීනි බදු සහන දීලා වංචා කළා වගේම පොල් තෙල්වලටත් වංචා කළා. ඒ අතර විෂ පොල්තෙල් ඇවිත් හිඟයක් ඇතිවෙලා මිල වැඩි කළා. විෂ පොල්තෙල්වලට සිදුවුණු දෙයක් කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම ජනවාරි මාසයේ රු. 180ට තිබුණු පරිප්පු 260 දක්වා වැඩිවෙලා. ජනාධිපතිතුමා ජාතිය අමතලා රු. 65ට දෙනවා කිව්ව පරිප්පු මිල මේ තරම් වැඩිවෙලා. සීනි රු. 85 ඉඳලා 220 දක්වා විතර වැඩිවෙලා. සීනි හැංගූ ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි දීලා ආණ්ඩුව මිලට ගත්තා. 85ට තිබුණු සීනි දැන් රු. 130ක් වෙලා. වියළි මිරිස්, හාල් මැස්සන් කරවල, අර්තාපල්, වගේ සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වේගයෙන් වැඩිවෙලා. ඊට අමතරව ගෑස් හිඟයක් නිර්මාණය කර රු. 363කින් මිල වැඩි කරන්න අවසර දුන්නා. තෙල් මිලත් වැඩි කළා. හැබැයි ජනතාවගේ ආදායම් වැඩිවෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය ඖෂධ මිලත් වැඩිවෙන්න ඉඩ ඇරලා. අගෝස්තු 19වැනිදා ගැසට් පත්‍රයක් කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගහලා තිබුණු මිලටත් වඩා ඖෂධ මිල වැඩිවෙන්න අවස්ථාව ලබාදුන්නා. මේකෙන් සිදුකළේ උපරිම මිලක් නියම කර තියෙන මිලටත් වඩා වැඩි කර දීමයි.
මේ අතර ශ්‍රී ලංකා මහබැංකුව සැප්තැම්බර් 09වැනිදා නිකුත් කළ නිවේදනයකින් හදිසි නොවන භාණ්ඩ, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කියලා නම්කළ ලයිස්තුවක් තියෙනවා. මේ භාණ්ඩ ආනයනය කිරීමේදී ණයවර ලිපි විවෘත කරන්න සම්පූර්ණ මුදලම බඳින්න ඕනෑ. මුලදී අත්තිකාරම් මුදලක් ගෙවා භාණ්ඩ ගෙනාවට පස්සේ සම්පූර්ණ මුදල ගෙවන්න හැකියාව කලින් තිබුණා. විදේශ විනිමය හිඟයක් තිබෙන නිසා මේ වගේ පැලැස්තර විසඳුම් යොදනවා. මේ නිසා භාණ්ඩ හිඟයක් වගේම තිබෙන භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමත් සිදුවෙනවා. මේ නිවේදනයෙන් දක්වා තිබෙන භාණ්ඩ ලයිස්තුවේ ජංගම දුරකතන වැනි කෝවිඞ් තත්වය හමුවේ අත්‍යවශ්‍ය දේවල් පවා තිබෙනවා. අධ්‍යාපන කටයුතු ලබන්න, ගෙදර ඉඳලා රාජකාරී කටයුතු කරන්න අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මේ වෙලාවේ දරුවන්ට උගන්වන්න ඕනෑ කරන ජංගම දුරකතන පවා මේ ලැයිස්තුවට දාලා තියෙනවා. මේ නිසා හිඟයක් ඇතිවී මිල වැඩි වීමෙන් සාමාන්‍ය ජනතාවට ගන්න බැරි තත්වයක් ඇතිවෙනවා. කොවිඞ් තත්වය හමුවේ හුමාලය අල්ලන්න අත්‍යවශ්‍ය වෙන ජලය උණු කරන උපකරණ පවා මේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම යට ඇඳුම් වැනි දේ ඇතුළත් කිරීමෙන් ආණ්ඩුව හාස්‍යයට ලක්වී තිබෙනවා. ආණ්ඩුව සහ ආණ්ඩුව වෙනුවෙන් කඬේ ගිය අයට නම් ඇඳුම් ගැන ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුව වගේ අනෙක් අයත් රෙදි නැතිව ඉන්නවා කියලා හිතනවා ඇති.
ආරථිකය හැසිරවීම සඳහා දැක්මක්, වැඩපිළිවෙළක් නැහැ. සියලු නිෂ්පාදන මාර්ග දුර්වල කරලා කොල්ලකාරී ආර්ථිකය ක්‍රියාත්මක කරනවා. අපේ රට සතුව තිබුණු කර්මාන්ත විශාල ප්‍රමාණයක් විනාශ වෙන්න ඇරියා. නැත්නම් විකුණා දැම්මා. මේ නිසා ආදායම් මාර්ග ඇහිරී ණයට කාලා ජීවත් වෙන්න පුරුදු කළා. ඒ ණය ගෙවාගන්නවත් බැරි තත්වයක් දැන් තියෙන්නේ. ආදායම් උත්පාදනය නොකිරීමේ ප්‍රතිඵලයක් හැටියට මේ ණය ගෙවන්න රජයේ ආදායමට වඩා වැඩි මුදලක් වැය වෙනවා. වැරදි අර්ථික ප්‍රතිපත්ති විසින් මුදල් අච්චු ගහමින් බඩුමිල වැඩිවීමට තවත් අනුබල දී තිබෙනවා. රට තුළ නිපදවන වැඩපිළිවෙළකුත් නැතිව පිටින් ගේන එකත් නැවැත්වුවාම භාණ්ඩ හිඟයක් ඇතිවී මිල විශාල වශයෙන් වැඩි වෙනවා. අනවශ්‍ය වියදම් අඩුකර, ණය ගැනීම සීමා කර නිෂ්පාදනය වැඩි කරන කිසිම වැඩපිළිවෙළක් නැහැ. අතීසාරයට අමුඩ ගහනවා වගේ දවස ගෙවාගන්න මොනවා හරි කරනවා. මේ නිසා ප්‍රශ්නය තව තවත් වැඩිවී ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වෙනවා. ආණ්ඩුවක වගකීම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සාධාරණ මිලකට පොදු ජනතාවට ලබා දීමයි. නමුත් ආණ්ඩුව වටේ ඉන්න ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුට සිනි බද්ද, පොල්තෙල් බද්ද, ඖෂධ උපරිම මිල නියම කිරීම ඇන්ටිජන් කිට් ගෙනත් ජාවාරම් කරන්න ඉඩ දීම වගේ ක්‍රියාමාර්ගවලින් අසීමිත ලාභ ලබන්න අවස්ථා ලබාදෙනවා. රටට ආදායම් මාර්ග ගේන ව්‍යාපාරිකයින් පවා ඉතාම අසීරු මට්ටමකට වැටී ණයවර ලිපි විවෘත කර ගැනීමට පවා නොහැකිව ඉන්නවා.
මිල පාලනය කරන්න හැකියාව තිබියෙදී පවා නොකර සිටීමෙන් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වී ඉන්නවා. ආණ්ඩුවට ඡන්දය දීපු අවංක බොහෝ දෙනා දැන් ආණ්ඩුව අත්හැරලා තියෙන්නේ. මේ සියලු දෙනාම එකතුවී ජනතාවට සහන ලබාදෙන්න කියලා හඬක් නැගිය යුතුව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම වෙනුවෙන් හඬ නගන ලෙසයි. අපි ඒ වෙනුවෙන් ආණ්ඩුවට දිගටම බල කරමින් ඉන්නවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වහාම අඩු නොකරන්නේ නම් දැවැන්ත තමහජන විරෝධයකට මුහුණ දෙන්න සූදානම් විය යුතු වෙනවා. ආණ්ඩුවේ මුග්ධ, තකතීරු ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇතිවන අර්බුද ජනතාව මත පටවන්න එපා. කොවිඞ් හමුවේ කැපකිරීම් කරන්න පටන් ගන්න ඕනෑ ආණ්ඩුව ඇතුළෙන්මයි. නමුත් මහ බැංකුවේ අධිපතිකම කරන්න බලාගෙන ඉන්න ඇමතිවරයා තමන්ගේ විශ්‍රාම වැටුප රු. ලක්‍ෂ ගණනකින් ලබාගන්න කටයුතු කළා. ආණ්ඩුවේ පිඟන්වලට ඇති තරම් බෙදා ගනිමින් ජනතාවට කන් හැඳිවලින් බෙදනවා. කැපකිරීම් කරලා රට වෙනස් කරන්න නම් පාලකයෝ ඒ ආදර්ශය දෙන්න ඕනෑ. එහෙම නොකර ජනතාවට පටි තද කරගන්න කියන එකේ තේරුමක් නැහැ. ජනතාව හැම පැත්තකින්ම කැපකිරීම් කරමින් ඉන්නේ.
ඒ අතර අපි ජනතාවට අවධාරණය කරන්නේ දැන් තියෙන අර්බුදයට පැලැස්තර විසඳුම් නැති බවයි. මැජික්වලින් විසඳන්න බැරි බවයි. අපේ රටේ පවත්වාගෙන යන ආර්ථීක සහ දේශපාලන වැරදි ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනෑ. ජාවාරම්කාර අතළොස්සක් මහජන මුදල් ගසාකන, ඒ සල්ලිවලින් ආණ්ඩුව යැපෙන සහ ආණ්ඩුවේ පිරිසක් යටිමඩි ගහගන්න කොල්ලකාරී ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න ඕනෑ. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ ප්‍රාජාතන්ත්‍රවාදීව, සාධාරණව බෙදාහරින ක්‍රමයක් ඕනෑ. ඒ වගේම මහජන සේවකයක් බවට පත් කරගත් දේශපාලන සංස්කෘතියක් ඕනෑ. ඒ හැර එක නායකයෙක් වෙනුවට තව නායකයෙක් ගෙන එන ක්‍රමය වෙනස් කර බරපතළ සමාජ ආර්ථික වෙනසක් සිදුකරන්න අධිෂ්ඨාන කරගත යුතු වෙනවා. ඒ සඳහා ජනතාවට විශ්වාස කරන්න පුළුවන් බලවේගය ජනතා විමුක්ති පෙරමුණයි. ඒ වටා එකතු වෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩවලට ජනතාවට සහන නොදේ නම් දැවැන්ත විරෝධයකට මුහුණ දෙන්න ලැහැස්ති වෙන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

කොරෝනා මරණ 131ක් - සමස්ත මරණ 11,000 ආසන්නයේ !
තවත් කොරෝනා මරණ 131ක් ඊයේ (09) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිල නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (10) නිකුත්කර ඇත.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10,995 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 110 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර, අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 20 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු එක් අයෙකුද ඒ අතර වෙයි.
මියගිය අය අතරින් 73 දෙනෙක් පිරිමි වන අතර සහ කාන්තාවන් 58 දෙනෙකි.

කළකිරීම ප්‍රසිද්ධියේ කියමින් මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි !
ඉකුත් සතියේ මෙන්ම ආසන්න දිනවල සිදුවූ සිත් රිදවන සිදුවීම් සහ කරුණු නිසා තමන් සැලසුම් කළ දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නා බව දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් අද (10) ප්‍රකාශ කළේ ය.
ලබන මාසයට යෙදී තිබෙන තම 80 වැනි ඡන්ම දිනයේ දී විශ්‍රාම යෑමට කලින් සැලසුම් කරගෙන සිටියද පසුගිය සතියත් දින දහයත් අතර කාලයේ දී සිදු වූ සිත් රිදවන සිදුවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බව සති හයකින් පමණ ඉක්මන් කළ බව දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් පැවැසීය.
මහ බැංකුවේ අධිපතිවරයා මේ අදහස් දක්වා සිටියේ සිය විශ්‍රාම යෑම දැනුම් දීම වෙනුවෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ අද (10) පැවැති මාධ්‍ය හමුව අමතමිණි.
මේ අනුව ලබන සතියේ 14 වැනි දා සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මෙම මාධ්‍ය හමුවේ දී පැවැසීය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධුරය දරන්නැයි තමන්ට යෝජනාවක් ඉදිරිපත් වූ බවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් එහිදී පැවැසීය.
මා අධිපති ධුරයේ වැඩ බාරගත් සතියකට දෙකකට පමණ පෙර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය බාරගන්නැයි තමන්ට මහත් විස්මයක් ගෙන දුන් බවත් එය කිසිසේත් අපේක්ෂා නොකළ එකක් බව ද හෙතෙම කීවේ ය.
මීට පෙර තමන්, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරය දරන සමයේ දී සිටි වකවානුවේ දී එනම් 2004 වසරේ දී තමන්ගෙන් කළ ඉල්ලීම ද තමන් ප්‍රතික්ෂේප කළ බවත් ඔහු කීය.
මෙවර කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ දී වසරකටවත් එම ධුරය බාරගෙන ප්‍රතිපත්ති සකසන ලෙසත් තමන් ද සහාය දුන් ආණ්ඩුවට මතවාදී ව සහාය දෙන්නැයි කළ ඉල්ලීම ද සලකා බලමින් තමන් එම ඉල්ලීම බාරගත් බවත් ද හෙතෙම පැවැසීය.
එම ඉල්ලීම බාරගෙන මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධුරයේ කටයුතු කළ බවත් තමන් නිවැරැදි යැයි විශ්වාස කරන ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව තුළ කටයුතු කළ බවත් තමන් ධුරයේ කටයුතු කළ සමයේ ගත් කිසිදු තීරණයක් හෘදය සාක්ෂියට විරුද්ධව ගෙන නැති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කීවේ ය.

ලංකාවේ ඩෙල්ටා රජවෙයි : ප්‍රතිශතය 95.8% යි !
මෙරට කොරෝනා ආසාදිතයින් අතුරින් 95.8% ක් මාරාන්තික කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු අය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා , ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී චන්දිම ජීවන්දර පවසයි.
මේ පිළිබඳ ඔහු සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබා ඇත.
මීට අදාළ වාර්තාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකර ඇති බවත් වාර්තා වෙයි.
මේ අතර , රටපුරා කොරෝනා ආසාදිතයන්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල පිළිබඳව පැවැත්වූ ජාන විශ්ලේෂණ පරීක්ෂණයේ අලුත්ම වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (10) බාරදෙනු ලැබීය
මේ අතර මෙරටින් මේදක්වා සොයාගෙන ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් සංඛ්‍යාව අද (10) වනවිට 359ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

ඇමති චමල්ට කොවිඩ් ආසාදනය වෙයි
වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩි – 19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ඇතැයි වාර්තා වේ.
ඇමති චමල් රාජපක්ෂ කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් සිය නිවසේ නිරෝධායනයට ලක්කර සිටියදී සිදු කළ PCR පරීක්ෂණයේදී මෙලෙස ඔහුද ආසාදිතයෙකු බව අනාවරණය වී ඇත.

නිරෝධායන ඇඳිරිනීති කාලසීමාව දීර්ඝ කෙරේ
දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලබන 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ඒ එදින අලුයම 4.00 දක්වාය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී අදාළ තීරණයට එළඹි බවය.
මෙයට පෙර ගත් තීරණය අනුව නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වීමට නියමිතව තිබුණේ ලබන 13 වැනිදා සඳුදාය.
කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා විසින් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වැනිදාය.

විපක්ෂයෙන් හුස්ම 25 අදියරේ : සජිත් ආණ්ඩුවේ මගඩි හෙළිකරයි !
මේ වනවිටත් රට පුරා මගඩි රැසක් ක්‍රියාත්මක වන අතර,එක් පැත්තකින් දත්ත මැකීමේ මගඩිය,තව පැත්තකින් ඇන්ටිජන් මගඩිය ,තවත් පැත්තකින් ඖෂධ ජාවාරම ජයටම සිදුවෙන බවත් මේ සියලු ව්‍යසන මැද ජනතාව අති මහත් පීඩනයකින් දුක් විඳින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය .
අල්ලසට දූෂණයට මගඩියට උපරිම ඉඩ සලසන ආණ්ඩුවක් රටේ ක්‍රියාත්මක වන අතර විපක්ෂය හැටියට සමගි ජන බලවේගය ආණ්ඩුවක් විසින් කළ යුතු ජනතාවාදී කටයුතු සිදුකරමින් සිටින බව ද විපක්ෂනායකවරයා පැවසීය.
ජනතාවට සේවය කිරීම ආණ්ඩුවේ වගකීම වුවත් ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ ගජ මිතුරන් වෙනුවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා,ඔවුන්ට දිය යුතු සියලු පහසුකම් ආණ්ඩුව ලබාදෙන බවද සඳහන් කර සිටියේය.
විපක්ෂ නායකවරයා මේ අදහස් දක්වා සිටියේ "විපක්ෂයෙන් හුස්මක්"25වන අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට රුපියල් තිස්ලක්ෂ අනූදහසක (රු.3,090,000.00) වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක් වෙමිනි.
අදාල පරිත්‍යාගය අද(09) විපක්ෂ නායක කාර්යාලයේදී සිදුකෙරිණ.
මේ ව්‍යසනකාරී මොහොතේත් සංවර්ධන කටයුතු අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කරමින් මහජන ධනය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන අතර සැබැවින්ම ජනතාව කෙරෙහි ආදරයක් ඇත්නම් ආණ්ඩුව කළ යුත්තේ මන්ත්‍රීවරු පෝෂණය කරමින් ඔවුන්ව සංවර්ධනය කිරීම නොව ,ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම බවද එම අවස්ථාවේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා පැවසීය.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සියලු වරදාන වරප්‍රසාද ලබා දීමට ආණ්ඩුව කටයුතු කළත් ජනතාව වෙනුවෙන් කිසිවක් ලබා දීමට ආණ්ඩුව සූදානම් නැති බව පැවසූ ඔහු , මේ සියලු දේ සිදුවන්නේ මහජනතාවගේ බදු මුදලින් බව ආණ්ඩුව තේරුම් ගත යුතු යැයි ද පැවසීය .
රෝහල් උපකරණ ලබාදීමේ " විපක්ෂයේ හුස්මක්" වැඩසටහන මේ දක්වා වට 24 ක් පුරා දියත් වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ හරහා ලක්ෂ හත්සිය හතළිහකට වැඩි රෝහල් උපකරණ ලබාදී ඇතැයිද පැවසීය.
මේ ජනතාවාදී වැඩපිළිවෙළ ඉදිරියටත් නොනවත්වා කන්ඩ පවත්වාගෙන යන බවද ඔහු පැවසීය.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන මුලුමහත් ශ්‍රී ලංකාවම බලවත් පීඩාවකට පත්ව සිටින අවස්ථාවේ අපේම ජනතාව වෙනුවෙන් ප්‍රායෝගිකවම කිසියම් මෙහෙවරක් කළ යුතුයැයි යන විශ්වාස පෙරදැරිව සමගි ජන බලවේගය විසින් "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ආරම්භ කළ අතර ඊට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දියත් කරනු ලබන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 25 වන පියවර ලෙස රුපියල් තිස්ලක්ෂ අනූදහසක (රු.3,090,000.00) වටිනා රෝහල් උපකරණ කෑගල්ල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වයි.ජේ. සමරසිංහ වෙත පරිත්‍යාග කරනු ලැබීය. ඒ අනුව,
01.රුපියල් ලක්ෂ පහක් (රු500,000.00) වටිනා Multipara Monitors (Edan) උපකරණ 02ක්
රුපියල් දොළොස් ලක්ෂ හතලිස්දහසක් (රු.1,240,000.00)වටිනාOpti flow nasal therapy උපකරණයක් සහ රුපියල් දහතුන් ලක්ෂ පනස්දහසක් වටිනා (රු.1,350,000.00)Opti flow nasal therapy (Donations for Australia Melban Art Circle)උපකරණයක් මෙලෙස පරිත්‍යාග ලෙස ලබාදීම සිදුවිය.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එක්ව "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මේ දක්වා වට 24 ක් තුළ රුපියල් ලක්ෂ හත්සිය දහනවයක (රු. 71,904,000)රෝහල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.
https://www.newstube.lk/news?start=7686#sigProId53f0012a02

සයිනොෆාම් දුන්න පිරිසකට තෙවන මාත්‍රාවක් දෙන්න වෙයි !
ශ්‍රීලංකා වෛද්‍ය සංගමය ඉල්ලා ඇත්තේ සයිනොෆාම් එන්නත් දෙකම ලබාදුන් නමුත් 60 ට වැඩි වැඩිහිටි ප්‍රජාවට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පිරිස වෙත තෙවන මාත්‍රාවක් ලබාදීමට අවශ්‍ය බවයි.
එම සංගමය නිර්දේශ කරන්නේ මේ සඳහා ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා යන එන්නත් වර්ග භාවිත කරන ලෙසය.
බහරේන රාජ්‍යයේ සිදු කරන ලද පරීක්ෂණයක දත්ත උපුටා දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මේ නිර්දේශ ඉදිරිපත් කර ඇත.
ඊට අනුව සයිනෝෆාම් එන්නත් ලබාගත් අවුරුදු 50 වැඩි පුද්ගලයින් මරණයට පත්වීම සහ රෝහල් ගතවීමේ අනුපාතය ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් ලබාගත් අයට සාපේකේෂව ඉහළ අගයක් ගන්නා බව අනාවරණය කරගෙන ඇත.
තවද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කරන ලද පරීක්ෂයකින් ද අනාවරණය කරගෙන ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් 60 වැඩි පුද්ගලයින් සෑම කෙනෙකුගේම ප්‍රතිදේහ නිපදවෙන බවටත් සයිනෝෆාම් එන්න ලබාගත් සියයට 7%කට එම තත්ත්වය ඇති නොවන බවත් සනාථ වී ඇති බව යැයිද ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.
මෙම පර්යේෂණ පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ, 18ත් 60ත් අතර බරපතල රෝග තත්ත්වයන් නොමැති සියලුම පුද්ගලයින්ට සයිනෝෆාම් එන්නත ලබාදෙන ලෙසයි .
12 ත් 18 ත් අතර රෝගී තත්ත්වයන් සහිත දරුවන්ට ෆයිසර් එන්නත් මාත්‍රා දෙකක් නිර්දේශ කරන බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
තවද ස්පුට්නික් පළමු මාත්‍රාව ලබා සිටින පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබාදිය නොහැකි නම් ඒ වෙනුවට ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එක් මාත්‍රාවක් ලබාදෙන ලෙසත් වෛද්‍ය සංගමය ඉල්ලා ඇත.
ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් සහ මොඩර්නා එන්නත්වල සඵලතාවය අවම වශයෙන් මාස 06 ක් පවතින බවට සනාථ වී ඇති බැවින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මාත්‍රා දෙකම ලබා සිටින 60 වැඩි පුද්ගලයින් සඳහා අවම වශයෙන් දෙවන මාත්‍රාවෙන් මාස 6 කට පසු එම වර්ගයෙන්ම හෝ වෙනත් වර්ගයකින් තුන්වන මාත්‍රාවක් දිය යුතු බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිර්දේශ අතරට ඇතුළත් වේ.

තවත් කොවිඩ් මරණ 175ක් : සමස්ත කොවිඩ් මරණ 10,864ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (08) දින තහවුරු කර ඇති එම මරණ 175ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,864ක් දක්වා ඉහළගොස් ඇත.
කාන්තාවන් 79 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 96 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.
අවුරුදු 30ට අඩු එක් මරණයක් ද වාර්තා වී තිබේ.
Page 428 of 462