පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ කින්ස්බරි හෝටලයේ පෙරේදා (31) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නීතීඥවරුන්ගේ සංගමයේ පළමු සම්මේලනයේදී රැඟුමක් සඳහා නළඟනක් යොදා ගනිමින් නීතියේ දෙවඟන හැල්ලුවට ලක්කර ඇතැයි චෝදනා කරමින් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බලවත් විරෝධයක් දක්වමින් සිටිති.
මෙම සම්මේලනය කැඳවා තිබුනේ, ගෝඨාබය රාජපක්ෂ හා පොහොට්ටුවේ නීතිඥයින් අතර අදහස් හුවමාරුකර ගැනීම සඳහාය. එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද සහභාගී වී සිටියේය.
මෙම රැඟුම සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ, මෙම රැඟුම තුලින් රාජපක්ෂ පාලනය තුල ක්‍රියාත්මක වූ කැලැ නීතිය සිහිගැන්වෙන බවයි. ගෝඨාබයගේ ද අරමුණ වී ඇත්තේ පෙර පරිදිම නීතිය තම අතට ගෙන තමන්ට අවශ්‍ය අකාරයෙන් හැසිරවීම බව මෙයින් අවධාරණය කෙරෙන බව ඔවුන් පවසති.

කෙසේවුවද සම්මේලනය ඇමතු ගෝඨාබය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඉදිරියේ තබාගෙන අවධාරණය කර සිටියේ, නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බවයි. එහිදී ඔහු මෙසේද පැවසිය.
''නීතියේ අධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය යන ඉතාමත් ස්වර්ණමය සංකල්පය ජනතාවගේ සුභ සිද්ධිය හා දියුණුව සඳහා අනිවාර්යයෙන්ම ආරක්ෂා කළ යුතු බව අපි කවුරුත් දන්නා කරුණක්.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා යැයි පිහිටුවා ඇති ආයතනික ව්‍යුහය ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවට දේශපාලන අවශ්‍යතා සඳහා යෙදවීමට තවදුරටත් ඉඩ දිය නොයුතුයි.
ඒ වෙනුවට ඒ ආයතනවලට සැබෑ ස්වාධීනත්වයක් ලබා දී ඒවා තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් ජනතාව සවිබල ගැන්වීමට නීතිඥයෙන්ගේ උපදෙස් හා සහාය බලාපොරෙත්තු වෙනවා.
එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමණයි. පුරවැසියා හැම විටම නීතිගරුක විය යුතුයි. නමුත් පුරවැසියා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට හා පුද්ගලයන්ට බයනම් එහි ගැටලුවක් තියෙනවා.
නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා පුද්ගලයින් නීතියට යටත්ය කියන කාරණය මතක තබා ගත යුතුයි"

ගෝඨාට නීතිය නවන්න උදව් කලේ කව්ද ?
ගෝඨාබය රාජපක්ෂ මෙසේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බව කියා සිටිය ද ඔහු ඔහුට ඇති බරපතල චෝදනාවලින් ගැලවීම සඳහා නීතියට කට්ටිපනිමින් සිටින පුද්ගලයෙකු බවට චෝදනා එල්ලවෙයි. ඒ සඳහා ඔහුට ආධාර උපකාර කලේ වෙනින් කව්රුවත් නොව යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා බවටද චෝදනා එල්ලවේ.
ඒ සම්බන්ධයෙන් 'රාවය' පුවත්පතේ ''ගෝඨාභය ආරක්ෂා කිරීමේ අපරාදයෙන් හෙළිවන නායකයන්ගේ නිරුවත'' යන ශීර්ෂයෙන් යුතුව පලවී ඇති මහාචාර්ය සරත් විජේසූරියගේ ලිපියක මෙසේද සඳහන් වේ.
''ගෝඨාභය රාජපක්ෂ නමැති හිටපු ආරක්ෂක ලේකම් වරයා සිය බලය අයථා ලෙස පරිහරණය කරමින්, අපරාධ සහ දූෂණ යන උභය අංශයෙන්ම චෝදනාවට ලක් වන්නේ සෑහෙන කාලයක් තිස්සේය. සැබවින්ම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කෙසේ හෝ පරාද කිරීමට නීති ගරුක පුරවැසියන් මර බිය පසෙකලා පෙරට ඒමට ප්‍රධාන හේතුවක් වූයේ ද ගෝඨාභය රාජපක්ෂගේ භූමිකාවේ ගොරබිරම්භාවයයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පටන් ගත් අවස්ථාවේ රාජපක්ෂවාදී භික්ෂූන් වහන්සේලා මහමඟට බැස ලංකාවේ භික්ෂූන්ගේ තරම ලෝකයාට විදහා දැක්වූහ.''
යහ පාලන ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරන්නේ රටේ නීතිය අවභාවිත කරමින් බව මහාචාර්යවරයා පවසයි.
මිනිස් සංහාරයක අස්වැන්න නෙලන අපේක්ෂකයෙක්
ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ‘නීතිය ඉදිරියේ සමානත්වය’ පිළිබඳ සංකල්පය, නන්දා මාලිනියගේ ගීතමය වැලපීමක නව අර්ථකථනයක් වශයෙන් මෙසේ ඉදිරිපත් කළ හැකි යයි සරත් ද අල්විස් පවසයි.
‘‘අද්මිරාල්ලා, ජෙනරාල්ලා නීතියටත් ඉහළින් නම්- කුමට එරට අධිකරණය, නීතිය හා විනිසුරුන්?’’
සරත් ද අල්විස් එබව සඳහන් කර ඇත්තේ colombotelegraph වෙබ් අඩවියට සම්පාදනය කල ලිපියකය.
සරත් ද අල්විස් සිය ලිපියේ සඳහන් කරන පරිදි “ගෝඨාබය පුන පුනා තදින්ම විරෝධය පාන එකම කාරණය වන්නේ, තමන්ව උසාවියක් ඉදිරියට කැඳවීම ය. ඔහු සහභාගි වූ දෙරණ 360 රූපවාහිනී සාකච්වඡාට ඔබ කන්දුන්නොත්, නිගමන දෙකකින් එකකට ඔබට පැමිණිය හැකිය. එක්කෝ, නීතියේ ආධිපත්‍යය තුළ ගෝඨාභයට ව්‍යතිරේකයක් (නිදහසක්) ඇති බව ඔබ පිළිගත යුතුය. එසේ නැතහොත්, මොහු නොම්මර එකේ පිස්සෙකු බව පිළිගත යුතුය.“
ගෝඨාබය රාජපක්ෂට වෙනස් විය හැකිද?
ගෝඨාබය රාජපක්ෂට වෙනස් විය හැකිද යන කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවීන මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය vikalpa.org වෙබ් අඩවියට යොමුකර ඇති ලිපියක මෙසේ සඳහන් වේ.
ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනස් පුද්ගලයකු වනු ඇතැයි කීවේ අන් කවරකුවත් නොව බැසිල් රාජපක්ෂ මහතාය. ඔහු දුෂණය කම්මුතු කරන්නකු වනු ඇතැයි කීවේ ද එම බැසිල් රාජපක්ෂම ය. කම්මුතු කරන්නකු යන වචනයම භයානක එකකි.
ගෝඨාභය රාජපක්ෂ කාලයෙහි සුදු වෑන් මගින් බලහත්කාර අතුරුදහන්වීම් සිදු වූ බව කීවේ අන් කවරකුවක් නොව රාජපක්ෂ දේශපාලන වහලකු වන වාසුදේව නානායක්කාර ය.
ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වුවහොත් තමාට ද ප්‍රගීත් එක්නැළිගොඩට අත් වූ ඉරණමම අත්විය හැකි යැයි කීවේ තවමත් මහින්ද රාජපක්ෂවාදියකු වන කුමාර වෙල්ගම ය.
බලය ඇති විට ගෝඨාබය රාජපක්ෂ කටයුතු කර ඇත්තේ නීතියට අනුව නොවේ යයි සුනන්ද දේශප්‍රිය කරන සමස්ත විග්‍රහය මෙතනින් කියවන්න

