ලෝක බැංකුවේ විශාලතම ආයෝජනයක් ශ්‍රී ලංකාවට !

ලෝක බැංකුවේ විශාලතම ආයෝජනයක් ශ්‍රී ලංකාවට !

ලෝක බැංකුව නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක රටක සිදු කළ විශාලතම ආයෝජනය ශ්‍රී ලංකාවට ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නංවාලීමේ අරමුණින් වසර 05 ක් තුල ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක දිවයින පුරා ස්ථාපිත කිරීමේ සාමාරම්භක උත්සවයට ඊයේ (15) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“රෝග නිවාරණය ඉතාම වැදගත්. අපේ රටේ සෞඛ්‍ය ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවලට වඩා ඉදිරියෙන් තිබෙනවා. බෝවන රෝග මේ වන විට පාලනය කර ඇති අතර, මවගෙන් දරුවාට වැළදෙන එච්.අයි.වී සහ රුබෙල්ලා රෝග තුරන් කිරීමේ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම වසරේ දී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය. ලබන වසරේ දී සරම්ප රෝගයෙන් මිදුනු රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබාගැනීමට අපි සෞඛ්‍ය සේවාව දියත් කොට තිබෙනවා. ඉන් පසු ශ්‍රී ලංකාවෙන් තුරන් කළ යුතුව ඇත්තේ ඩෙංගු සහ ක්ෂය රෝගයයි. නමුත් අපි 2017 වසරේ දී ඩෙංගු රෝගය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වූ විට එය පාලනය කිරීම තුලින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක් වුනා.”

“බෝනොවන රෝග පාලනය කිරීමේ දී රෝග නිවාරණ ප්‍රතිකාර ක්‍රම ඉතාම වැදගත්. රෝගක් වැළදීමට ප්‍රථම සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරිම තුලින් රෝග හදුනා ගැනීම සදහා මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන ඉදිකරනවා. සුවනාරි සහ සුවදිවි මධ්‍යස්ථාන 1500 ක් ස්ථාපිත කළත්, එමගින් ප්‍රතිලාභ ලබාගෙන ඇත්තේ සියයට 35 ක් පමණයි. මෙම මධ්‍යස්ථාන වලින් පිළිකා වැනි රෝග ද වැළදීමේ අවධානම පරීක්ෂාවට ලක් කළා. නවීන ප්‍රතිකාර ක්‍රම ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කර ඇති බැවින් වර්තමානයේ කිසිදු පුද්ගලයෙකු පිළිකා, එච්.අයි.වී රෝග වලින් මැරෙන්නේ නැහැ. ජිවිත ආරක්ෂා කර දෙන්න පුළුවන්. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙවර මැතිවරණයෙන් ද ජයගන්නේ සෞඛ්‍යට කළ සේවාව නිසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කළ ජනතා මෙහෙවරට ප්‍රචාරයක් ලැබුනත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මා සිදු කළ සේවාවට නිසි ප්‍රචාරයක් ලැබුනේ නැහැ. යහපාලන රජය ස්ථාපිත කිරීමත් සමග ප්‍රචාරණයට මුදල් වෙන් කළේ නැහැ. දැඩි තීන්දු තීරණ මතින් පුද්ගලයින් සෞඛ්‍ය පරික්ෂණ සදහා යොමු කළ යුතුයි. තීන්දු තීරණ ගත්තේ නැත්නම් ජනතාවට මෙම වැඩපිළිවෙල පිළිබදව නිසි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. මිලියන 21 ක් වූ ජනතාව ලියාපදිංචි කිරීමක් සිදු කරන අතර, සෑම පුද්ගලයෙකුටම වෛද්‍ය වාර්තා ඇතුලත් සෞඛ්‍ය වාර්තාවක් ද නිකුත් කරනවා. ඉතා කඩිනමින් පවුලේ වෛද්‍යවරයා සංකල්පය ද ක්‍රියාත්මක කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මෙවැනි වැඩපිළිවෙල දියත් කරන විට ජනතාවත් ඊට සුදානම් විය යුතුයි. රෝග වැළැදීමෙන් පසු ප්‍රතිකාර කරලා වැඩක් නැහැ. ඊට ප්‍රථම ප්‍රතිකාර ක්‍රම ආරම්භ කළ යුතුයි. නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක රටක ලෝක බැංකුව කළ විශාලතම ආයෝජනය මෙයයි. පසුගිය රජය විසින් පිළිකා රෝගීන් සදහා පැරණි ලීනීයර් ඇක්සලේටර් නව ඇක්සලේටර් ලෙස පෙන්වා දෙමින් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට උත්සාහ කළා. නමුත් එම ආනයනය නතර කර නව උපකරණ ගෙන්වීමට මම පියවර ගත්තා. සමහරු හිතනවා ආණ්ඩුත් නිකන් ගණිකාවක් වගේ කියලා. කාටවත් උවමනාවක් නැහැ. ජනතා චින්තය ඒ වගෙයි. එම නිසයි පැරණි බඩු ලංකාවට ආනයනය කිරීමට ඇතැමුන් උත්සාහ කළේ.”

කළුතර දෙදියවල ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයට මුල්ගල් තැබීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි. 2019 වසර තුල ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 60 ක් ද, 2020 වසර තුල එවැනි ඒකක 150 ක් ද දිවයින පුරා ස්ථාපිත කිරිමට නියමිතය. වසර 05 ක් පුරා සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය සදහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබාදී ඇත. මෙහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා නංවාලීමේ ප්‍රතිපත්ති හා චක්‍රලේක ඇතුලත් ලිපිගොනු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ඇතුලු රෝහල්වලට පිරිනැමීම ද සිදු විය.

මෙම අවස්ථාවට කොට්ටේ පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දෙදියවල තිළකසිරි නාහිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විඡේමාන්න, කළුතර නගරාධිපති අමීර් නසීර්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න