අයි.එස්.අයි.එස්. සංවිධානයට රටේ සංවර්ධනයවත්, ආර්ථික දියුණුවවත්, එදිනෙදා වැඩකටයුතුවත් කඩාකප්පල් කිරීමට ඉඩනොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (12) රත්නපුරේදී පැවසීය.
බෝම්බ පිපිරවීමෙන් ජීවිත විශාල සංඛ්‍යාවක් බිළිගෙන ජන ජීවිතය අඩාල කර රට අකර්මණ්‍ය කිරීම ත්‍රස්තවාදීන්ගේ අරමුණවුවත් ඊට ඉඩනොදී සාමය හා සංහිදියාව ආරක්‍ෂා කර ගනිමින් රජයේ සංවර්ධන කටයුතු මෙන්ම පුද්ගලික අංශයේ ද එදිනෙදා කටයුතු ඉදිරියට ගෙන යෑමට වහා පියවර ගත යුතුව ඇතැයි වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ "රන් මාවත්" වැඩසටහන යටතේ රත්නපුර, මල්වල – ශ්‍රී පලාබද්දල මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.
මෙම අවස්ථාවට සහභාගීවීමට පෙර වික්‍රමසිංහ අමාත්‍යවරයා රත්නපුර, මුද්දුව- දෙමුවාවත පාලම ද විවෘත කරනු ලැබීය.
මල්වල – ශ්‍රී පලාබද්දල මාර්ගයේ ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය.
අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය එල්.ටී.ටී.ඊ. සංවිධානයට වඩා වෙනස්. එය විශාල සංවිධානයක් නොවෙයි. එක් කණ්ඩායමක් අවසන් වුණොත් තවත් කණ්ඩායමක් බිහිවිය හැකියි. ඒ සඳහා ඇති ඉඩකඩ අප වැළැක්විය යුතුයි.
බෝම්බ පිපිරවීම්වලින් මේ ත්‍රස්තවාදී කණ්ඩායම උත්සාහ ගන්නේ ජීවිත විශාල ප්‍රමාණයකට හානි සිදු කිරීමටයි. ඔවුන්ගේ දෙවැනි අරමුණ වන්නේ රටේ සාමය, සංහිදියාව නැති කිරීමටයි. තුන්වනුව ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ රටේ සංවර්ධනය හා ආර්ථික දියුණුව අඩාල කිරීමටයි.
රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමට ඉඩනොදී ජන ජීවිතයේ කඩාවැටීම් ඇති කිරීම ඔවුන්ට අවශ්‍ය වී තිබෙනවා. අප මෙයට මුහුණ දෙනවා නම් අප සියලූ දෙනාම ප්‍රථමයෙන් කළ යුත්තේ සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීමේ වෑයමට උපරිම සහය ලබා දීමයි.
බෝම්බ පිපිරවීම සිදුවීමෙන් පසු සාමය හා සංහිදියාව ආරක්‍ෂා කර ගැනීමට හැකි වුණේ මහා සංඝරත්නය ප්‍රමුඛ පූජක පක්‍ෂය ගත් පියවර නිසයි. නමුත් දැන් පලවන ඇතැම් පදනම් විරහිත ප්‍රවෘත්තිවලට කළබළවී සංහිදියාවට ප්‍රශ්න ඇතිවීමට අප ඉඩදිය යුතු නැහැ. සංහිදියාව ආරක්‍ෂා කරගෙන ඉදිරියට යා යුතුයි.
එදිනෙදා ජන ජීවිතය ඉදිරියට ගෙන ගොස් රටේ ආර්ථිකය දියුණු කිරීමට අප ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා අපේ සංවර්ධන වැඩකටයුතු ආරම්භ කළ යුතුයි. කිසි දවසක අයි.එස්.අයි.එස්. සංවිධානයට අපේ සංවර්ධනය නවත්වන්නවත්, ආර්ථික දියුණුව නවත්වන්නවත්, එදිනෙදා වැඩකටයුතු අඩපණ කරන්නවත් ඉඩදෙන්නේ නැහැ.
මේ සිද්ධිය මුල්කර ගෙන රටේ සංවර්ධන වැඩකටයුතු පසුබෑමකට ලක්වීමට හෝ කඬාවැටීමකට හෝ ඉඩදෙන්න එපා. සංවර්ධන වැඩකටයුතු මෙන්ම අමාත්‍යංශවල සියලූ කටයුතු සුපුරුදු පරිදි ඉදිරියට ගෙන යා යුතුයි.
මෙම අවස්ථාවට මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාතරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. ඒ. විජේතුංග, හේෂා විතානගේ, එස්.එම්. මරික්කාර්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහල් සූරියආරච්චි යන ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

