Image

රෝහල් පද්ධතියේ සන්නිවේදන ඒකක ශක්තිමත් කිරීමට සහ බලගැන්වීමට නිලධාරී පුහූණු වැඩසටහන අරඹයි!

රෝහල් පද්ධතියේ සන්නිවේදන ඒකක ශක්තිමත් කිරීමට සහ බලගැන්වීමට නිලධාරී පුහූණු වැඩසටහන අරඹයි!

මෙරට රෝහල් පද්ධතියේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන කේන්ද්‍ර කර ගනිමින් මහජන ඇමතුම් පද්ධති නිවේදන කටයුතු පිළිබඳ වගකිවයුතු කාර්ය මණ්ඩල නිලධාරීන් පුහුණු කිරීමේ "Training of Responsible Officers on Public Address (PA) System Announcements in Hospitals and Health Institutions – 2026"  තෙදින වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (08) ආරම්භ විය.

HMU 6030

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන  ලේකම්,  ජී.එම්. ජනක කිත්සිරි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අතිරේක ලේකම් (පාලන) 3 හර්ෂනී සිරිනාම මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් ගේ සහභාගීත්වයෙන් මෙම පුහුණු වැඩසටහනේ සමාරම්භය සනිටුහන් විය.

 

එක් රෝහලකින් ක්ෂේත්‍රයේ නිරත නිලධාරීන් 50ක්

HMU 6128

රෝහල්වල මහජන ඇමතුම් පද්ධතීන් වඩාත් විධිමත් හා ඵලදායී ලෙස මෙහෙයවමින් රෝහල් කාර්ය මණ්ඩලයට හා ප්‍රතිකාර සේවාවන් ලබාගැනීමට රෝහල් කරා පැමිණෙන ජනතාවට  සෞඛ්‍ය පණිවුඩ හා  නිවේදන  වඩා නිවැරදිව, රසවත් මෙන්ම හරවත් අයුරින් ලබාදීම තහවුරු කිරීම මෙම පුහුණු වැඩසටහනේ අරමුණ සහ බලාපොරොත්තුව යි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය, අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබන දින 03 ක මෙම විශේෂ පුහුණු වැඩසටහනට දිවයිනේ ප්‍රධාන රෝහල් සහ සෞඛ්‍ය ආයතන 20 ක් සම්බන්ධ කර ගැනීමට කටයුතු යොදා තිබුණි. ඒ අනුව එක් රෝහලකින් අවම වශයෙන් ක්ෂේත්‍රයේ නිරත නිලධාරීන් 50 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් පැවැති මෙම පුහුණු වැඩසටහනට විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සහකාරවරුන්, කාර්යාල කාර්ය සහායකයින්, සෞඛ්‍ය කාර්ය සහායකයින්, දුරකථන ක්‍රියාකරුවන් සහ පිළිගැනීමේ නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීන් 10 ක් නියෝජනය කරමින් කාර්ය මණ්ඩල එක්ව සිටීම ද විශේෂත්වයකි.

 

මාධ්‍ය භාවිතයේ දී සීමාවලට යටත්ව සංයමයෙන් මාධ්‍ය හැසිරවීම

HMU 6037

ප්‍රවීණ මාධ්‍යවේදීන්, සෞඛ්‍ය විශේෂඥයින් සහ ශබ්ද ඉංජිනේරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණ දේශක මඩුල්ලක් විසින් මෙහිදී සහභාගිවන්නන් වෙත න්‍යායික දැනුම ලබා දීමට නියමිතය. ඊට අමතරව, රාජ්‍ය සහ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන පහක් කේන්ද්‍ර කරගනිමින් ප්‍රායෝගික පුහුණුව ලබා දීමටද කටයුතු සූදානම් කර ඇත. දියුණු සන්නිවේදන ක්‍රමවේද ලොව භාවිතා කරන යුගයක මෙම විධිමත් පුහුණු වැඩසටහන ඉතා කාලෝචිත වැඩසටහනක් වන බවත් එදිනෙ දා සියලු කටයුතු සිදූ කර ගැනීමට සන්නිවේදනය ප්‍රධානතම අවශ්‍යතාවයක් වන බව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්, ජී.එම්. ජනක කිත්සිරි ගුණවර්ධන මහතා පැවසී ය. සියලු රාජ්‍ය  ආයතනවල මහජන ඇමතුම් පද්ධති මගින් ජනතාවට පණිවුඩ ලබාදෙන විට ජනතාවට පණිවිඩය ඇගට දැනෙන, තේරුම් ගත හැකි, කෙටි සහ ආකර්ෂණීයභාවයෙන් යුක්ත විය යුතු බවත්, මෙම පුහුණුව මගින් එම ඉලක්ක සපුරා ගත හැකි වනූ ඇති බව ද ඒ මහතා පැවසී ය. සන්නිවේදන මාධ්‍ය භාවිතයේ දී සීමාවන්ට යටත්ව සංයමයෙන් මාධ්‍ය හැසිරවීමට කටයුතු කළ යුතු බව ද, භාවිතාකරණ උපකරණ අවශ්‍යතාවය පිළිබඳව එම උපකරණවල දැනුවත්භාවය ද ඉතා වැදගත් වන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

මෙම පුහුණු වැඩසටහන හරහා ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ශක්තිමත් මෙන්ම උද්‍යෝගිමත් සන්නිවේදන පද්ධතියක් ගොඩනගා, මහජනතාව වෙත සමීප වන සෞඛ්‍ය සන්නිවේදන ක්‍රියාවලිය වඩාත් විධිමත්, ආකර්ෂණීය සහ අපූර්ව එකක් බවට පත් කිරීම මෙහි දිගුකාලීන අරමුණකි.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් (පාලන) II චාමික එච්. ගමගේ ඇතුළු නිලධාරීන්  පිරිසක් ද එක්ව සිටියහ.

ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් - ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න