Image

බදුල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරෙන් මිය ගිය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවකු ගේ පියකු නඩු මගට

බදුල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරෙන් මිය ගිය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවකු ගේ පියකු නඩු මගට

බදුල්ල ප්‍රදේශයේ දී  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක්ව සිසුන් තුන්දෙනකු  මරණයට පත්වීමේ සිද්ධිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්, ඒ වෙනුවෙන් වන්දි ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මරණයට පත් ශිෂ්‍යයෙකු ගේ පියකු විසින් ගොනුකරන ලද පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 11 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ය.

රඹුක්කන ප්‍රදේශයේ පදිංචි  ප්‍රසාද් නුවන් වහලවත්ත යන අය විසින් ගොනු කරන ලද මෙම පෙත්සම අද අර්ජුන ඔබේසේකර, ආචාර්ය සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන අය ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුවේ ය. එහි දී පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 11 වනදා කැදවන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල එදිනට පෙර විරෝධතා ඇත්නම් ගොනු කරන ලෙස වග උත්තරකාර රියැදුරාට නියෝග කළේ ය

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කර ඇත.

 

බස් රථය නිෂ්පාදනය1992 වසරේ; මෙරට ලියා පදිංචිය 2020 වසරේ

පෙත්සම්කරු කියා සිටින්නේ සිය පුත්‍රයා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ප්‍රමාණ සමීක්ෂණ උපාධිය හදාරන සිසුවකු බවත්, ඉකුත් නොවැම්බර් මස කෙෂේත්‍ර චාරිකාවත් සඳහා බදුල්ල ප්‍රදේශයට තවත් සිසුන් පිරිසක් සමග ගමන් කළ බවයි.

එහි දී අඹගහ හන්දිය නමැති ප්‍රදේශයේදී ඇතිවූ රිය අනතුරින් සිය පුත්‍රයා ඇතුළු සිසුන් තුන් දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තවත් පිරිසක් තුවාල ලැබූ බවත් එම රිය අනතුර සිදුවූයේ වග උත්තරකරුවන් ගේ  නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් බවත් පෙත්සම්කරු චෝදනා කළේ ය.

අනතුරට ලක්වූ බස්රථය නිෂ්පාදනය කරන ලද්දේ 1992 වසරේ වන අතර එය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර තිබෙන්නේ 2020 වසරේ යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එහි තිරිංග පද්ධතිය නිසි ලෙස නඩත්තු කර නොතිබූ බව විමර්ශනවලින් අනාවරණය වී තිබූ බවත් පෙත්සම්කරු කියා සිටියේ ය.

 

අනතුර සිදුවූයේ බස් රථයේ කාර්මික දෝෂයක් නිසා

බස් රථයේ තිබූ තාක්ෂණික දෝෂ නිසා රියැදුරුට එය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම මාරාන්තික අනතුරු සිදුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය. ඒ අනුව වග උත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් මෙම අනතුර සිදුවූ අතර ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්  ඒ වෙනුවෙන් සුදුසු වන්දියක් අය කර දෙන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන්  නීතිඥ සජුනී සෙනෙවිරත්න මහත්මිය ගේ උපදෙස් මත  ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනී සිටියේ ය. වගඋත්තරකාර බස් හිමිකරු වෙනුවෙන් නීතිඥ පසන් කරුණාරත්න සහ නීතිඥ සංජය මාරඹේ පෙනී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න