දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් ඔස්සේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කර සිටියි.
දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරිම සඳහා සාකච්ඡාවක් අර්තාපල් ගොවින් සමඟ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි.
අර්තාපල් ගොවීන් මුහුණ පා ඇති ගැටලු විසඳීමේදි ගොවීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර, පාරිභෝගික ජනතාවටත් අසාධාරණයක් නොවන පරිදි ඊට විසඳුම් සෙවීමට ආහාර සුරක්ෂිතතා කමිටුව තීරණය කළ බව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙහිදී පැවසීය.
මෙම ගැටලුව විසඳීමේදි ආණ්ඩුවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, ගොවියාත් පාර්ශ්ව තුනක් ලෙස වෙන-වෙනම කටයුතු නොකර, සියලු දෙනා එකම වේදිකාවක එකම අවශ්‍යතාවක් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් සේ කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අර්තාපල් නිෂ්පාදන පිරිවැය ඉතා ඉහළ අගයක් ගන්නා බවත්, ඉන් 40%ක් බීජ මිලදී ගැනීමේ වියදම බවත් මෙහිදී ගොවීහු පෙන්වා දුන්හ. වගාවට පොහොර යෙදීමේ අක්‍රමවත් බව, නිසි ප්‍රමිතියෙන් තොර පොහොර සහ කෘෂි යෙදවුම් නිසා අස්වැන්න පහත වැටීම, උසස් ප්‍රමිතියෙන් යුත් බීජ නොමැති වීම යන ගැටලු ප්‍රධාන වශයෙන් අර්තාපල් නිෂ්පාදන වියදම ඉහළ යාමට හේතු වී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.
මෙතෙක් කලක් අර්තාපල් ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් කිසිදු රජයක් මෙවැනි සාකච්ඡාවක් ලබා නොදුන් බවත්, තම ගැටලුවලට වත්මන් රජය යටතේ විසඳුම් ලැබෙනු ඇතැ'යි අපේක්ෂා කරන බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
මෙහිදී ඉදිරිපත් වු කරුණු සාකච්ඡාවට ලක් කිරිමෙන් පසු සතොස සමඟ එක්ව අර්තාපල් මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කිරිමටත්, අර්තාපල් කිලෝවක් රුපියල් 200ත් 300ත් අතර මිලකට මිලදී ගැනීමටත්, ආනයනික අර්තාපල් සඳහා පනවන බද්ද වැඩි කිරිමටත් සලකා බලන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේය.
ගොවීන්ට සහනාධාරයක් ලබා දීම කෙරෙහිද අවධානය යොමු කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළ අතර, අර්තාපල් නිෂ්පාදන වියදම අඩු කිරිම සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් පොහොර සහ කෘෂි යෙදවුම් සැපයීමටත්, උසස් ප්‍රමිතියෙන් යුත් බීජ නිෂ්පාදනයටත් ගොවීන් සමඟ එක්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඉදිරියේදි වැඩපිළිවෙළක් සකස් කරන බවද පැවසීය.

