මත්ද්‍රව්‍ය කිලෝ 335ක් සමග මාලදිවයින මුහුදු සීමාවේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 5 දෙනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් මාලදිවයින බලා ගොස් ඇත.
එම කණ්ඩායම පොලිස් සහ නාවික හමුදා නිලධාරීන්ගෙන් සමන්විතය.
මෙම නිලධාරීන් කණ්ඩායම මෙලෙස මාලදිවයිනට ගොස් ඇත්තේ ඉකුත් 7 වන දා මාලදිවයින මුහුදු සීමාවේදී එරට වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගත් ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාව සහ එහි තිබූ මත්ද්‍රව්‍ය තොගය සමග ශ්‍රී ලාංකිකයන් පස්දෙනා මෙරටට රැගෙන ඒම සඳහාය.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමග එම ධීවරයන් හයදෙනා එරට සිට මෙරටට රැගෙන ඒම සඳහා ඊයේ හවස් වනතුරුම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්විණි.
එම සාකච්ඡා සාර්ථක මට්ටමක පැවති අතර ඒ අනුව එම ධීවරයන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මෙරටට භාර දීමට ඉඩ ඇතැයි කියති.
ශ්‍රී ලාංකික ධීවරයන් රැගත් මෙම ධීවර යාත්‍රාව ඉකුත් 07 වන දා මාලදිවයින මුහුදු සීමාවේදී එරට ජාතික ආරක්ෂක බළකායේ වෙරළාරක්ෂක භටයන් විසින් අත්අඩංගුවට ගෙන මාලදිවයින පොලිසියට භාර දී තිබිණි.
පසුව එරට පොලිසිය එරට අධිකරණයට කරුණු දක්වා සෝදිසි කිරීමේ වරෙන්තුවක් මත පොලිස් භාරයේ තිබූ මෙම යාත්‍රාව සෝදිසි කළ අතර එහිදී මලු 24ක අසුරා තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගන්නා ලදී.
ඒ අනුව, මාලදිවයින පොලිසිය තහවුරු කරගෙන ඇත්තේ එම මත්ද්‍රව්‍ය තොගය තුළ හෙරොයින් කිලෝ 58 ග්‍රෑම් 600ක්ද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 297 ග්‍රෑම් 300ක් ඇති බව ය.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මාලදිවයින නාවික හමුදාවට දුන් තොරතුරක් මත එරට ආරක්ෂක අංශ මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයන් පස්දෙනා අවුරුදු 28, 34, 39, 42 සහ 63 වයස්වල පසුවන්නන් බව එරට පොලිසිය සඳහන් කළේ ය.
මෙම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන එමින් සිටියදී ලද තොරතුරකට අනුව මාලදිවයින ආරක්ෂක අංශ විසින් කොටුකරගෙන තිබේ.
මාලදිවයින මුහුදු සීමාවේ මෙතෙක් කරන ලද විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස මෙම වැටලීම හඳුන්වා දී තිබේ.
(Keerthi Mendis - mawbima)

