Language Switcher

V2025

පොහොට්ටුවට පුළුවන් නම් සජබට සහ ජවිපෙට බැරි ඇයි ? රවී K ගෙන් ප්‍රශ්නයක් !

රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදයට පිළියම් කිරීම වෙනුවෙන් පටු දේශපාලන ක්‍රියා පසෙකලා සැවොම එක්සත් වියයුතු බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක , හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි .

නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන් ආකාරයට රට ගොඩනගන වැඩපිළිවෙළ මඟහැර සිටීමට සමගි ජනබලවේගය පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ ට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

පැවති තත්ත්වයට සාපේක්ෂව මේ වන විට රට යම් ආර්ථික ප්‍රගතියක් ලබා ඇති නමුත් , අවධානම මුළුමනින්ම පහවගොස් නොමැති බව පෙන්වාදුන් හිටපු අමාත්‍යවරයා, ගනු ලබන එක් වැරදි තීන්දුවක් හේතුවෙන් රට නැවතත් 2022 දී ඇතිවූ තත්ත්වයට වඩා දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්වීමේ අවධානම ඇති බවත් එබැවින් මේ මොහොත අත්හදා බැලීම් සිදුකිරීමට අවස්ථාවක් නොවන බවත් අවධාරණය කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක , හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ අද (08) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එහිදී හිටපු මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය .

මේක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට හෝ වෙනත් නායකයකුට තනියම විසඳිය හැකි අර්බුදයක් නොවෙයි. මේ රට ආර්ථික වශයෙන් අර්බුදයට ගිය සෑම අවස්ථාවකදීම , රට ඒ තත්ත්වයෙන් මුදවාගත් පක්ෂය වුනේ එක්සත් ජාතික පක්ෂය යි. මේ රට ගමන් කළයුතු මග අපි දිගටම නිවැරදි ලෙස පෙන්වා දුන්නා. ඒ අවස්ථා වලදී අපට විවිධ විවේචන එල්ල කළා. 2015 වසරේ ආණ්ඩුව පිහිටවූ විගස අපි සිදුකළේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. රජයේ අත්‍යවශ්‍ය වියදම්, සංවර්ධන කටයුතු, සහනාධාර සහ ණය ගෙවීම වෙනුවෙන් මේ රාජ්‍ය ආදායම ශක්තිමත්ව තිබීම අත්‍යවශ්‍යයි. රාජ්‍ය ආදායම් දුර්වල වූ පළමු මොහොතේම ආර්ථිකය කඩා වැටීම සිදුවෙනවා. එය අනිවාර්යයක්. අන්න ඒ තත්ත්වය තමයි 2020 දී ආරම්භ වී 2022 වන විට මහා ආර්ථික කඩාවැටීමක් දක්වා වර්ධනය වුණේ.

දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගනිමින්, ඒ වෙනුවෙන් ප්‍රමුඛ අවධානයක් ලබාදෙමින් සහ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පසුගිය සමයේ කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩගනිමින් සිටිනවා. ඒ හමුවේ දකින්නට තිබෙන දෙයක් තමයි, මේ සිස්ටම් චේන්ජ් ගැන කතාකරන උදවිය ප්‍රතිසංස්කරණ වලට දැඩි භියක්, නැත්නම් භීතියක් දැක්වීම. ඒ වගේම ඔවුන් එය දේශපාලන සටන් පාඨ බවට පත්කර ගන්නා ලාබ උත්සාහයක නිරතව සිටිනවා. මෙතැනදී පැහැදිළිව අහන්න ඕන ප්‍රශ්නය තමයි, ප්‍රතිසංස්කරණ සිදුනොකර සිස්ටම් චේන්ජ් කරන්නේ කොහොමද යන්න.

මගේ අදහස නම් රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදයට පිළියම් කිරීම වෙනුවෙන් පටු දේශපාලන දෘෂ්ටිවාදය පසෙකලා සැවොම එක්සත් වියයුතු බවයි. මොකද මේක ජනාධිපතිතුමාට තනිවම සිදුකළ හැකි දෙයක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලැබූ අවස්ථා වලදී ආර්ථික ප්‍රතිපත්තිය ගෝලීය ප්‍රවණතාවන්ට ගැළපෙන ආකාරයට යාවත්කාලීන කිරීමට උත්සාහ කළා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගත්තා. නමුත් ඒ සඳහා පැමිණි බාධා අතිවිශාලයි. විවිධ අවලාද නැගුවා. අපිට පෞද්ගලිකව පවා සාවද්‍ය චෝදනා එල්ල කළා. ඒවා අපේ දේශපාලන කටයුතු වලට ඉතාම නරක ලෙස බලපෑවා. නමුත් අපි අපේ ප්‍රතිපත්ති වෙනස් කළේ නෑ.

ඊයේ (07) නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සැසිවාරය විවෘත කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලස්සන අදහසක් ගෙන හැර දැක්වූවා. එය ඉතාම තීරණාත්මක ප්‍රකාශයක්. ඒ තමයි ආකාරයට රට ගොඩනගන වැඩපිළිවෙළ මඟහැර සිටීමට සමගි ජනබලවේගය පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ ට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව. දැන් බලන්න සජබ ඇතුළේ ඉන්නේ ඉතිහාසයේ එක්තරා මොහොතක හරි හෝ වැරදි දේශපාලන තීන්දුවක් ගෙන එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වූ පිරිසක්. ඒ අතර බහුතරය එජාපය හරහා දේශපාලන බෞතීස්මය ලැබූවන්. මතවාදීමය වශයෙන් ඔවුන් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ මතවාදය ඇතුලේ. මේ තීරණාත්මක මොහොතේ මේ රට නගන වැඩපිළිවෙල සාර්ථක කරගන්න සහාය දීමට ඔවුන්ට මොකක්ද තිබෙන බාධාව. ඒ බාධාව හරියට තේරුම් ගත්තොත්, ඒ බාධාව ජයගන්න තරම් ධෛර්යයක් ඇතිකර ගත්තොත්, රට දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන සංවර්ධිත රටක් බවට පත්කිරීමේ කර්තව්‍යයේ කොටස් කරුවන් බවට පත්වීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණටත් දැන් මේ වැඩපිළිවෙළ සමඟ එක්ව කටයුතු කිරීමට බාධාවක් නෑ. බොහෝ කරුණු වලින් ඔවුන් ජාතික ජනබලවේගය සමඟ අපේ අදහස් සමඟ සමපාත වෙමින් සිටිනවා. මේ වෙනකොට ජවිපෙ නායක ප්‍රමුඛ කණ්ඩායමක් ඉන්දියාවේ ආරාධනය ඇතිව එහි නිල සංචාරයක නිරතව සිටිනවා. ජවිපෙ අතීත දේශපාලන භාවිතය මුළුමනින්ම තිබුණේ දැඩි ඉන්දීය විරෝධී පිළිවෙතක. ඉන්දීය ව්‍යාප්තවාදය කියලා ඔවුන් වෙනමම පන්තියක් පවා වෙන් කරලා තිබුණේ . පසුව ඒ පන්තිය ඉවත් කළත් ඉන්දීය විරෝධය දිගටම තිබුනා. ඔබට මතක ඇති පසුගිය සමයේ එට්කා වෙළෙඳ ගිවිසුමේ සිට කොළඹ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට පැවරීමට සූදානම් වූ අවස්ථාවේ වගේම මෙරටට පැමිණි ඉන්දීය ආයෝජන සම්බන්ධයෙන් ජවිපෙ දැක්වූ විරෝධය. දැන් ඔවුන් ඉන්දියාවට ගිහින් ඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුම් අත්සන් කරන්න බෑ කියනවද ? ඉන්දීය ආයෝජන වලට මෙරට විවෘත කිරීම අපරාධයක් බව කියනවද ? අදානිට ලංකාවට එන්න දෙන්නේ නෑ කියනවද ? ඉන්දියාව සමග ගනුදෙනු කළොත් චීනය අවුල් වෙයි කියලා , ඉන්දීය සබඳතා ප්‍රතික්ෂේප කරනවද ? දැන් බලන්න මිල්කෝ එක අමුල් එකට දෙන්න යනවා කියලා මහා විරෝධතා මැව්වට ලස්සනට අමුල් එකේ නිරීක්ෂණ චාරිකා යන අපූරුව. දැන් එහෙ ගිහින් කියනවද අපේ මිල්කෝ එකට වැඩේ දෙන්න නේද හැදුවේ , හතර මායිමක එන්න හිතන්න එපා කියලා . ඒ වගේම තමයි හෙට IMF සමග සාකච්ඡා කළොත් කියනවද අපේ කොන්දේසි වලට වැඩ කරමු, නැත්නම් හකුළගෙන යන්න කියලා . ණය හිමියන් සමග සාකච්ඡා කළොත් කියනවද අවධානම නොදැනද ණය දුන්නේ ? තවත් ණය දෙනවා නම් දෙන්න ,පුළුවන් වෙලාවක තමයි අපි ණය ගෙවන්නේ කියලා . ඔය දේශපාලන වේදිකාවේ

දැන් බලන්න අපේ ප්‍රධාන විරිද්ධවාදීන් වූ රාජපක්ෂ කඳවුරේ පොදුජන පෙරමුණේ කොපමණ පිරිසක් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ හරි හරියට ආණ්ඩුව කරගෙන යන අපූරුව. ඒ වැඩපිළිවෙළ මෙතෙක් පොදුජන පෙරමුණ දියත්කළ ප්‍රතිපත්තියම නොවෙයි. නමුත් මෙය තමයි නිවැරදි ප්‍රතිපත්තිය. නිවැරදි දේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කවුරුත් පසුබෑමට අවශ්‍ය නෑ. තවදුරටත් පැරණි දේශපාලන උපාය උපක්‍රම අනුගමනය කිරීම කියන්නේ ඉතිහාසයේ ශාපයට ලක්වීමට හොඳ සුදුසුකමක් බව අපි කවුරුත් තේරුම් ගන්න අවශ්‍යයි.

ඒ වගේම මේ රටේ ජනතාව එක දෙයක් හොඳින් අවධාරණයට ගන්න අවශ්‍යයි. ඒ තමයි, 2022 දී පැවති තත්ත්වයට සාපේක්ෂව රටේ ආර්ථිකය ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. නමුත් අවධානම මුළුමනින්ම පහවගොස් නෑ. අපි තවමත් ඉන්නේ ගිනි කන්ද උඩ. ගනුලබන එක් වැරදි තීන්දුවක් හොඳටම ඇති අප යටින් තිබෙන ගිනි කන්ද සක්‍රීය වෙන්න. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් 2022 දී පවතී තත්ත්වයට වඩා දරුණු ආර්ථික අවධානමකට අප රට ලක්වෙනවා. ඒ නිසා මේ මොහොත කියන්නේ අත්හදා බැලීම් කරන්න උත්සාහ කරන තත්ත්වයක් නෙවෙයි. මැතිවරණ කිට්ටු නිසා ලස්සන කතා කියන්න පුළුවන්. මාර සටන් පාඨ ගේන්න පුළුවන්. නමුත් ප්‍රතිපත්තිය දෙස බලන්න. ඒ නිසා තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිළිව කිව්වේ, මේ ගෙන යන වැඩපිළිවෙළට විකල්ප තිබෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. IMF සමඟ වුවත් ඒ විකල්ප යෝජනා ගැන සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙන්නම් කියලා. මේ ඔබේ දරුවන්ගේ අනාගතය. මේ සමඟ සෙල්ලම් කරන්න එපා. වගකීම් සහගතව තීන්දු තීරණ ගන්න. වචන වලට අහුවෙන්න එපා. වචන වලින් හදපු රටවල් නෑ. නිවැරදි ප්‍රතිපත්ති මත දියත්කළ වැඩපිළිවෙලක් ගැන මිස වචන විශ්වාස කරලා , රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා.