Language Switcher

V2025

නිමල් ජපන් තානාපතිට සොරි කියයි !

ජපානය ක්‍රියාත්මක කළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල්වීමට බලපෑ සමහර දේශපාලන තීන්දු ගැන කනගාටුවන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි හමුවේ පවසා ඇති බව වාර්තා වෙයි .

ඒ අද(24) අමාත්‍යංශයේ දී ලංකාවේ ජපාන තානාපතිවරයා හමුවූ අවස්ථාවේදිය.

ජපන් රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීම් ඇරඹූ කටුනායක ගුවන්තොටුපොළ දෙවන අදියරේ එම ඉදිකිරීම් කටයුතුවල ප්‍රමාදය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සකස් කෙරුණු විශේෂ වාර්තාවක් අමාත්‍යවරයා විසින් තානාපතිවරයාට මෙහිදී බාරදී ඇති බවත් වාර්තා වෙයි .

එහිදී ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි කොරෝනා උවදුර සහ වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවී ඇති බව තමාට වාර්තාවී ඇති බව පවසා ඇත .

එසේම මෙරට ඉදිකිරීම් කටයුතුවල නිරත බොහෝ විදෙස් සමාගම් මෙම අර්බුදයට මුහුණ දී ඇතැයි පෙන්වාදී ඇති තානාපතිවරයා ජපානය සම්බන්ධයෙන් පවතින දැඩි විශ්වාසය තවදුරටත් රඳවා ගන්නා ලෙසට ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි .

ශ්‍රී ලංකාව අසීරුතාවට පත් වූ සෑම අවස්ථාවකදීම ජපාන ජනතාව සහයට ඉදිරිපත්වීම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන බව නිමල් සිරිපාල සිල්වා ප්‍රකාශ කළ බවත් වාර්තා වෙයි .

එසේම තිරිකුණාමල වරාය ආශ්‍රිත නව කර්මාන්ත පුරයක් සඳහා ඉඩම් මේ වනවිට වෙන්කර ඇති බැවින් එම අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට ජපන් ආයෝජකයන් දිරිමත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් දැනගන්නට ඇත .

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් (Hoshiai chiharu) හොෂිආයි චිහාරු කට්සුකී, අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර සහ අතිරේක ලේකම් සුනිල් ගුණරත්න ඇතුළු පිරිසක් සහභාගීවූ බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .