Language Switcher

V2025

ප්‍රියන්ත දියවඩනගේ ඝාතනය දිවිපිදීමක් සේ සළකා වගකීමෙන් කටයුතු කරමු - රටේ රාළ

පකිස්ථානයේ සියල්කොට්වල සිද්ධ උන අතිශයින් අමානුෂික සිද්ධිය ගැන ශ්‍රී ලංකිකයෙක් විදිහට කතා නොකර ඉන්න බෑ.

රටේ රාළ වගේ කෙනෙකුට එහෙම නිහඩව ඉන්න අයිතියකුත් නෑ. ඇත්තටම ශ්‍රී ලාංකිකයකුට වෙන රටකදී අත්වෙන්න ඊට වැඩිය ඛේදනීය ඉරණමක් නෑ.

ඒ අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දුන්නේ වෘත්තීයෙන් ඉංජිනේරුවෙක් වෙච්චි, පකිස්ථානයේ කර්මාන්ත ශාලාවක අවුරුදු එකොළහකට වැඩි කාලයක් සේවයක කරපු ප්‍රියන්ත කුමාර දියවඩන කියන ශ්‍රී ලාංකිකයා.

රටේ රාළ ඉස්සෙල්ලාම එතුමාගේ බිරිඳ, දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටම තමන්ගේ සාතිශය සංවේගය පිරිනමනවා. ඒ වගේම ප්‍රියන්ත කුමාර දියවඩන සොහොයුරාට උතුම් නිවන් සුව අවබෝධ වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

ඇත්තටම මේ ප්‍රශ්න ඇතුළේ කතා කරන්න ලොකු දේශපාලනයක් තියනවා. හැබැයි මේවගේ ප්‍රශ්නයක දේශපාලනය කතා කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. ඒ වගේම තමයි සම්පූර්ණයෙන්ම විවෘත වෙන්න ඕනි. ඒ විවෘතකම, සංවේදීකම ඕනැවටත් වැඩිය රටේ රාළට තියනවා. ඒක නිසා මේතනදී හරි කෙලින් වගේම ඇත්ත වචන පිටකරන්න ඕනි.

ඇත්තටම මේ සිද්ධිය ඉතාම ම්ලේච්ඡ එකක්. අද ලෝකය වෙලා ගනිමින් තියන ආගම් අනාතවාදයේ ම්ලේච්ඡත්වයේ තරම මේකෙන් පේනවා. මීට ඉස්සර මේ වගේ කුරිරු ඝාතන අපි දැක්කේ සිරියාවේ ISIS සංවිධානය කරනවා. පණ පිටින් මිනිස්සුන්ගේ බෙල්ල කපනවා, පනපිටින් මිනිස්සු පුච්චනවා.හිතා ගන්නවත් බැරි කෘරත්වයක්.මේත් ඒ පන්නයේ ඊට දෙවෙනි නොවෙන ඝාතනයක්.

හැබැයි මෙතනදි එකක් කියන්න ඕනි මේක ප්‍රියන්ත කුමාර දියවඩන ශ්‍රී ලාංකිකයෙකු වීම නිසා එල්ල උන ප්‍රහාරයක් නෙවෙයි. ප්‍රියන්ත කුමාර දියවඩන සහෝදරයා සිංහල බෞද්ධයෙකු වීම නිසා එල්ල වෙච්චි ප්‍රහාරයක් නෙවෙයි. ඒක ගැන වැරදි අර්ථ කථන නං දෙන්න එන්න එපා. ලෝකයේ ඉන්න හැම ජාතියකම පුද්ගලයෙකුටම තියෙන තර්ජනයක් මේක. ඒ තර්ජනයේ අලුත්ම ගොදුර උනේ අපේ ප්‍රියන්ත සහෝදරයා.

ඒක නිසා අපට එක දෙයක් පැහැදිලියි. ලෝකයේ කොතැනක කොයි වෙලේ මතු උනත් ආගමික අන්තවාදය කියන්නේ උන්මත්තක එකක්. ජාතිවාදයත් එහෙමයි. උන්මත්තකයි. මොන ආගමික ස්වරූපයෙන් මතු උනත් ඒක උන්මත්තකයි. මොන ජාතිකත්ව අනන්‍යතාවයෙන් මතු උනත් ජාතිවාදයත් එහෙමයි. ඒක සුළු ජාතිකද මහ ජාතිකද කියලා අදාල නෑ. ඒක කුරිරුයි.

ඒක නිසා ආගමික අන්තවාදය, උන්මත්තක ජාතිවාදය ලෝකයෙන් දවසක තූරන් කරන ඕනි. ඒක දැන් කරන්න පුළුවන් නං දැන් රටේ රාළ වැඩේට ලෑස්තියි.

ඇත්තටම ඉස්සාමීය ආගමික අන්තවාදය අද ලෝකයට තියන බරපතල පිලිලයක්. විශේෂයෙන් අරාබිකරයට. ඒ වගේම අද ඒක ලෝකය පුරා කරක් ගහනවා. ඇත්තටම පකිස්ථානය කියන්නේ ඒ උන්මත්තක ආගමිකයන් අන්තවාදීන් බැට කන රටක්. ඒකට හේතුව තමයි ආගම්ක සංකල්ප පදනම් කරගෙන දැඩි මතධාරී නිකායන් ඈතිවීම. මුල් ආගම්ක මතවාදයට පස්සේ එකතු කරපු උන්මත්තක සංකල්ප මේවා. හැම ආගමකම ඒක දක්නට ලැබෙනවා.

ලෝකයේ මේ දක්වා පහල උන පරම අවිහිංසාවාදියා විදිහට සලකන බුදු හාමුදුරුවන්ගේ දර්ශණයටත් එහෙම විකෘති කරපු ආගමික සංකල්ප ගොඩක් එකතු කරලා තියනවා. සිංහල බෞද්ධ සංකල්පය අද යොදාගන්නෙත් ඒ වරද වෙනුවෙන්. ඉතින් අනිත් ඒවා ගැන කවර කතාද? ඉස්ලාම්ය අන්තවාදය කියන්නෙත් එහෙම එකක්. එහෙම නිකායන් සියගානක් ලෝකයේ තියනවා. ඇත්තටම පාකිස්ථානය ඒකෙන් තදින්ම බැට කන රටක්. මේ වෙනකොට විදේශිකයන් නෙවෙයි පාකිස්ථානුවන්ම ඒ අන්තවාදයේ ගොදුරු බවට පත්වෙලා.

පකිස්ථානයට තමන්ගේ ශිෂ්ඨත්වය ලෝකෙට කියන්න බැරි ප්‍රධාන බාධාවක් ඒක. මේ වෙනකොට පකිස්ථානුවන් සිය ගානක් ඒ උන්මත්තක ආගමික අන්තවාදයට ගොදුරු වෙලා ඉවරයි. ඒකට පකිස්ථානයේ පොඩි දරුවන් පවා බිලි වෙනවා.

ඔයාලට මතක ඇති පසුගිය දවසක ඔය වගේ අන්තවාදී ආගමික සංවිධානයකට සම්බන්ධ පකිස්ථාන ජාතිකයෙක් තමන්ගේ දුව නොගැලපෙන ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තා කියලා. පවුලේ සියලු දරුවන් මරලා දැම්මා. ඒක නිසා ආගමික අන්තවාදයේ කෘරත්වය තාත්තගෙන් දරුවට උනත් එන්න පුළුවන්.

කොහොම උනත් දැන් ප්‍රියන්තගේ සිද්ධිය වෙලා ඉවරයි. ඇත්තටම මේ ප්‍රශ්නය ඉස්සරහා පකිස්ථාන ආණ්ඩුව හැසිරෙන විදිහ බොහෝම රාජ තාන්ත්‍රිකයි. ප්‍රසස්ථයි. විශේෂයෙන් පකිස්ථාන අගමැති ඉම්ද්‍රාන් ඛාන්. ඒ වගේම පකිස්ථාන ජනතාවත් ඒ බව පෙන්වනවා. එයාලා අන්තර්ජාලයට මුදා හැරලා තියෙන කමෙන්ට්ස්වලින් ඒක පැහැදිලිව පේනවා.image 2def12c6f0

'සමාවෙන්න' - පාකිස්තාන වැසියෝ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලති

පකිස්ථාන අගමැතිගේ පටන් බහුතර පකිස්ථාන ජනතාව අපි වගේම ලොකු කම්පනයක් පෙන්වනවා. ඒ වගේම ඒ සිද්ධිය ගැන එයාලා ලැජ්ජා වෙනවා. ඒක පකිස්ථානයට වෙච්චි මහා කැලලක්.

සමහරවිට එතනදී නම් ප්‍රියන්ත කුමාර දියවඩන ශ්‍රී ලාංකිකයෙකුවීම ගොඩක් බලපානවා ඇති. මොකද පකිස්ථානය හා ශ්‍රී ලංකාව කියන්නේ බොහොම මිත්‍රශීලී රටවල් දෙකක්. ශ්‍රී ලාංකිකයන්ගේ උප විඥානය ඇතුළේ පකිස්ථානයට දක්වන විශේෂ ගෞරවයක් තැන්පත් වෙලා තියනවා. වර්තමාන අගමැති ඉම්ද්‍රාන් ඛාන් ඒක තවත් වැඩි කලා.

ඇත්තටම මේ ප්‍රශ්නයේදී ප්‍රියන්ත කුමාර දියවඩනට යුක්තිය ඉෂ්ඨ වෙන්න ඕනි. ඒ පවුලට යුක්තිය ඉෂ්ඨ වෙන්න ඕනි. ඒ මහන්සිය පකිස්ථානය ගන්න බව පේනවා. ඉම්ද්‍රාන් ඛාන් ඒ වැඩේට පෞද්ගලිකව මැදිහත් වෙන බව පේනවා. දැනටත් ඝාතනයට නායකත්වය දුන්න පුද්ගලයා එක්ක 150 ක් විතර අත්තඩංගුවට අරන්.

ඇත්තටම අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවට වඩා ඉක්මනින් පකිස්ථානයේ නීතිය ක්‍රියත්මක වෙනවා. ඉම්ද්‍රාන් නිසා ඒක තවත් තහවුරු වෙනවා.