පිරිමියෙකු ලෙස ඉපදී පසුව කාන්තාවක වීමට වේදනාකාරී සැත්කම්වලට භාජනය වූවන් නිතරම පවසන්නේ, 'මම උපතින්ම ලැබිය යුතුව තිබූ ශරීරය දැන් මට ලැබීම ගැන මම කෘතඥ වෙනවා,' යනුවෙනි. ඔවුන්ගේ භාෂාවෙන් කියවෙන්නේ තමන්ගේ ආත්මය තුළම ලිංගික අනන්‍යතාව ලියවී ඇති බවත්, උපතේදී සිදුවූ වැරදීමකින් තමන් වැරදි ශරීරයක උපන් බවත් ය.
ඔබ කවුද යන්න තෝරා ගැනීමට නිර්භය වීම
අහඹු ලෙස සිදුවන දෙයක් කෙනකුට තම දෛවය හෝ අත්‍යවශ්‍යතාවක් ලෙස අත්දැකිය හැක්කේ කෙසේද කියා තේරුම් ගමු. ෆ්‍රොයිඩ් පෙන්වා දුන් පරිදි, අපගේ ඉහළම නිදහස් ක්‍රියා අත්දකින්නේ 'කළ යුතුම දෙයක්' ලෙසයි. උදාහරණයක් ලෙස, ඔබේ රට සතුරන් අත්පත් කරගත් විට ඔබ එයට විරුද්දව එක්වන්නේ එය වැනිලා හෝ ස්ට්‍රෝබෙරි කේක් තෝරාගැනීම බඳු සරල තේරීමක් නිසා නෙවෙයි. එය නොකර සිටීම තමන්ව ම පාවා දීමක් ලෙස හැඟෙන නිසයි. ආදරයත් එහෙමයි. ඔබ ආදරයෙන් බැඳෙන්නේ සැලසුම් සහගත තේරීමකින් නෙවෙයි. එක්වර ම ඔබ ආදරයෙන් බැඳී ඇති බව ඔබට වැටහෙනවා.
යමෙකු තම ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට ගන්නා රැඩිකල් තීරණයත් එවැනිම යි. එය ඔබේ නිදහස් තේරීමක් වුවත්, එය ඔබට දැනෙන්නේ අත්‍යවශ්‍යතාවක් ලෙස යි. සාමාන්‍ය තේරීම්වල දී ඔබ දැනටමත් පුද්ගලයකු ලෙස ගොඩනැගී අවසන්. නමුත් මෙවැනි 'රැඩිකල් තේරීමක දී' ඔබ කරන්නේ ඔබ කවුද යන්න බය නැතුව තෝරාගැනීමයි.
දිගින් දිගටම අසාර්ථක පිරිමින් තෝරා ගන්නේ නම්...
ආශාව පවතින්නේ අපට ළඟා විය නොහැකි දෙයක් පසුපස හඹා යාම තුළයි. යාරා ඇලන් පිරිමියකු ලෙස ඉපදී කාන්තාවක වීමට ගත් රැඩිකල් තීරණය ඇගේ
ආත්මයේ මූලික "සින්තෝමය" විය හැකියි. ඇය සොයන "පරිපූර්ණ ආදරය" හෝ "සම්පූර්ණ පිළිගැනීම" යනු කිසිවෙකුටත් සැබෑ ලෝකයේ සම්පූර්ණයෙන් ලබාගත නොහැකි දෙයකි . ඇය නැවත නැවතත් අසාර්ථක සබඳතාවලට යොමු වන්නේ, එම අසාර්ථකත්වය හරහා ම ඇගේ ආත්මීය අනන්‍යතාව (සංක්‍රන්ති ලිංගික කාන්තාවක ලෙස ඇය මුහුණ දෙන අරගලය) තහවුරු කර ගැනීමට ඇගේ අවිඥානය උත්සාහ කරන නිසා විය හැකියි.
ෆ්‍රොයිඩ් පවසන පරිදි, මිනිසුන් තමන්ට වේදනාව ගෙන දෙන අත්දැකීම් පවා නැවත නැවතත් සිදු කිරීමට පෙලඹෙනවා. යාරා දිගින් දිගටම අසාර්ථක පිරිමින් තෝරා ගන්නේ නම්, එය ඇගේ ආත්මය තුළ ඇති යම් කිසි "හිස්තැනක්" පිරවීමට දරන අසාර්ථක උත්සාහයක් විය හැකියි. ඇය ආදරය සොයන්නේ එම ආදරය තුළින් තමාගේ "වැරදි ශරීරයක ඉපදුණු" බව කියන පැරණි කම්පනය සුව කර ගැනීමට නම්, ඇය සැමවිටම තෝරාගන්නේ එම කම්පනය නැවත ඇති කරන පුද්ගලයන් ම විය හැකියි.
කිසිදා නොලැබෙන රෝග ලක්ෂණය
ජිජැක් පවසන පරිදි, අප ජීවත් වන්නේ ෆැන්ටසි (Fantasy) ලෝකයක යි. යාරාගේ රෝග ලක්ෂණය වන්නේ ඇය "සැබෑව" සොයා යෑමයි. ඇය සැබෑ කාන්තාවක වීමට ගත් තීරණය ඇගේ සත්‍යයයි. නමුත් ඇය මුණගැසෙන පිරිමින් ජීවත් වන්නේ ඔවුන්ගේ ම ලිංගික ෆැන්ටසි ලෝකවලයි. ඇගේ ආත්මීයත්වය විසින් ඉල්ලා සිටින "සැබෑ ගැඹුරු ආදරය", අර මතුපිටින් පවතින ෆැන්ටසි ලෝකය සමග ගැටෙන විට, එම සබඳතාව බිඳී යාම ඇගේ ආත්මීයත්වයේ ම ප්‍රතිඵලයක් ලෙස පෙනෙන්නට පුළුවන.
ඇය නිරන්තරයෙන් උත්සාහ කරන්නේ සමාජය හෝ ඇගේ සහකරු විසින් තමා ව පිළිගනු ලැබීමටයි. ඇය අන් අයගෙන් බලාපොරොත්තු වන එම අසීමිත පිළිගැනීම ඇයට කිසිදා නොලැබෙන රෝග ලක්ෂණයක් වන්නේ, ඇය තවමත් තමාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාහිර ලෝකයේ අනුමැතිය මත යැපෙන නිසා විය හැකියි.
යාරා ඇලන්ගේ අසාර්ථක සබඳතා යනු ඇගේ දුර්වලතාවයක් නොව, ඇය තෝරාගත් රැඩිකල් නිදහසේ මිල විය හැකියි. ඇගේ "රෝග ලක්ෂණය" ඇයව මෙහෙයවන්නේ සාමාන්‍ය, මතුපිටින් පවතින සබඳතාවලින් සෑහීමකට පත් නොවී, කිසිදා හමු නොවන "සම්පූර්ණත්වය" සොයා යෑමටයි.
Mandis Murrukkuwadura
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
