දේශපාලන ඉතිහාසයට වඩා සංස්කෘතික ඉතිහාසය පුළුල් ය; විචිත්‍ර ය. එය ලිවීම ද ප්‍රසාද සිත් උපදවයි. අද ලියන්නේ අප රටේ සම්ප්‍රදායික සංගීතය, නර්තන කලා ආදිය ශාස්ත්‍රීය පදනමක් මත හැදෑරීමේ පදනම හඳන්වා දුන් සංස්කෘතික බුද්ධිමය පුරෝගාමියා වූ මහවලතැන්නේ බණ්ඩාර ගැන ය.
සිංහල සංගීය සහ නර්තනය හැදෑරීමේ විධික්‍රමය හඳුන්වා දෙමින්

මහවලතැන්නේ බණ්ඩාර වර්ෂ 1908 දී රාජකීය ආසියාතික සමිතියේ XXI කාණ්ඩයේ 61 වන කලාපයේ ඉංග්‍රීසි භාෂාවෙන් පළ කළ දීර්ඝ ශාස්ත්‍රී ලිපිය අපේ සම්ප්‍රදායික සංස්කෘතිය දෙස බැලීමේ නව ප්‍රවේශයක් පාදා දුන් මැදිහත්වීමකි. එය සමාන වන්නේ මේ කාලයේ දී ම "මධ්‍ය කාලීන සිංහල කලා" අවබෝධ කරගැනීමෙහිලා ආනන්ද කුමරස්වාමි කළ මැදහත් වීමට ය. එතෙක් පාරම්පරික ගුරුකුල තුළ, වාචික සම්ප්‍රදාය තුළ සහ පොත්ගුල් පුස්කොළවලට සීමාව තිබු සිංහල සංගීය සහ නර්තනය විශ්ලේෂණය කර ඒවා හැදෑරීමේ විධික්‍රමයක් මුල්වරට හඳුන්වා දුන්නේ මේ ලිපියෙනි. ආනන්ද කුමාරස්වාමි, පෝල් ඊ. පීරිස් ආදි වියතුන්ගේ සිට, සී ද එස් කුලතිලක,තිස්ස කාරියවසම්, සුනිල් ආරියරත්න, සමන් පනාපිටිය, සහ ප්‍රනීත් අභයසුන්දර දක්වා වූ පරාසයක වියතුන් රැසක්, මහවලතැන්න බණ්ඩාර ගේ මෙම මැදිහත්වීම අගය කර ඇත. සිංහල පාලි සංස්කෘත සහ ඉංග්‍රීසි භාෂාවෙහි හසල දැණුමක් තිබු ඔහු සබරගමුවේ සහ උඩරට ගායන නර්තන සම්ප්‍රදායයන් හොඳින් හදාරා තිබෙන බවත් එසේම එම පැරණි දැනුමට අදාළ පුස්කොළ පොත් ආදිය ද ඒකරාශී කොට තිබූ බවත් මේ ලිපිය දෙස බල විට පෙනේ.
ස්වදේශිය සංගීත පද්ධතියේ මුලික ස්වර වින්‍යාසය ගොඩනැගෙන ආකාරය
එසේම ඔහුගේ සාහිත්‍ය පරිශීලනය ද සුවිශාල ය. සමහර කරුණු මතු කිරීමට ඔහු සම්භාව්‍ය සංස්කෘත සාහිත්‍යයේ කැපී පෙනෙන කෘති ඉවහල් කරගනියි. කේදාරභට්ටගේ වෘත්තරත්නාකරය, ජයදේවගේ ගීත ගෝවින්දය, අහෝබලගේ සංගීත පරිජාතය, මයුරගේ සූර්ය ශතකය, ශ්‍රී රාමචන්ද්‍ර භාරතීගේ වෘත්තමාලාඛයාව ඒ අතර ප්‍රධාන ය. ඒසේම එළු සඳැස් ලකුණ, ගුත්තිලය, සිහබා අස්න, කුවේනි අස්න ආදි දේශිය කෘතිද යොදා ගනී. මේ විශාල ශාස්ත්‍රීය වපසරිය පසුබිමෙහි සිට,උඩරට සිංහල සංගීතය හා නර්තනය විග්‍රහ කරන මහවලතැන්නේ බණ්ඩාර තම ප්‍රායෝගික සංගීත දැණුම යොදානිමින් ස්වදේශිය සංගීත පද්ධතියේ මුලික ස්වර වින්‍යාසය ගොඩනැගෙන ආකාරය ද පැහැදිලි කරයි.
මේ සංස්කෘතික බුද්ධිමතා කවුද?
මහාචාර්ය තිස්ස කාරියවසම් ප්‍රකාශ කරන ආකාරයට උඩරට නර්තනයේ සහ සංගීතයේ තාල ව්‍යුහය විශ්ලේෂණාත්මක නිරවද්‍යතාවකින් යුතුව ලේඛනගත කළ ප්‍රථමයා වන්නේ ඩී. එස් මහවලතැන්න විය හැකි ය.
පසුගිය සියවස මුල බලන්ගොඩ ජීවත් වූ මේ සංස්කෘතික බුද්ධිමතා කවුද? මේ ලිපිය හැරෙන්නට ඔහු ගැන වෙන තොරතුරක් නැත. ඇතැමුන් පවසන්නේ මේ අනිකකු නොව සිරිමාවෝ මැතිනියගේ මවගේ පියාවන එස්. ඩී. මහවලතැන්න ම බවය. නමුත් මේ ගැන තවදුරටත් සෙවීම වැදගත් ය.
සමන් පනාපිටිය
වසර සියයකටත් වඩා පැරණි, එහෙත් ශාස්ත්‍රීය වශයෙන් අදටත් වැදගත් මහවලතැන්න බණ්ඩාරගේ ඉහතකී ලිපිය සිංහලයට පරිවර්තනය වුයේ මෑතකදී ය.සමන් පනාපිටිය 2002 දී ඒ සඳහා පෙරමූණ ගත්තේ ය. වඩාත් විස්තරාත්මක විග්‍රහයක් සමග පරිවර්තනයක් ඉදිරිපත් කර තිබෙන්නේ 2025 දී මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ය.
සංස්කෘතික බුද්ධිමතා වෙනුවෙන් කළ අමිල උපහාරය
මේ ලියන මා, මහවලතැන්නේ බණ්ඩාර ගැන කරුණු සොයමින් සිටින බව ඇසු මාහාචාර්ය ප්‍රණීත්, ඔහුගේ ඉහත කී පරිවර්තනය හා මගේ උනන්දුව වැඩිකරන තවත් පොත් රාශියක් සමග අද (11) පෙරවරුවේ අපගේ නිවසටම පැමිණ ඒවා මට ලබා දුන්නේ ය. ඉතා දුර්ලභ පොතක් ද ඒ අතර විය. මහාචාර්ය ප්‍රණීත්ගේ සංස්කෘතික අධ්‍යයනය වෙනුවෙන් ඇති අනුරාගය සහ ශාස්ත්‍රීය නිරහංකාර බව මට හොඳින් දැනුණි.
ප්‍රනීත් අභයසුන්දර
"මහවල තැන්නේ බණ්ඩාර විරචිත විචිත්‍ර උඩරට සංගීතය" නමින් මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර ලියා ඇති කෘතිය බලංගොඩින් මතු වූ මෙම සංස්කෘතික බුද්ධිමතා වෙනුවෙන් කළ අමිල උපහාරයක් වන අතර මානව සංගීත විද්‍යාත්මක අධ්‍යයනයක් වශයෙන් ඉහල ශාස්ත්‍රීය අගයකින් යුක්ත වූවකි.

කරු පරණවිතාන

