අන්තර් පළාත් පුද්ගලික බස් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ වල තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් පසුගියදා (03) පෙරවරුවේ පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම් පරිශ්‍රයේදී සිදු කළේ ය.
වාහන ධාවනයේ දී ඉන් පිටවන විෂ වායුව හේතුවෙන් සිදුවන වායු දූෂණය සහ ඉන් ජනතාවට සිදුවන හානිය වැළැක්වීමේ මෙන්ම මගී ජනතාවට සුව පහසු ආරක්ෂාකාරී ප්‍රවාහන සේවයක් ලබාදීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
නියමිත තත්ත්වයට අනුකූල නොවූ බස් රථ 40ක්
මෙහි දී බස් රථවල වායු විමෝචනයට අමතරව මගී ජනතාවට අනාරක්ෂිතමෙන්ම අවහිර වන ආකාරයෙන් තිබෙන තත්ත්ව ද පරීක්ෂාවට ලක් කළේ ය. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන අංශයේ නිලධාරීන්ගේ ද සහාය ලැබිණි.
පෙරවරු 9.30 ට ආරම්භ වූ මෙම වැඩසටහන, දහවල් 1.30 දක්වා පැවති අතර දුර ගමන් සේවා බස් රථ 67 පමණ මෙහි දී පරීක්ෂාවට ලක් කෙරිණි. මෙහි දී නියමිත තත්ත්වයට අනුකූල නොවූ බස් රථ 40 පමණ හඳුනා ගන්නට හැකි වී තිබේ. මෙම 40න් විශාල ලෙස අඩුපාඩු සහිත බස් රථ දෙකක් සඳහා නැවත ධාවනය කිරීමට නොහැකි ලෙස තහනම් නියෝග නිකුත්කළ අතර නියමිත තත්ත්වයෙන් නොපැවති ඉතිරි බස් රථ 38 සඳහා එම අඩුපාඩු සම්පූර්ණ කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් දින 14ක සහන කාලයක් ලබාදීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර ඇත.
වැඩපිළිවෙළ දීපව්‍යාප්තව සිදු කරනවා
මෙම තත්ත්ව පරීක්ෂණ අවස්ථාවට සහභාගී වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා මෙලෙස පැවසී ය.
"ආරක්ෂිත මෙන්ම ගුණාත්මක මගී ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මේ අකාරයෙන් බස් රථ වල තත්ත්ව පරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් ධාවන යෝග්‍යතාව, මගී ජනතාවගේ සුව පහසුව, එන්ජින් ක්‍රියාකාරීත්වය මෙන්ම ආරක්ෂාව පිළිබඳව වීම සීමක් කරනු ලබනවා. මේ වැඩපිළිවෙළ අපි දීපව්‍යාප්තව සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. සියලු බස් රථ හිමිකරුවන්ගෙන් සහ රියදුරු මහතුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ධාවනයට ප්‍රථම තමන්ගේ බස් රථ නියමිත තත්ත්වයන්ට අනුකූල ආකාරයෙන් සකස් කරගෙන, ඒ තුළින් මගී ජනතාවට සුව පහසු මෙන්ම ආරක්ෂාකාරී ප්‍රවාහන සේවයක් සලසන්න කියලා" යැයි පැවසී ය.
මෙම අවස්ථාවට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා, අධ්‍යක්ෂ ගෙරීන් අතුකෝරල යන අය ඇතුළු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තත්ත්ව පරීක්ෂක සී. කේ. එදිරිමුණි ප්‍රමුඛ පිරිසක් සහභාගී වූහ.





