සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් ගොඩනැගීමේ අරමුණින්, මහල් නිවාස ආශ්‍රිතව ජීවත්වන ජනතාව වෙත සෞඛ්‍ය ප්‍රවර්ධන සහ රෝග නිවාරණ සේවා වඩාත් සමීප කිරීමේ නව ප්‍රවේශයක් ලෙස හඳුන්වා දෙන “සුවතා මධ්‍යස්ථානය” සංකල්පයේ පළමු අදියර යටතේ සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණයේ සුවතා මධ්‍යස්ථානය ජනගත කිරීම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන අය ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24වන දා ග්‍රෑන්ඩ්පාස්, සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණයේ දී සිදු කළේ ය.

සෞඛ්‍ය ප්‍රවර්ධන සහ රෝග නිවාරණ සේවා රැසක්
මහල් නිවාස සංකීර්ණවල පදිංචි ජනතාව ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සහ ඔවුන් ගේ දෛනික ජන ජීවිතය වඩාත් සුරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න සහ ගුණාත්මක තත්ත්වයකට පත් කිරීම අරමුණු කරගනිමින් නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන “Metro Uplift” ජාතික වැඩසටහනට සමගාමීව මෙම සුවතා මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

රෝගයකට ප්‍රතිකාර ලබාදීමෙන් ඔබ්බට ගොස්, රෝග ඇතිවීම වැළැක්වීම, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගොඩනැගීම සහ ජනතාව ගේ සමස්ත සුවතාව ඉහළ නැංවීම කේන්ද්‍ර කරගනිමින් මෙම මධ්‍යස්ථානය හරහා පුළුල් සෞඛ්‍ය සේවා සහ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව බෝ නොවන රෝග කල්තියා හඳුනාගැනීම, බෝවන රෝග කල්තියා හඳුනාගැනීම සහ ව්‍යාප්තිය පාලනය, වැඩිහිටි රැකවරණ වැඩසටහන්, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, පෝෂණ වැඩසටහන්, මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහන්, නව යොවුන් සෞඛ්‍ය වැඩසටහන්, ශාරීරික ක්‍රියාකාරකම් හා ව්‍යායාම වැඩසටහන්, මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය, අනතුරු වැළැක්වීමේ වැඩසටහන් සහ අක්ෂි සායන ඇතුළු සෞඛ්‍ය ප්‍රවර්ධන සහ රෝග නිවාරණ සේවා රැසක් ලබාදීමට කටයුතු කෙරේ.
මීට අමතරව සාම්ප්‍රදායික ආහාර ප්‍රවර්ධන වැඩසටහන්, යෝගා සහ භාවනා වැඩසටහන්, සංගීත චිකිත්සාව, තෙල් සහ කටු චිකිත්සාව මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ප්‍රතිකාර ඇතුළු සුවතා ප්‍රවර්ධන වැඩසටහන් ද ජනතාව වෙත හඳුන්වා දීමට කටයුතු කර ඇත.
ව්‍යාපෘතියෙහි මූලික අරමුණ

මෙහි දී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසුවේ සුවතා මධ්‍යස්ථාන මගින් ඉටු කළ යුතු කාර්යභාරය පුළුල් පරාසයක විහිදෙන බවත්, එක් එක් ප්‍රදේශයේ පවතින සෞඛ්‍ය අවශ්‍යතා සහ ජනතාව ගෙන් ලැබෙන ඉල්ලුම හඳුනාගනිමින් ඉදිරියේ දී මෙම මධ්‍යස්ථාන තවදුරටත් සංවර්ධනය කිරීමට හැකියාව පවතින බව ය.
මහල් නිවාස සංකීර්ණ ආශ්‍රිතව සුවතා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය යනු හුදෙක් රෝගයකින් තොරවීමකට පමණක් සීමා වූ සංකල්පයක් නොවන බව අවධාරණය කර සිටියේ ය. ජනතාව ගේ සුවතාව තක්සේරු කිරීමේ දී කායික සෞඛ්‍යය පමණක් නොව, මානසික, සමාජීය හා අධ්‍යාත්මික සුවතාව ඇතුළු සුවතාවයේ සෑම මානයක්ම සැලකිල්ලට ගත යුතු බවද පැවසී ය. ඒ අනුව සුවතාවයේ සෑම මානයක්ම ආවරණය වන පරිදි මාන අටක් ඔස්සේ මෙම වැඩසටහන ගොඩනැංවීමට කටයුතු කරන බවත්, ජනතාව ගේ ජීවන රටාව තුළ සාධනීය වෙනසක් ඇති කරමින් ඔවුන්ගේ සමස්ත සුවතාව ඉහළ නැංවීම මෙහි මූලික අරමුණ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මෙරට සෞඛ්‍ය දත්ත සැලකිල්ලට ගැනීමේදී නාගරික ජනගහනයේ සෞඛ්‍ය තත්ත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරන මට්ටමට තවමත් ළඟා වී නොමැති බව පෙන්වා දුන් ඔහු, එහි ප්‍රතිඵලයක් ලෙස කායික සහ මානසික සෞඛ්‍යයට බලපාන ගැටලු රැසකට එම ජනතාව මුහුණ දෙමින් සිටින බව ද සඳහන් කළේ ය.
සෞඛ්‍යයේ සියලු අංශ පිළිබඳ අවධානය
මහල් නිවාස ආශ්‍රිත ජීවන රටාව සමග මතුවන මෙම සෞඛ්‍ය අභියෝග ජය ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ලෝකයේ බොහෝ රටවල ජනතාව මහල් නිවාස ආශ්‍රිතව ජීවත් වන බැවින් එම රටවල් එවැනි අභියෝගවලට මුහුණ දී ඇති ආකාරය අධ්‍යයනය කිරීම වැදගත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
එම රටවල් අනුගමනය කළ සාර්ථක ක්‍රමවේද අධ්‍යයනය කරමින් මෙතෙක් පවත්වාගෙන ආ ජීවන විලාසයේ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම තුළින් මෙම අභියෝග ජය ගැනීමට කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නේ ය. ජීවන විලාසයේ එවැනි වෙනසක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශය හා දැනුවත් කිරීම සුවතා මධ්‍යස්ථාන මගින් ලබාදීමට අපේක්ෂා කරන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඊට අමතරව ජනතාවගේ සුවතාව ඉහළ නැංවීම සඳහා තවත් සේවා රැසක් මෙම මධ්‍යස්ථාන හරහා ලබාදීමට කටයුතු කරන බවද පැවසී ය.
බෝ නොවන රෝග මේවන විට මෙරට ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. එම රෝගවලට ගොදුරු වීම වළක්වා ගැනීම සඳහා ප්‍රතිකාර වෙත පමණක් අවධානය යොමු කිරීම වෙනුවට, සෞඛ්‍ය සම්පන්න ජීවන විලාසයක් ගොඩනඟා ගැනීමත්, ආහාර රටාව, ශාරීරික ක්‍රියාකාරකම් සහ මානසික සුවතාව ඇතුළු සෞඛ්‍යයේ සියලු අංශ පිළිබඳ අවධානය යොමු කිරීමත් අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
භෞතික යටිතල පහසුකම් සංවර්ධන රැසක්

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ මහල් නිවාසවල වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක කරන “Metro Uplift” ජාතික වැඩසටහනේ කාලීන අවශ්‍යතාව සහ එහි අරමුණු සමග සුවතා මධ්‍යස්ථාන සංකල්පය මනා ලෙස බද්ධ වී ඇති බව ය. එමෙන්ම මහල් නිවාසවල වෙසෙන ජනතාව ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා නව රජය මඟින් ක්‍රියාත්මක කෙරෙන නව්‍ය වැඩසටහන් පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළේ ය.
“Metro Uplift” ජාතික වැඩසටහන යටතේ මෙම නිවාස සංකීර්ණයේ හානි වූ විදුලි සෝපාන අලුත්වැඩියා කිරීම, දෝෂ සහිත ගිනි නිවීමේ උපකරණ අලුත්වැඩියා කිරීම ඇතුළු භෞතික යටිතල පහසුකම් සංවර්ධන රැසක් සිදු කිරීමට නියමිත ය. එමෙන්ම ප්‍රජා සවිබලගැන්වීම හා ප්‍රජා සංවර්ධනය අරමුණු කරගත් වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
නිවාස ඒකක 546කින් සමන්විත සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණයේ 1500කට අධික ජනතාවක් ජීවත් වෙති. එපමණ ජනගහනයක් වෙසෙන ප්‍රජාවක් වෙත සෞඛ්‍ය ප්‍රවර්ධන හා රෝග නිවාරණ සේවා වඩාත් සමීපව ගෙන යාමේ වැදගත් පියවරක් ලෙස මෙම සුවතා මධ්‍යස්ථාන සංකල්පය හඳුන්වා දී ඇත.මෙම වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය සේවා පද්ධතිය සමග දැනට කිසිදු සම්බන්ධතාවයක් නොමැති, කිසිදු රෝහලක හෝ සායනයකින් සේවා ලබා නොගන්නා පුද්ගලයින් හඳුනාගෙන, ඔවුන් ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මූලික අවබෝධයක් ලබාගැනීම සඳහා විශේෂ සෞඛ්‍ය සායනයක් ද එදින සිරිමුතුගම ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි. ඒ සඳහා දැනට සෞඛ්‍ය සේවා වෙත යොමු නොවන පුද්ගලයන් 50 දෙනකු ගෙන් සමන්විත කණ්ඩායමක් තෝරාගෙන තිබූ අතර, ඔවුන් ගේ සෞඛ්‍ය අවශ්‍යතා හඳුනාගනිමින් අවශ්‍ය සෞඛ්‍ය උපදෙස්, දැනුවත් කිරීම් සහ ප්‍රතිකාර ලබාදීම මෙන්ම ඉදිරි සෞඛ්‍ය සේවා සඳහා යොමු කිරීම් සිදුකිරීමට ද කටයුතු කෙරිණි.
නිවාස සංකීර්ණවල ජීවත්වන සියලු ජනතාව ආවරණය වන වැඩ පිළිවෙළක්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකර ඇති මහල් නිවාස සංකීර්ණ 24ක නිවාස ඒකක 14,714ක් පවතින අතර, එම නිවාස සංකීර්ණවල ජීවත්වන සියලු ජනතාව ආවරණය වන පරිදි මෙම නව්‍ය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට ජාතික නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ජී. හේමචන්ද්‍ර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වතු හා නාගරික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චින්තා ගුණරත්න, උතුරු කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පවිත්‍රා මුතුකුඩ, කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය ශ්‍රී. ප්‍රතාප් යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසී ජනතාවද එක්ව සිටියහ.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්


