පුළුල් පරාසයක විහිදී ඇති සාහිත්‍යය හුදෙක් පොත් ප්‍රදර්ශනයකට පමණක් සීමා නොකිරීම අගය කළ යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (24) ආරම්භ කළ "කොළඹ සාහිත්‍ය උළෙල 2026" (Colombo Literary Festival 2026) ආරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.

ශ්‍රී ලාංකීය පාඨකයින්, ලේඛකයින් මෙන්ම සමස්ත කලා ලෝලීන්ට ම නවමු බුද්ධිමය හා සංස්කෘතික අත්දැකීමක් ලබා දෙන සහ ශ්‍රී ලාංකීය කලා සංස්කෘතික ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තබන "කොළඹ සාහිත්‍ය උළෙල 2026" (Colombo Literary Festival 2026) ජූලි 24 සිකුරාදා දින පෙරවරු 9.30ට ආරම්භ විය.
සමාරම්භක උළෙල සඳහා දකුණු ආසියාවේ ප්‍රථම සහ එකම බිලියනපති වන බිනෝද් චෞද්‍රි, ප්‍රකට ඉන්දීය ගත්කතුවර ආචාර්ය ශෂි තරු, සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි බල්තසාර් යන අය සහභාගී වූහ.
භාෂා ත්‍රිත්වයටම සමාන තැනක් ලබා දීම පැවති විශාල හිස්තැනක් පිරවීමක්
උත්සව සභව අමතමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ පුළුල් පරාසයක විහිදී ඇති සාහිත්‍යය හුදෙක් පොත් ප්‍රදර්ශනයකට පමණක් සීමා නොකිරීම අගය කළ යුතු බවයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයටම සමාන තැනක් ලබා දීම මෙරට කලා සංස්කෘතික සමාජයේ කලක පටන් පැවති විශාල හිස්තැනක් පුරවන්නක් බව ද ඔහු පැවසුවේ ය. ශ්‍රී ලංකාව පිළිබඳ සඳහන් කරන විට කොළඹ සාහිත සමය "Colombo Literary Festival" පිළිබඳ සිහිපත් වන වන තරමට මෙම උළෙල ජාත්‍යන්තර තලයේ පිළිගැනීමට ලක් වනු දැකීම සිය ප්‍රාර්ථනය බව ද ඇමතිවරයා සඳහන් කළේය.
උළෙලේ දැවැන්ත බුද්ධිමය මණ්ඩපය පිටුපස සිටින්නේ මෙරට ප්‍රකාශන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සලකුණු කිහිපයකි. උළෙල සංවිධානය කරනු ලබන්නේ ලංකාවේ ප්‍රධාන පෙළේ ප්‍රකාශන ආයතන පහක (05) හිමිකරුවන් අධ්‍යක්ෂ ධුර දරන Colombo Literary Festival (Pvt) Ltd ආයතනය විසිනි.
පාසල් සිසුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට ඇතුළු වීම නොමිලේ
දෙස් විදෙස් ලේඛකයින්, විචාරකයින්, සහභාගී වන සාහිත්‍ය මණ්ඩප, කෙටි සිනමා පට දැක්මක්, සංගීත මණ්ඩප, මාස්ටර් ක්ලාස්, සිතුවම්කරණය පිළිබඳ වැඩසටහන්, පොත් ප්‍රදර්ශන ආදී වැඩසටහන් සංවිධානය කර ඇත. සිනමා උළෙල පැවැත්වෙන්නේ කොළඹ 07 ග්‍රෙගරි මාවතේ ජර්මන් සංස්කෘතික ආයතනයේ (Goethe-Institut) දී 25 වන දා සිට 29 වන දා දක්වා ය.
රුපියල් 250ක මුදලකට ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකියාව ඇති මෙම උළෙලට පාසල් සිසුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දී තිබේ. ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා ඕනෑම කෙනෙකුට ඒ දිනය තුළ පැවැත්වෙන ඕනෑම වැඩසටහනකට සහභාගි විය හැකිය.
සෑම දිනකම උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා වැඩසටහන් සංවිධානය කර ඇති මෙම උළෙල එළඹෙන 29 වැනිදා රාත්‍රී 9.00 දක්වා කොළඹ 7, ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් (Independence Arcade) පරිශ්‍රයේ දී පැවැත්වේ.
එය මෙරට සංස්කෘතික ඉතිහාසයේ සුවිශේෂ සලකුණක් තැබීමට ද නිසැකවම ඉවහල් වනු ඇත.








සටහන - සෝබා කෝලියවංශ
ඡායාරූප - spytLabs

