කල්මුණේ උතුර රෝහලට රුපියල් මිලියන 68 ක අතිනවීන ආත්‍රොස්කොපික් (Arthroscopic) යන්ත්‍රයක්

කල්මුණේ උතුර රෝහලට රුපියල් මිලියන 68 ක අතිනවීන ආත්‍රොස්කොපික් (Arthroscopic) යන්ත්‍රයක්

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවා කාර්යක්ෂම හා විධිමත් කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත. 

එම වැඩපිළිවෙලට සමගාමීව කල්මුණේ උතුර මූලික රෝහලේ (Base Hospital Kalmunai - North) විකලාංග ශල්‍යාගාරය (Orthopaedic Theatre) වෙත රුපියල් මිලියන 68 ක වටිනාකමකින් යුත් අතිනවීන ආත්‍රොස්කොපික් (Arthroscopic) යන්ත්‍රයක් ලබාදීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

 

මිලියනයකට ආසන්න මහජනතාවට සෘජුවම ප්‍රතිකාර

මිනිස් සිරුරේ සන්ධි (දණහිස, උරහිස, වළලුකර) ඇතුළත ඇති වන ආබාධ, තුවාල හෝ ආතරයිටිස් යනාදි විකලාංග (Orthopedic) රෝගී තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ට අවශ්‍ය විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර  ලබාදීම සඳහා මෙම ආත්‍රොස්කොපික් (Arthroscopic)  යන්ත්‍රය භාවිතා කරයි‍.

ඉතා කුඩා කැපුමක් (Keyhole) හරහා රෝග හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට භාවිතා කරන මෙම සුවිශේෂී වෛද්‍ය උපකරණ කට්ටලය තුළින් සුළු කැපුම් උපක්‍රම (Minimally Invasive Surgery) භාවිත කරන බැවින් රෝගීන්ට දැනෙන වේදනාව අවම වන අතර, කැළැල් ද ඉතා කුඩා වේ. රෝගීන්ට ඉතා ඉක්මනින් සුවය ලබා නිවෙස් බලා ද යා හැකිය. 

නැගෙනහිර පළාතේ පෙරිය කල්ලාර් සිට පොතුවිල් (Periya Kallar to Pottuvil) දක්වා විහිදෙන සමස්ත කලාපයේ වෙසෙන මිලියනයකට ආසන්න මහජනතාවට මෙමගින් සෘජුවම ප්‍රතිකාර සේවා ලබාගැනීමේ හැකියාව ලැබේ. 

 

නැගෙනහිර පළාතේ රෝගීන්ට ඒ පළාතෙන් ම සේවය

දැනට නැගෙනහිර පළාතේ මෙම ශල්‍යකර්ම ලබාගැනීම සඳහා රෝගීන් 100 කට අධික විශාල පිරිසක් වසරකට ආසන්න කාලයක සිට දිගු පොරොත්තු ලේඛනවල රැඳී සිටින අතර, මෙම නවීන වෛද්‍ය තාක්ෂණික ආත්‍රොස්කොපික් (Arthroscopic)  උපකරණය ස්ථාපිත කිරීමත් සමග, එම සියලු රෝගීන්ට ඉදිරි කාලය තුළ කඩිනමින් එම ශල්‍යකර්ම සිදු කර ගත හැකි වනු ඇති අතර, උසස් විකලාංග ප්‍රතිකාර ලබාගැනීම සඳහා නැගෙනහිර පළාතේ ජනතාවට තවදුරටත් කොළඹ හෝ වෙනත් දුර බැහැර ප්‍රදේශවලට යෑමට සිදු නොවේ. 

නැගෙනහිර පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළින් ලබාදෙන සෞඛ්‍ය සේවාවල වත්මන් ක්‍රියාකාරීත්වය පසුගිය සති අන්තයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ නිරික්ෂණයට ලක් වූ අතර කල්මුණේ අෂ්රෝෆ් අනුස්මරණ රෝහල (Kalmunai Ashraff Memorial Hospital) රෝහලේ ගෙවන වාට්ටුවක් සහ එහි පරිපාලන ඒකකය ද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. එමෙන්ම මඩකළපුව ශික්ෂණ රෝහල (Teaching Hospital, Batticaloa),  කල්මුණේ අෂ්රෝෆ් අනුස්මරණ රෝහල, (Kalmunai Ashraff Memorial Hospital) සහ කල්මුණේ උතුර මුලික රෝහල යන රෝහල්වල රෝගී ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ විශේෂ නිරික්ෂණයට ලක්විය. 

මෙම අවස්ථා සඳහා නැඟෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. සරවණභවන්, මඩකළපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. මුරලීස්වරන්, මඩකළපුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරිය විශේෂඥ වෛද්‍ය කේ. ගනේෂලිංගම් කලාරංජනී (Dr. K. Ganesalingam Kalaranjani), කල්මුණේ උතුර මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. සුකුනන්, කල්මුණේ අෂ්රෝෆ් අනුස්මරණ රෝහලේ වෛද්‍ය අධිකාරී (Medical Superintendent) විශේෂඥ වෛද්‍ය අයි. එල්. එම්. රිෆාස් යන අය සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද එක්ව සිටියහ. 

ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න