නූතන සිංහල චිත්‍ර කලාවට පමණක් නොව සිංහල පුවත්පත් කලාවට ද විශිෂ්ට සේවාවක් කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පී මොටාගෙදර වනිගරත්න සූරීන් අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 93 වන වියේ පසුවිය.
තමාට ම ආවේණික වූ චිත්‍ර සම්ප්‍රදායක් ගොඩනගා ගත් මොටාගෙදර, සිංහල පාඨකයින් අතර ප්‍රකට වූයේ 1960 – 70 දශකවල දී රසවාහිනී සඟරාවට සහ ලංකාදීප, දවස, රිවිරැස වැනි පුවත්පත්වලට ඔහු විසින් සපයන ලද රේඛා සිතුවම් සහ අකුරු මෝස්තර නිසා ය. දවස, ඇත්ත යන පුවත්පත්වල අකුරු චිත්‍ර ශිල්පී මොටාගෙදර වනිගරත්න විසින් නිර්මාණය කරන ලද අතර එම අකුරු මෝස්තරය ‘මොටා ටයිප්’ ( Mota type) ලෙස ප්‍රකට විය.
මොටාගෙදර වනිගරත්න කැන්වස් සිතුවම්වලට පමණක් සීමා නොවී, ශ්‍රී ලංකාවේ තොරණ් කලාව නව මානයකට ගෙන ගිය කලාකරුවකු ලෙස ද සැලකේ. ආගමික සිතුවම් ක්ෂේත්‍රය තුළ ද ඔහු ගේ දායකත්වය වැදගත් වන අතර, වැලිගම බෝධිමළු විහාරයේ වටදාගෙයෙහි බුද්ධ චරිතය අළලා සිතුවම් නිර්මාණය කිරීම ඒ සඳහා උදාහරණයකි.
මොටාගෙදර වනිගරත්න ශ්‍රී ලාංකීය චිත්‍ර කලාවේ රේඛාමය සෞන්දර්යය, දේශීය අනන්‍යතාව සහ නවීන කලාත්මකත්වය එකට ගැළපූ සුවිශේෂී කලාකරුවකු ලෙස හැඳින්විය හැකි ය.
අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ඇත.
මූලාශ්‍ර - Malith Pulwansa





