යාපනය දූපත්වාසීන්ටත් අඛණ්ඩ, ගුණාත්මක සහ ස්ථාවර විදුලි සැපයුමක් තහවුරු කරනවා - අමාත්‍ය අනුර කරුණාතිලක

යාපනය දූපත්වාසීන්ටත් අඛණ්ඩ, ගුණාත්මක සහ ස්ථාවර විදුලි සැපයුමක් තහවුරු කරනවා - අමාත්‍ය අනුර කරුණාතිලක

“ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කිරීමේදී වැය වන පිරිවැය අධිකයි. ඒ වගේම මෙම දූපත් සදහා ඩීසල් ප්‍රවාහණයේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පාන්න සිදුවෙනවා. ස්වාභාවික ආපදා අවස්ථාලදී දුෂ්කරතා මැද තමයි ජනතාව ගේ විදුලිය සැපයුම දැනට පවත්වාගෙන යන්නේ . නමුත් මෙම නව විදුලිය පද්ධතිය එකතු කිරීම මගින් නයිනතිව් (නාගදීපය), අනලතිව් සහ ඩෙල්ෆ් දූපත්වාසීන්ට අඛණ්ඩ විදුලිය සැපයුමක් තහුවරු කරන්න අපට හැකිවෙනවා...” යැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඉන්දියානු රජයේ ආධාර ඇතිව ඩෙල්ෆ්, අනලතිව් හා නයිනතිව් (නාගදීපය) යන දූපත් සදහා ඉදිකෙරෙන හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති පද්ධති ව්‍යපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

akj1

 

ඇමරිකානු ඩොලර් මිලියන 11ක ආයෝජනයක්

කුඩා දුපත් සදහා හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති පද්ධති ඉදිරිකිරීමේ  (Construction of Hybrid Renewable Energy Systems in Small Islands) ව්‍යාපෘතිය යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් (නාගදීපය)  දුපත් වෙත විශ්වාසනීය, තිරසාර, සහ පරිසර හිතකාමී විදුලිබල සැපයුමක් ලබාදීම අරමුණු කරගත් සුවිශේෂී පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතියකි. මෙම ව්‍යපෘතිය ඉන්දියානු රජයේ ආධාර වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක වන අතර, එහි සමස්ත අයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 11කට ආසන්න වේ.

05 1

ඉතිහාසය පුරාම මෙම දූපත් සඳහා විදුලිය සැපයීම සිදුකරන ලද්දේ ඩීසල් ඉන්ධන මත පදනම් වූ ජනන පද්ධති මගින් වූ අතර, එය පරිසරයට අහිතකර මෙන්ම ඉහළ පිරිවැයක් සහිත වූවක් විය. එසේම මුහුදු මාර්ගය ඔස්සේ ඩීසල් ප්‍රවාහනය කිරීම දුෂ්කර කාර්යයක් විය. මේ නිසා සූර්යබලය, සුළං, හා බැටරි පද්ධතියක් උපයෝගී කරගනිමින් ජාතික පද්ධතියට සම්බන්ධ නොවූ ස්වාධීන (off-grid) හයිබ්‍රිඩ් බලශක්ති පද්ධතියක් විදුලිබලය සැපයීම මෙහිදී සිදුවේ.

 

මෙගාවොට් පැය 2.4ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක්

මෙගාවොට් 1.7ක් වන සූර්යවිදුලි බලාගාරයක්, කිලෝවොට් 750ක ධාරිතාවක් සහිත සුළං විදුලි බලාගාරයක්, සහ මෙගාවොට් පැය 2.4ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ඒකාබද්ධ කර මෙම හයිබ්‍රිඩ් මයික්‍රෝග්‍රිඩ් විදුලි පද්ධතිය නිර්මාණය වේ. තව ද මෙම පද්ධතිය සඳහා උසස් බලශක්ති කළමනාකරණ පද්ධතියක් (Energy Management System- EMS) පිහිටුවීම නිසා ස්ථායී සහ විශ්වාසනීය විදුලි සැපයුමක් සහතික කිරීමට හැකිවේ. 

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු බලශක්ති අමාත්‍යවරයා....

“මෙම විදුලි ව්‍යපෘතිය සම්පූර්ණ වීමෙන් පසු, දූපත්වාසීන්ගේ ජීවන තත්වය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. ජනතාවට දවසේ පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම, පොසිල ඉන්ධන දහනය අවම කිරීම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම හා ස්ථාවර බලශක්ති සැපයුමක් වැනි නව රජයේ අරමුණු ඉටුකරගැනීමට මෙම ව්‍යපෘතියෙන් අපෙක්ෂා කරනවා. අඛණ්ඩ, ස්ථාවර විදුලි සැපයුමක් ලැබීම නිසා විශේෂයෙන්ම ධීවර කර්මාන්තය ඇතුළු ආර්ථික කටයුතු දියුණු වන අතරම, සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන් වැනි මහජන සේවාවන්ගේ ගුණාත්මකභාවයද ඉහළ යාමද සතුටට කරුණක්.” 

anurarcpa

ව්‍යපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක හැකි ඉක්මනින් නව විදුලිබල පද්ධතියේ ප්‍රතිලාභ ජනතාවට ලබාගැනීමට කටයුතු සලස්වාදෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

මෙම අවස්ථාව බලශක්ති අමාත්‍යාංශ ලේකම් ජී.එම්.ආර්.ඩී අපෝන්සු, යාපනය - ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ශ්‍රී ශංකරන් රාජ්ගෝපාලන්, සුනිත්‍ය බලශක්ති අධිකාරයේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර ජේ බණ්ඩාර ඇතුලු විදුලිබල ක්ෂේත්‍රය නියෝජනය කරන ආයතනවල ඉහළ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ශාන් මොහොමඩ් - මාධ්‍ය ලේකම් - බලශක්ති අමාත්‍යංශය

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>>

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න