දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන්ව සිටින මධ්‍යම පළාතේ පාසල් සිසුන්ට ආධාර ලබා දෙන බව පවසමින් බලශක්ති අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් තිදෙනෙක් ලෙස පෙනී සිට, ව්‍යාජ ලේඛන සකස් කර ආධාර එකතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුදේශ් නලින්ද අල්විස් නැමැති සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (17) නියෝග කළේය.
නඩු දෙකකට අදාළව ඇප මත මුදා හරින ලද සැකකරු රුපියල් ලක්ෂ 50මුදල් ඇපයක් ලක්ෂ 50 ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.
සැකකරු මාස තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීම ඇතුළු සුවිශේෂී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝග නිකුත් කළේ ය.
ආයතන ගණනාවකින් අවස්ථා 21 දී රුපියල් ලක්ෂ 22අධික මුදලක් බැර වී ඇති බවත් ATM යන්ත්‍ර මගින් බැර කර ඇති මුදල් සම්බන්ධයෙන් විමර්ශන කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිමිවරුන් දෙනම ඇප මත මුදා හැර ඇත.

