චීනයේ ගුවැන්ඩොං පළාත කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු ඉහළ කළමණාකාරිත්වය සමඟ සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්වීය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ විසින් දූත පිරිස පිළිගෙන ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, අපනයන සංවර්ධන ඉලක්ක හා එහි දිශානතිය, දේශපාලන ස්ථාවරත්වය සමඟ ඇති වී ඇති ආයෝජන හිතකාමී පරිසරය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ අතර චීන ආයෝජකයින්ට ලංකාවේ ආයෝජනය කිරීමට ආරාධනා කරන ලෙසද ඉල්ලීමක් කෙරිණි.
තවද ගුවැන්ඩොං පළාතේ පවත්වනු ලබන ආසියානු කලාපයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පවත්වනු ලබන විශාලතම ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන චීන ජාත්‍යන්තර මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රදර්ශනයේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට ලබා දෙන මෙන් ඉල්ලීමක් මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සම්බන්ධ වූ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනයේ ඇති අවශ්‍යතාව සහ ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවිෂ්ට වීමේ වැදගත්කමද පැහැදිලි කළේය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයන සේවා අංශයේ අධ්‍යක්ෂිකා ඉදුමිණි කොඩිකාර ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඉදිරි වර්ෂයේ පැවැත්වීමට යෝජිත Sri Lanka Expo 2026 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය පිළිබඳ පැහැදිලි කළ අතර එය සාර්ථක කර ගැනීමට චීන රජයේ සහයෝගය අපේක්ෂා කරන බවද පැවසීය.
මෙම අවස්ථාව ඇමතූ චීන ගුවැන්ඩොං පළාත කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Mr. Zhuang Lecong ලබන වසර තුළ පැවැත්වෙන ජාත්‍යන්තර චීන සුළු හා මධ්‍ය පරිමාණ වෙළඳ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට වැඩි අවස්ථාවක් ලබා දීමටත්, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට වෙළඳ දූත පිරිසක් සහභාගි කරවීමටත් පොරොන්දු විය.
මෙම දූත පිරිසට Mr. Zhuang Lecong නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව - ගුවැන්ඩොං පළාත, Ms. Wang Fuxiu නියෝජ්‍ය අධ්‍යක්ෂ චීන ජාත්‍යන්තර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රදර්ශන කාර්යාංශය, Mr. Wu Dongxlong නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව - ගුවැන්ඩොං පළාත, Mr. Lin Sichen අංශ ප්‍රධානී චීන ජාත්‍යන්තර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රදර්ශන කාර්යාංශය, Ms. He Yan අංශ ප්‍රධානී චීන ජාත්‍යන්තර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රදර්ශන කාර්යාංශය යන නිලධාරින් අයත් වූහ.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් එරන්දික දිසානායක, ප්‍රාදේශීය සංවර්ධන අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ D.M.P. දිසානායක ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉහළ නිලධාරින් හා ලංකා කාර්මික මණ්ඩලය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරින්ද සහභාගි වූහ.

