Image

මුහුණෙන් ගීත ගැයීම....

මුහුණෙන් ගීත ගැයීම....

අපි අහපු, දැනුත් අහන සිංදු ඒ ඒ ගායක ගායිකාවො ගයන්නෙ තමතමන්ගෙ කටින්. ඒ ඒ ඔරිජිනල් ගායක ගායිකාවන්ට වෙන්වූ කටහඬ පෞරුෂයක් තියෙනවා. කටහඬ අනන්‍යතාවක්, ගායන කෞශල්‍යයක් වගේම කටහඬේ සහ ගායනයේ යන දෙකේම 'බරක්' ද ඔරිජිනල් ගායනාවලට අයත්.

'කවර් සෝන්ග්' නමැති අමුතු වචනය

පදමාලාව, තනුව කියන දේවල් සිංදුවකදි ඉතා වටිනවා. ඒත් ගායනය හරි නොගියොත් ඒ කිසිවක් 'හිට්' නොවන බව තමයි සත්‍යය. ගායකයා තමයි ගීයක 'වාහකයා'. ඔරිජිනල් ගායකයකුගෙ, ගායිකාවකගෙ සම්මාදමෙන් තමයි ගී 'හිට්' වෙන්නෙ. හැමදාම පැයක් ගී අහන (ගී 'බලන' නෙමෙයි) කෙනෙක් හැටියට මට දැනෙන්නෙ එහෙමයි.

ඉතිං එහෙම හිට් කරලා දුන්නු ගායනාවල ආලෝකය ණයට අරන්, ගායනය බැරි අය තමන්ගෙ 'මූණෙන්' ගායනා කිරීම දැන් දැන් බහුලව දකින්න තියෙනවා. මේවයෙ තියෙන්නෙ ගායනයකට වඩා රංගනයක්. මූණෙන් හැඟීම් පළ කිරීම්, ආවේගශීලී වීම්, මූණේ සුන්දරත්වයෙන් ප්‍රේක්ෂකයා වසඟයට ගැනීම් තමයි වැඩිපුරම මේ අය කරන්නෙ. 'ගායනය' නං ඔරිජිනල් එකේ අහලකවත් නෑ. මේ වැඩේට 'කවර් සෝන්ග්' කියලා අමුතු වචනයකුත් හදාගෙන තියෙනවා. මේවා මහ ඉහළින් අගේ කරන කට්ටියත් ඉන්නවා. එයාලා මේවට කියන්නෙ 'වෙනම රහක්' ඒවයෙ තියෙනවා කියලා. සමහරු කියනවා ඒ ගායනා හරියට 'භාවනාවක්' වගේ කියලත්.

වසඟ විය යුත්තේ කුමකට ද...?

මෙහෙම 'මූණෙන්' සිංදු කියන වැඩේ වර්ණනා කරන අය හැබෑ ගීත රසිකයෝ නොවන බවයි මගේ නම් හැඟීම. එයාලා නියම ගීත රස වින්දනය දන්න අය නෙමෙයි. ගීයක දි ගායකය ගෙ කටහඬ, ගායන කෞෂල්‍යය, විවිධ ගායන පරාස සහ අවසානයෙ දි 'නියම' ගායනයක 'බර' එන්නෙ ඔරිජිනල් ගායකයා ඒ වෙනුවෙන් උපරිමයෙන් කළ කැපකිරීම් නිසා බව මේ අය නොදන්න බව තමයි මගේ වැටහීම. ඔරිජිනල් ගායනයක දි ගායකයා හඬ පාලනය කරන විලාසය, ඒ ඒ වචන ගීයේ තේමාවට අනුව උච්චාරණය කරන ආකාරය වගේම සමහර ගීතවල දි එක වචනයකින් පවා ගීයට මහත් ආලෝකයක් ගෙනදීම මං ඉතා හොඳින් දකිනවා වගේම රස විඳිනවා.

ඉතිං 'මූණෙන්' සිංදු කියන අයත් සහ ඒවායෙ අමුතු 'රහ' දකින අයත් ගැන අපේ අමනාපයක් නෑ.

අපිනං ගීයක දි 'මූණට' රැවටෙන්නෙ නෑ. අපි වසඟ වෙන්නෙ ගීයට උචිත කටහඬට සහ මනා පුහුණුවක් සහිත ගායනයට විතරයි!

Pushpananda Ekanayaka

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න