මගේ කුදු බව සහ දාර්ශනික ආණ්ඩුව

මගේ කුදු බව සහ දාර්ශනික ආණ්ඩුව

මාලිමා ආණ්ඩුව දාර්ශනික ආණ්ඩුවකි. මම එය නොදැන සිටියා පමණක් නොව නොදන්නා බව ද නොදැන සිටියෙමි. අගමැතිතුමිය (ඊනියා ප්‍රථම වතාවට) සහභාගී වූ මාධ්‍ය සාකච්ජාව මට මහත් ප්‍රයෝජනයක් විය. එයින් සිදු වූයේ මා නොදන්නා බව දැනගැනීමත් එක් කරුණක් දන්නා බව දැනගැනීමත් ය. ඒ දන්නා කරුණ නම් මේ ආණ්ඩුව දාර්ශනික ආණ්ඩුවක් බව ය.

නැති බව දැකීමෙන් ඇති බව පසක් කර ගැනීමේ සිද්ධාන්තය

ආණ්ඩුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කර තිබෙන්නේ විශාල දාර්ශනික පදනමක් මත පිහිටමින් බව දැන් පැහැදිලි ය. මේ ප්‍රතිසංස්කරණ විවේචනය කරන උදවිය එසේ කරන්නේ මේ දාර්ශනික පදනම ගැන අවබෝධයකින් තොරව ය.

ගන, ද්‍රව, නිරික්ෂණයෙන් හඳුනාගත හැකි ය. එහෙත් නිරීක්ෂණයෙන් හඳුනාගත නොහැකි වායු ද නිරීක්ෂණයෙන් හඳුනාගන්නා ලෙස මොඩියුලය තුළ ඇතුළත් කිරීමේ අරමුණ, නිරීක්ෂණයෙන් එසේ වායු හඳුනාගත හැකි නොහැකි බව බව දරුවාට පසක් කරලීම බව අගමැතිතුමිය සහභාගී වූ මාධ්‍ය හමුවේ දී පැහැදිලි කරන්නට යෙදිණි. මේ නම් අධ්‍යාපනය කෙරෙහි කෙතරම් විශාල වූ දාර්ශනික මැදිහත් වීමක් ද...? මෙය "නැති බව දැකීමෙන් ඇති බව පසක් කරගැනීමේ සිද්ධාන්තය" ලෙස හැඳින්විය හැකි ය.

ආණ්ඩුවේ විලෝමය දාර්ශනික පදනම

අනෙකුත් මොඩියුල සම්බන්ධයෙන් ද බොහෝ දෙනා ප්‍රශ්න නගන්නේ ඒ මොඩියුල සකස් කරගැනීමට පදනම් වු ඇති දාර්ශනික පදනම වටහා ගැනීමට අපොහොසත් වීම නිසා බව මම දැන් දනිමි. මා කෙතරම් දේ නොදැන සිටියා ද..? දැන් මා නොදන්නා බව දන්නෙමි. ඇත්තෙන්ම දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ද ආණ්ඩුව ඉහත කී සිද්ධාන්තයේ විලෝමය දාර්ශනික පදනමක් ලෙස යොදා ගෙන තිබු බව දැන් පසක් වෙයි. එම සිද්ධාන්තය නම් "ඇති බව දැන ගැනීමෙන් නැති බව පසක් කරගැනීමයි". කුනාටුවක් එන බව පාර්ශ්ව කිහිපයක් විසින් කරන ලද පුර්ව දැනුවත් කිරීමේ තිබිය දී එවැනි කුණාටුවක් නොඑන ආකාරයට ආණ්ඩුව කටයුතු කීරීමෙන් පෙනී යන්නේ පුර්ව අනතුරු ඇඟවීම්වල ඇති බව විසින් අනතුරු ඇඟවීම් නොතිබූ බව ආණ්ඩුව පසක් කර ගැනීම ය.

මෙය දන්නා බව හොඳටම දන්නා ශූද්ධ වූ දාර්ශනික ආණ්ඩුවකි. එවැනි ශුද්ධ වූ ආණ්ඩුවක් හමුවේ සාමාන්‍ය ජහමනයා වන අප, එම ආණ්ඩුවේ දාර්ශනිකමය රහස අමාරුවෙන් හෝ වටහාගෙන ඒ් තුළින් අපගේ නොදැනීමේ සීමාව පසක් කර ගත යුතු ය.

කාල් මාක්ස්, පොයර්බාහ් 4 වන තීසිසයේ දී "ශුද්ධ වූ පවුලේ රහස තුළින් ලෞකික පවුල හෙළි කරගන්නා" ලෙස කීවේ මේ නිසා විය යුතු ය.

කරූ පරණවිතානKaru Paranawithana

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න