V2025

පුවත්

කබ්‍රාල් මහ බැංකු ගියා විතරයි : හිටපු ආණ්ඩුකාරගෙන් තවත් බරපතළ චෝදනාවක් !

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ ලේකම් දවුලගල මහත්මිය අද සිට එම තනතුරේ වගකීම්වලින් ඉවත් කර ඇති බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි.
 
"වෝහාරික විගණනයට සම්බන්ධ දවුලගල මුල්‍ය මණ්ඩල ලේකම් ධූරයේ වගකීමෙන් ඉවතට " මැයෙන් සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් හිටපු ආණ්ඩුකාරවරයා මේ කරුණු අනාවරණය කර ඇත.
 
අදාළ සටහනේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
 
අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිසට මහ බැංකු වංචාව ඉදිරිපත් වූ මොහොතේ සිට ජනාධිපති කොමිෂන් සභාව, වෝහාරික විගණනය දක්වා සියළුම පරීක්ෂණ කටයුතු සඳහා වෘත්තීයමය වගකීම රැදී තිබුණේ කේ.එම්.ඒ.එන්.දවුලගල මහත්මිය යටතේය. 
 
බැඳුම්කර වංචාවේ සටහන් වෙනස් කිරීමට උත්සහ දැරූ අවස්ථාවේ දී එයට වලක්වනු ලැබූවේ ද ඇය යි. ඊ.ඒ.පී.එදිරිසිංහ මුල්‍ය සමාගමට අදාල විගණනයේ ද මුලිකත්වය දැරූ ඇය, එහි දී බලධාරීන්ගෙන් එල්ල වූ බලපෑම් නොතකා ක්‍රියාකල සුපිලිපන් නිලධාරිනියකි.  
 
අර්ජුන මහේන්ද්‍රන් හා අජිත් නිවාඩ් කබ්රාල්ට අදාල වෝහාරික වාර්තා පහක සියළු ලේඛන භාරකාරීත්වය පැවතියේ දවුලගල මහත්මිය යටතේය.
 
 බැඳුම්කර අපරාධය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කළේ ය දවුලගල මහත්මිය යි.
 
කබ්‍රාල්ට එරෙහිව කීර්තිගේ නඩුව !
 
 මේ අතර  හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ  අජිත් නිවාඩ් කබ්රාල්, නැවත ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරයට පත් කිරීම හා එම ධුරයේ කටයුතු කිරීම වළක්වන ලෙස  මැන්ඩා මුස් රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර කිර්ති තෙනන්කෝන් පසුගිය 14 වනදා  අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සම  විමසීම එළඹෙන 22 දා සිදුකිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.

මෙම පෙත්සමේ  වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ,  අජිත් නිවාඩ් කබ්රාල් ,ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, නියොජ්‍ය මහබැංකු අධිපති ටි.එම් ඒ .ජේ වයි. පි. ප්‍රනාන්දු ,නීතිපතිවරයා හා පොලිස්පතිවරයායි.

මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල්  කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා මහ බැංකුවට රුපියල් බිලියන 10.4 ත් ,10 .6 ත් අතර අලාභයක් සිදුකර ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කර ඇති, වෝහාරික විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙසත් එම පෙත්සම හරහා ඉල්ලා තිබිණ.
එසේම  ඉදිරිපත් වි ඇති සාක්ෂි අධ්‍යයනය කර ඔහුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරන ලෙස නීතිපතිට නියෝගයක් නිකුත් කරන ලෙසත් එමගින් ඉල්ලා ඇත.

පෙත්සම ගොනුකරමින් කීර්ති තෙන්නකෝන්  පෙන්වා දෙන්නේ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන කිරිමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කළ ත්‍රි පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් කරන ලද වෝහාරික විගණන වාර්තාව අනුව අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.

ඔහු නැවත මහබැංකු අධිපතිධුරයට පත් වුවහොත් ඔහුට එරෙහිව ඉදිරිපත් වි ඇති සාක්ෂි විනාශ කිරිමේ අවදානම පවතින බවත් පෙත්සම්කරු මෙමගින් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබේ.
 

බීපු ඇමතුලාට ජනතාවගේ අයිතිවාසිකම් බයිට් එකට දෙන්න බෑ - නීතිඥ නිශ්ශංක

ඇමතිවරයාට බීමත්ව ජනතාවගේ මානව හිමිකම් බයිට් එකට ගැනීමේ අයිතියක් නොමැති බවත් , මිනිස්සුන්ට හිරිහැර කර, වින්දනයක් ලැබීම මානසික රෝග බවත් නීතිඥ නිශ්ශංක නානායක්කාර පවසයි.

ජාතික ජනබලවේගය පක්ෂය අද (16) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

අමාත්‍යවරයා පොදු දේපොළ භාවිතා කර තිබෙනවා නම් එසේ කර තිබෙන්නේ රාජකාරී කටයුත්තකට නෙවන අතර එය තමන්ගේ මිත්‍රයන්ගේ විනෝදය සඳහා සිදුකර ඇති බවත් මෙතනදී අමාත්‍යවරයා ගිය වාහනය නොව ඔහුගේ හැසිරීම බැලිය යුතු බවත් නීතිඥ නිශ්ශංක නානායක්කාර සඳහන් කර ඇත.

එහිදී නීතිඥවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ඒ හැසිරීම නීති විරෝධීයි. එයට දඬුවම් කළ යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඇමතිවරයාට බීමත්ව ජනතාවගේ මානව හිමිකම් බයිට් එකට ගැනීමේ අයිතියක් නැහැ. මිනිස්සුන්ට හිරිහැර කරලා, වින්දනයක් ලැබීම මානසික රෝග. මේ රාජ්‍ය ඇමතිවරයා සිදුකළ ක්‍රියාකලාපයේ බරපතළකම තිබෙන්නේ අතීතයේ මේ ආණ්ඩුවේ තිබෙන ක්‍රියාමාර්ගත් එක්කයි. මහර ඝාතනය, වැලිකඩ සිර ගෙදර ඝාතනය කියන සියල්ල මගින් අපේ රටේ මානව හිමිකම් ගැන ජාත්‍යන්තරව ප්‍රශ්න කෙරෙනවා. මේ රටට ඇඟිලි ගහලා සම්බාධක පනවන්න පසුබිම හදලා දෙන්නේ මේ ආණ්ඩුවමයි. හිජාස් හිස්බුල්ලා නඩු විභාගයකින් තොරව මාස 16ක් අත්අඩංගුවේ ඉන්නවා. නඩු අහලා, වැරදිකාරයා වෙනවා නම් හිරේ දැමීම ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. කවියෝ පවා මේ විදිහට සිරගත කරගෙන ඉන්නවා.

අවුරුදු 1 සිට 6 දක්වා පමණ කාලයක් දඩුවම් ලැබිය යුතු වැරදි !

ගඟෙන් එතෙර වෙන්න වියතුන්ව පාවිච්චි කළා. අද ඔවුන්ව විසි කර දාලා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා බලයට ගේන්න වැඩ කළ වියතුන් අද හැංගෙමින් ඉන්නේ. ඒ නිසා අද මේ රට පාලනය වෙන්නේ සංවිධානාත්මක හොර කල්ලියකින්.

අපේ රටේ ආර්ථිකය, සමාජ සංස්කෘතික ජීවිතය, යන සියල්ල පාලනය වෙන්නේ මේ කල්ලියෙන්. සිද්ධියේ බරපතළකම අනුව අවුරුදු 1 සිට 6 දක්වා පමණ කාලයක් දඩුවම් ලැබිය යුතු වැරදි මෙතන සිදුකර තිබිය හැකියි. එය හරියටම කියන්න බැරි තාම කිසිදු පරීක්‍ෂණයක් සිදුකර නැති නිසයි. මේ සිද්ධියත් එක්ක මොහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් ඉවත් කරන්න කියලා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට බල කරන්න ඕනැ.

මාංචු වැටෙන්න ඕනෑ අත්වල සමහර ස්වාමින් වහන්සේලා පිරිත් නූල් ගැට ගහපුවාම මෙහෙම ප්‍රශ්න මතු වෙනවා. ඔහු සමග හිටපු කාන්තාවටත් එකම නීතිය බලපාන්න ඕනැ. තාමත් පොලිසිය මේ ගැන විමර්ශන පටන් ගෙන නැහැ. පහන්තුඩුවේ සිද්ධියට සම්බන්ධ දෙදෙනා පසුවදා අත්අඩංගුවට ගත්තා. මෙතන තියෙන්නේ ඊට වඩා බරපතළම තත්වයක්.

පොලිසිය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතනට ගිහිල්ලා බන්ධනාගාර නිලධාරීන්ගෙන් බන්ධනාගාර කොමසාරිස්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්න ඕනෑ. ඒ මූලික තත්වයවත් සිදු නොවීමයි මෙතන තියෙන බරපතළම තත්වය.

ලොහාන් ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් තද නිවේදනයක් !

ලොහාන් රත්වත්තේට තිබෙන චෝදනා ඉතා බරපතළ වන අතර එබැවින් සිරකරුවන් සම්බන්ධයෙන් වගකිවයුතු අමාත්‍යංශයක්වත් වෙනත් ඇමති තනතුරක හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හෝ වගකීමක් දැරීමටවත් ඔහු විශ්වාසදායක නැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

ශ්‍රී ලාංකා නීතිඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය අද (16) නිවේදනයක් නිකුත්කරමින් මේ බව අවධාරණය කර ඇත.

ඔහුගේ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ සහ අපක්ෂපාතී විමර්ශනයක් සිදුකළ යුතු බවත් එම නිවේදනයේ දැක්වෙයි.

තවද ඉල්ලා අස්වීම මගින් ලොහාන් රත්වත්තේ තම චර්‍යාව සම්බන්ධ වගකීම බාරගෙන ඇති බවත් , එමගින් කිසිදු රජයේ තනතුරක් දැරීම සඳහා ඔහු සතු සදාචාරාත්මක අයිතිය අහෝසිවී ඇති බවත් එම නිවේදනයේ සඳහන් ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

IMG 20210916 WA0011

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයත් ඉල්ලා අස්වෙන්න ඕන - උපුල් කුමාරප්පෙරුම

ආන්දෝලනාත්මක බන්ධනාගාර සිදුවීමට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියද ඉල්ලා අස්විය යුතු බවත් රාජ්‍ය සේවකයකු ලෙස ඔහුගේ මූලික වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීම මිස අමාත්‍යවරයාව ආරක්ෂා කිරීම නොවන බවත් නීතිඥ උපුල් කුමාරප්පෙරුම පවසයි.

එසේම රාජ්‍ය සේවා කොමිසම විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

නීතිඥ උපුල් කුමාරප්පෙරුම මේ අදහස් දක්වා සිටියේ ජාතික ජනබලවේගය පක්ෂයේ නීතිඥන් විසින් අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

එහිදී ඔහු දැක්වූ අදහස් මෙසේය.

බන්ධනාගාර රැඳවියෙකුගේ ආරක්‍ෂාවට සම්බන්ධයෙන් රජය වගකිව යුතුය... නීතිඥ උපුල් කුමරප්පෙරුම

මෙතන නිශ්චිත කරුණු 2ක් තිබෙනවා. රාජ්‍ය ඇමතිවරයා අවසර නැති වෙලාවක බන්ධනාගාරයට යාම, සහ එහි නිලධාරීන්ගේ හැසිරීම වශයෙන්. අදාළ ඇමතිවරයාට බන්ධනාගාරයක් නිරීක්‍ෂණය කිරීමේ හැකියාව තිබෙනවා.

ගිනිඅවි ගෙනියන්න අවසර දුන්නේ කවුද ?

නමුත් ඔහු එහෙම ගිහින් හැසිරුණු ආකාරය වාර්තාවල සඳහන් වෙනවා. ඔහුගේ පුද්ගලික ගිනි අවිය බන්ධනාගාරය තුළට ගෙනගොස් තිබෙනවා. පසුගිය කාලයේ බන්ධනාගාරවල ආරක්‍ෂක විධිවිධාන තර කිරීමෙන් තම සේවාදායකයන් බලන්න යන නීතිඥවරුන්ගේ සපත්තු, බෙල්ට් පවා ගලවා ශරීර පරීක්‍ෂා කළා. පෑන් පවා පරීක්‍ෂා කළා. මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමයටත් මැදිහත් වෙන්න වුණා. මේ තරම් ආරක්‍ෂක විධිවිධාන ක්‍රියාත්මක වෙද්දී ගිනිඅවියක් රැගෙන යන්න අවසර කොහෙන්ද?

දණ්ඩ නිති සංග්‍රහය යටතේ වැරදි රාශියක් සිදුකරලා !

ඇමතිවරයාට බන්ධනාගාරය පරීක්‍ෂා කරන්න පුළුවන්. අවශ්‍ය නම් රැඳවියන් එක්ක කතා කරන්නත් පුළුවන්. අතීතයේ ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා බන්ධනාගාර පරීක්‍ෂා කරන්න ගිහින් ඔහුට බරපතළ තත්වයකට මුහුණ දෙන්න සිදුවුණා. මෙතැනදී බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් එළියට ගෙන පිස්තෝලයක් තබා තර්ජනය කිරීම ඇමතිවරයාගේ විෂය පථයට අදාළ වෙන්නේ නැහැ.

මෙතන අයුතු ඇතුල්වීම, සාපරාධී බලහත්කාරය, මරණීය තර්ජන එල්ල කිරීම, නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සහ නීතිවිරෝධී රැස්වීම යන දණ්ඩ නිති සංග්‍රහය යටතේ වැරදි රාශියක් සිදුකර තිබෙනවා.

සිරකරු අයිතීන් සම්බන්ධ ප්‍රඥප්තියේ විධිවිධාන උල්ලංඝනය කර තිබෙනවා. අධිකරණ නියෝගයකින් බන්ධනාගාර ගත කරන පුද්ගලයෙක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයෙක් හෝ වෙනත් විනිශ්චයකාරවරයෙක් නිශ්චිත උපදෙස් මාලාවක්, විධානයක් බන්ධනාගාර අධිකාරියට දෙනවා. මෙයට කියන්නේ අධිකරණ භාරය කියලා. ඔහුගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අධිකරණය, රජය වගකියන්න ඕනෑ.

සුළුපටු වරදක් නෙවෙයි !

මේ වින්දිතයන්ගේ ආරක්‍ෂාව ගැන විශ්වාසය සහ මූලික අයිතිවාසිකම් බිඳ වැටිලා තිබෙනවා. මෙය සුළුපටු වරදක් නෙවෙයි. ඇමතිවරයෙකුට ගිහින් පිස්තෝලය පෙන්වලා මිනිස්සුන් එළියට ඇදලා ගන්න පුළුවන් නම් මේක අප්‍රිකාවේ වගේ තත්වයක්. රුවන්ඩාව, සුඩානය වගේ අප්‍රිකානු රටක් නෙවෙයි මේක. ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්.

යුද හමුදා පාලනයක් තිබෙන රටක් නෙවෙයි මේක. ඒ නිසා මේක අප්‍රිකානු රටක් බවට පත්කරන්න එපා. බන්ධනාගාරයේ ඉන්න මනුස්සයෙකුට පවා අයිතිවාසිකම් තියෙනවා. මේවා බිඳ දාන්න එපා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ. මේ රටට සම්බාධක පැනවුවහොත් මේ ඉන්න එක පාලකයෙක්වත් එයින් පීඩා විඳින්නේ නැහැ. ආර්ථික හෝ වෙනත් ඕනෑම සම්බාධකයකින් පීඩාවට පත් වෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. මේ සියලු දෙනාටම ඒ ගොල්ලන්ගේ මව් රටවලට යන්න පුළුවන්. එහෙම යන්න සල්ලිත් තියෙනවා. අපි කාටවත් ඒක කරන්න බැහැ. ඒ නිසා මේ රටේ පැවැත්ම වෙනුවෙන්, රාජ්‍යය වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉටුකරන බව ආණ්ඩුව ජනතාවට පෙන්වන්න ඕනෑ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ ක්‍රියාකලාපය !

අනෙක් පැත්තෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ ක්‍රියා කලාපය ගැන සලකා බලන්න ඕනෑ. ඇමතිතුමා ඇවිත් සිරකරුවන් සමග සාකච්ඡා කර ගිය බවයි ඔහු කියා තිබෙන්නේ. රාජ්‍ය සේවකයෙකුගේ මූලික වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමයි. ඔහු ඒ වෙනුවෙන් දිව්රුම් දී තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් පාලනය වන රීති සම්ප්‍රදායකින් බැඳිලා ඉන්නවා. මේ සියල්ල තියාගෙනත් ඔහු කර තිබෙන්නේ තමන්ගේ අමාත්‍යවරයා ආරක්‍ෂා කරන්න ප්‍රකාශයක් කිරීමයි. රාජ්‍ය නිලධාරීන් දේශපාලකයෙක් ආරක්‍ෂා කරන්න බැඳීලා නැහැ. දේශපාලකයන්ගේ වැරදි තීන්දු ප්‍රතික්‍ෂේප කළ කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් මේ රටේ සිට තිබෙනවා.

වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වුණේ ඉහළින් එන සමහර තීරණවලට එකඟ වෙන්න බැහැ කියලා. රාජ්‍ය නිලධාරීන්ට කොන්දක් තියෙන්න ඕනෑ. ඔහු වගකියන්න ඕනෑ මේ රටේ ජනතාවටයි. උපුල්දෙනිය මහත්මයත් ඔය තනතුරෙන් ඉල්ලා අස්වෙන්න ඕනෑ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඔහුට විරුද්ධව වෙනම විනය පරීක්‍ෂණයක් පවත්වන්න ඕනැ.

කොරෝනා මරණ 11817ක් දක්වා ඉහළට !

තවත් කොරෝනා මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ (15) දිනට තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (16) නිකුත්කර ඇත.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 11817ක් දක්වා ඉහළ ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 61 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 57 කාන්තාවන් ය.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 23 ක් සිටින අතර ඉතිරි ආසාදිතයින් 95 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

9cb4b0b8 press release 942 page 001 725x1024

ගුරු - විදුහල්පති වැටුප් ගැටලුවට දැන් තියෙන්නේ සාකච්ඡා කරන එක තමයි - ජෝසෆ් ස්ටාලින්

සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳාගැනීමට සූදානම් බව වර්ජනයේ නිරත ගුරු - විදුහල්පති වෘත්තීය සංගම්වල නියෝජිතයින් අද (16) සඳහන් කළේය.

වැටුප් විෂමතාම මුල්කර ගනිමින් ගුරු විදුහල්පතිවරු ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 66වන දිනටත් ක්‍රියාත්මකය.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තුළ ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතුවලින් බැහැරවීමටත් ගුරු සංගම් තීරණය කර තිබුණි.

ඒ අනුව ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීමට ලබාදී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් වුණි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඒ පිළිබදව සඳහන් කළේ,

"ඊයේ මාධ්‍ය හරහා අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළා විදුහල්පතිවරු අයදුම්පත්‍ර ඉදිරිපත් නොකළොත් විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරනවා කියලා. අපි අහන්න කැමතියි විකල්ප ක්‍රියාමාර්ගය කුමක් ද කියලා. තර්ජනය කිරීමද?. ගුරු සහ විදුහල්පති වැටුප් ගැටලුව ගැන දැන් තියෙන්නේ සාකච්ඡා කරන එක තමයි."

ලංකා ගුරු සංගමය සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු  සඳහන් කළේ සාධනීය විසඳුමකට ප්‍රවේශයක්වීම සඳහා පිළිතුරක් දියහැකි ඇමතිවරයෙකු සමග සාකච්ඡාවක් අවශ්‍ය බවය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසන්නේ ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  ශක්තිමත් විසඳුමක් ලබාදෙනු ඇතැයි තම සංගමය විශ්වාස කරන බවය.

ලොහාන්ට පස්සේ නාමල් : අනුරාධපුර බන්ධනාගාරයට !

කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අද (16) අනුරාධපුර බන්ධනාගාරයට යාමට නියමිත බව ඬේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඒ වාර්තාව අනුව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙසේ අනුරාධපුර බන්ධනාගාරයට යන්නේ එහි රඳවා සිටින ද්‍රවිඩ ජාතික සිරකරුවන් 11 දෙනෙකු, ක‍්‍රීඩා අමාත්‍යවරයා සමග සාකච්ඡාක් ඉල්ලා ඇති නිසාය.

හිටපු, බන්ධානගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධානාගරයේ සිටින ද්‍රවිඩ ජාතික සිරකරුවෙන් දෙදෙනෙකු දණගස්වා – හිසට පිස්තෝලය එල්ල කරමින් මරණ තර්ජනය කිරීමේ සිදුවීම මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා අවධානයට යොමුව තිබේ.

ලොහාන්ට නඩුවක් : අනුරාධපුර බන්ධනාගාරයේ CCTV මැකෙයිද ?

අනුරාධපුර බන්ධනාගාරයට නීති විරෝධීව ඇතුලූවී එහි සිටි සිරකරුවන් පිරිසකට අවමන් සහගත ලෙස සැළකීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනුකිරීමට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව තීරණය කර ඇත.

මේ බව ඊයේ (15) සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

තවද අනුරාධපුර බන්ධනාගාරය තුළ අදාල සිද්ධියට මුහුණදුන් රැදවියන් වෙනුවෙන් ඉදිරියේදී මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකර මෙම සිද්ධිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට තීරණය කර ඇති බවත් එහිදී සඳහන් කෙරිණ.

එසේම අනුරාධපුර බන්ධනාගාරයේ CCTV දර්ශන මකා දැමීම සදහා විශාල උත්සාහයක් දරමින් ඇති බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පවසයි.

ඇමතිවරයෙක් බීමතින් බන්ධනාගාරයට ඇතුළු වි සිරකරුවන්ට පීඩා කරද්දී බන්ධනාගාර නිලධාරීන් තම වගකීම් පැහැර හැර ඇති බවත් ඇමතිවරයාගේ හැසිරීමට ඔවුන් විශාල ඉඩකඩක් දී ඇති බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කර සිටියි.

සිදුවීම ගැන පරීක්‍ෂණයක් සිදු කිරීම සදහා ස්වාධීන අපක්‍ෂපාති මණ්ඩලයක් පත් කල යුතු බවත් ගිනි අවියක් රැගෙන බන්ධනාගාරය තුලට යාම හේතුවෙන් ඇමතිවරයා අත්අඩංගුවට ගත් යුතු බවත් ඔහු පවසයි.

කොළඹට නොමිලේ ඇන්ටිජන්

කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ සිටින පිරිස් සඳහා නොමිලේ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම බොරැල්ල කැම්බල් පාර්ක් ක්‍රීඩා පිටියේදී අද (16) ආරම්භ කෙරුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොළඹ මහනගර සභාව එක්වී එම කටයුතු සිදුකරයි.

සැකසහිත හෝ රෝග ලක්ෂණ පවතින කොළඹ අවට සිටින ඕනෑම පුද්ගලයකුට පැමිණ මෙම ස්ථානයේදී ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරගැනීමට හැකිය.

 

ලොහාන්ගේ ඉල්ලා අස්වීමේ ලකුණු මහින්දට !

ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ ඉතාලියේ සිට සිදුකළ දැනුම්දීම මත බව වාර්තා වෙයි.

මේ බව වාර්තා වන්නේ අගමැති කාර්‍යාලයේ නිලධාරීයකු බීබීසී සිංහල සේවය වෙත සිදුකර ඇති ප්‍රකාශයකිනි.

කෙසේ වුවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වෙතින් ඒ ගැන විමසීමේදී ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත.

ඊට අදාළ බීබීසී වාර්තාව පහත දැක්වෙයි.

ලොහාන් රත්වත්තේ අස් වුණාද ? අස්වෙන්න කීවාද ?

රජය අපහසුතාවයට පත් වෙන නිසා ඉල්ලා අස් වුණා. නැතිව කවුරුවත් මාව අස් කලේ නෑ," බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීබීසී සිංහල සේවය කළ විමසීමේදී දැක්වූ ප්‍රතිචාරයයි ඒ.

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන් හිදී හටගත් සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ එම රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

එම නිවේදනය නිකුත් කෙරුණේ, අදාළ රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා නිර්දේශ ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද (සැප්. 15) ලිපියක් යැවූ බව දක්වමින් ලොහාන් රත්වත්තේ සිය ෆේස්බුක් ගිණුමෙහි එම ලිපිය පළකිරීමෙන් අනතුරුවය

ඔහු එම ලිපියෙන්, "මේ වන විට අමාත්‍යංශය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන කරුණු කරණා හමුවේ රජය අපහසුතාවයට පත් නොවීමේ අරමුණින් මගේ ස්වකැමැත්තෙන් 2021.09.15 වන දින එනම් අද දින සිට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඔබ තුමාගේ නිර්දේශය ඉතාමත් ගෞරවයෙන් අපේක්ෂා කරමි." යැයි ඉල්ලා තිබිණි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි තමා වෙතින් සිදුවූ සිද්ධීන්වලට අදාළ වගකීම් භාරගනිමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවය.

"ඒ මහතා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිතුමා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබීය," යනුවෙන් ජනතිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියකු බීබීසී සිංහල වෙත පැවසුවේ අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සිට දුරකතයෙන් අමතා අමාත්‍ය ලොහාන් රත්වත්තේ ට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දුන් බවය.

සිරකරු දිනය යෙදුණු සැප්තැම්බර් 12 වැනිදා පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමැතිවරයෙක් පිස්තෝලය පෙන්වා සිරකරුවන් දණගස්වා ඇති සිද්ධියක් පිළිබඳව ද්‍රවිඩ ජාතික මජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අනාවරණය කර තිබුණි.

gajen

රාජ්‍ය ඇමැතිවරයා විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින විශේෂ සිර මැදිරිය වෙත ගොස් ඉන් සිරකරුවන් අටදෙනකු පිටතට ගෙන ඔවුන් දණ ගස්වා ඇතැයි මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි.

එමෙන්ම සුදර්ශන් නමැති සිරකරුගේ හිසට තුන්වතාවක් පිස්තෝලය තබා "උඹලා එළියට යවන එක තීරණය කරන්නේ අපි" කියා තර්ජනය කළ බවත් එය වැළැක්වීමට ගිය අනුරාධපුර බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවත් බන්ධනාගාර නිලධාරීහු පෙන්වා දුන් බව අරුණ පුවත්පත වාර්තා කළේය.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරය තුළදී සිරකරුවන් දණ ගැස්වී යැයි කියන සිදුවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය විසින් ද හෙලා දකිනු ලැබීය.

එහි නේවාසික සම්බන්ධීකාරකවරිය සිය ට්විටර් සටහනක් තබමින් පැවසුවේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයක යුතුකමක් බවය.

hanaඅරුණ පුවත්පත පසුගිය දා තවදුරටත් වාර්තා කර තිබුණේ වැලිකඩ බන්ධනාගාරයටද ඉකුත් 05 වැනිදා රාත්‍රියේ බීමතින් මිතුරන් සමග පැමිණි රාජ්‍ය ඇමැතිවරයා පිස්තෝලයක්ද ඇතැතිව එල්ලුම්ගස නැරඹීමට ගිය බවය.

එහි දී අලුතින් බඳවාගත් නියාමකවරුන් පේළියට තබා දේශනයක් පැවැත් වූ බවද හෙළි වී තිබේ යනුවෙන් අරුණ පුවත් පත පැවසීය.

''අපි දැක්කා පසුගිය දවසක බීමත්කමින් ගිහිල්ලා රුවන්වැලිසෑයට ඇතුළු වෙන්න හදපු රාජ්‍ය ඇමැතිවරයා. ඊයේ (14 වැනිදා) පෙරේදා (13 වැනිදා) බන්ධනාගාරයට ගිහිල්ලා, බන්ධනාගාරයේ එල්ලුම් ගස අසලට ගොස් පිස්තෝලයක් ප්‍රදර්ශනය කරමින් මරණ දඬුවම් නියම වූ සිරකරුවන් ඉන්න කුටියට ගිහිල්ලා සමහර නිලධාරීන්ට තර්ජනය කරලා තිබෙනවා,"යනුවෙන් හිටපු අධිකරණ ඇමැතිවරියක හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන තලතා අතුකෝරල උපුටා දක්වමින් අරුණ පුවත්පත තවදුරටත් වාර්තා කළේය.

කෙසේ වෙතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඊයේ (සැප්. 14) මාධ්‍ය වෙත පැවසුවේ එවැනි කලහකාරී සිදුවීමක් ඇති නොවූ බවය.

"තර්ජනය කරන්න වෙන අය ඉන්නවා නේ" මෙම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය රාජ්‍ය අමාත්‍යවරයාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ මේ පිළිබඳ පළවී ඇති මාධ්‍ය වාර්තා තමන් ප්‍රතික්ෂේප කරන බවය.

ඇමතිවරයා වශයෙන් ඕනෑම බන්ධනාගාරයකට යාමේ අයිතිය තමන්ට ඇති බව පැවසූ ඔහු, "මම ගියේ සිරකරුවන්ගේ සුභසාධනය බලන්න තමයි. නැතිව ඔය කියන විදිහේ දෙයක් උනේ නෑ." යි සඳහන් කළේය.

අනුරාධපුර බන්ධනාගාරයේදී ද්‍රවිඩ සිරකරුවන් දණගස්වා තර්ජනය කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහුගේ ප්‍රතිචාරය වූයේ, "මම මොකටද තර්ජනය කරන්න යන්නේ එකට ඕනනම් වෙන අය ඉන්නවා නේ." යන්න ය. අගමැතිවරයා ඉතාලියේ සිට ඇමතී ද යන්නට ලොහාන් රත්වත්තේගේ පිළිතුර වූයේ, එසේ අගමැතිවරයා තමාට කතා නොකළ බවය.

කෙසේවෙතත්, ඔහු වැඩිදුරටත් පැවසුවේ තමා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරයේ දිගටම කටයුතු කරන බවකි.

(බීබීසී)

කොරෝනා මරණ 11699ක් දක්වා ඉහළට !

තවත් කොරෝනා මරණ 132ක් ඊයේ (14) දිනයට අදාළව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (15) නිකුත්කර ඇත.

ඒ අනුව මෙරට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 11699ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතර කාන්තා සහ පිරිමි ආසාදිතයින් 66 බැගින් වෙයි.

මේ මරණ අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් 3කි.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 28 කි.

ඉතිරි ආසාදිතයින් 101 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

c8103967 press release 938 page 001 725x1024

එජාපයෙන් නෙරපූ මන්ත්‍රීන් 21 වෙනුවට වෙනත් පිරිසක් නම් කිරීම වළක්වමින් වාරණ නියෝගයක්

එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රිවරුන් 21 දෙනෙකු වෙනුවට වෙනත් පිරිසක් නම් කිරීම වළක්වමින් කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ  අද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන අය වෙත වාරණ නියෝගයක් නිකුත් කළේ ය.

බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වසන්ත  ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනුකර තිබිණි.

පසුගිය මැතිවරණවලදී සමගි ජනබලවේගය පක්ෂයට සහය දැක් වූයේ යැයි, චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි තමන් ද පක්ෂයෙන් නෙරපා හැර ඇතත්, සාධරණ විනය පරීක්ෂණයකට හෝ මුහුණදීමට අවස්ථාවක් ලබා නොදී එලෙස පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම යුක්ති සහගත නොවන බව පෙන්වා දෙමින් ගොනුකර තිබූ පැමිණිල්ල සලකා බැලූ දිසා විනිසුරුවරයා ලබන 29 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි එම වාරණ නියෝග නිකුත් කළේ ය.

එදිනට අධිකරණය හමුවේ පෙනී සිට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබු එජාප නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ විනය කමිටුවේ ලේකම් අමිත ජයසේකර යන අය වෙත අතුරු තහනම් දැන්වීම් සහ නොතිසි යැවීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේ ය.

පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන , ජනාධිපති නීතිඥ පර්මාන් කාසීම් යන  පෙනී සියහ.

ජාත්‍යන්තරයට ගිය ලොහාන් ඉල්ලා අස්වෙයි !

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරය ඉසිලූ ලොහාන් රත්වත්තේ එම ධූරයෙන් අස්වී ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදී ඇත.

මෑතකදී බන්ධනාගාරවලට ඇතුළු වී කරන ලද නීති විරෝධී , අපකීර්තිමත් කටයුතු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මත ඔහු මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇති බව පෙන්නුම් කරයි.

කෙසේ වුවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වුවත් ලොහාන් රත්වත්තේ දරණ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ධුරයේ තව දුරටත් කටයුතු කරනු ඇති බවයි.

ලැබෙන ආරංචි මාර්ග සත්‍යයක් නම් එයින් පෙන්නුම් කරන්නේ ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සිදුකළ සිදුවීම් වල බරපතළ කම ගැන අති තක්සේරුවයි.

ලොහාන් ජාත්‍යන්තරයට !

කෙසේ වුවත් ඔහුගේ මේ පහන්කම් ගැන මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුව ඇත.

රජයේ අමාත්‍යවරයෙකු බන්ධනාගාරය තුලදී සිරකරුවන් දණ ගැසීම සිදුවීම හෙලා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය කියා සිටින්නේ ඒ අනුවය.

කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය තම ට්විටර් ජාලය පණිවිඩයක් තබමින් සඳහන් කරන්නේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් රජයේ යුතුකමක් බවයි.

අදාල සටහන පහත දැක්වෙයි.

hana

නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමද ?

කෙසේ වුවත් මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ , ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මෙකී සිදුවීම් වලට අදාළව නෛතික වරදක් සිදුකර ඇත්ද යන්න බව දේශපාලන විචාරකයන් පවසයි.

බන්ධනාගාර කටයුතු සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම නීතිය ක්‍රියාත්මක වීමක් නොවන බවත් නෛතික වරදක් නොමැති නම් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම තේරුමක් නැති දෙයක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

image c2e0ae661aimage e5f1de9d68

වී අලෙවි මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම  සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙි.

2019 වසරේදී නව රජය බලයට පත්වීමත් සමග වසර තුනක කාලයක් සඳහා මාන්නප්පෙරුම වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයට පත් කෙරිණි.

ඇමරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලබා ඇති ජටාල් මාන්නප්පෙරුම වසර 20කට අධික කාලයක් වී අලෙවි මණ්ඩලයේ සේවා අත්දැකීම් සහිත ඉංජිනේරුවරයෙකි.

ඉල්ලා අස්වීමට හේතු මේ දක්වා හෙළිකර නැති අතර ආසන්න කාලය තුළ විවිධ ක්ෂේත්‍රවල වගකීම් දැරූ සහ ස්වේච්ඡාවෙන් සේවය කළ විද්වතුන් සහ වෘත්තිකයන් විශාල පිරිසක් එම තනතුරුවලින් ඉවත්වී ගියහ.

යට ඇඳුම් නැතුව සිටීමේ හොඳ දිලුම් කියයි !

යට ඇඳුම් ආනයනය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ සිදුකළ අදහස් දැක්වීමක් ආණ්ඩු හිතවාදී ලීඩ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඊට අනුව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම පවසන්නේ යට ඇඳුම ආනයනය කරනවාට වඩා ඇඳුම් නැතිව සිටීම හොඳ බවය.

පිටරටින් ගෙන්වන යට ඇඳුම් නැති වූවා කියා කිසිවෙකු මිය යන්නේ නැති බවත් මෙපමණ කාලයක් යට ඇඳුම පවා ආනයනය කිරීම ගැන සියලු දෙනාම ලැජ්ජා විය යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර ඇත.

නමුත් කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් මිය යන බවද අමාත්‍යවරයා පෙන්වාදී ඇති බවත් එම පුවතේ සඳහන් ය.

සඳුදා සිට රට විවෘත කරයි - සුදර්ශනී

ලබන සඳුදායින් පසු රට තවදුරටත් වසා තබනු ඇතැයි, තමා විශ්වාස නොකරන බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

ඒ අනුව සඳුදා සිට රට ක්‍රමානුකූලව විවෘත කිරීමට රජය කටයුතු කරනු ඇති බවත් ඇය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ , වාර්තාවන රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවන්හි අඩුවක් ද දක්නට ඇති බවත් සති 4ක කාලයක් රට වසා තැබීම ප්‍රමාණවත් බවත් ය.

ඒ අනුව එන්නත්කරණය සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රට ක්‍රමානුකුලව විවෘත කිරීමට රජය කටයුතු කරනු ඇතැයි, ඇය සඳහන් කරයි.

කබ්‍රාල් ගැන හඳුන්නෙත්තිගෙන් අනාවැකියක් !

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස හිටපු රාජ්‍ය මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් පත්කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විරෝධය පලකරයි .

අද (14) එම පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව අදහස් දැක්වු අතර ඒ, එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය සභික , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසිනි.

"සාමාන්‍ය ජනාවට හිමි අර්ථසාධක අරමුදලේ කෝටි ගාණක පාඩු සිද්ධ කිරීමට වගකිව යුත්තේ මේ කබ්‍රාල් මහ බැංකු අධිපතිවරයායි. නැවතත් මේ අධිපතිවරයාගේ පළමු කටයුත්ත හැටියට අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපොළට දාලා මංකොල්ලකෑම ආරම්භ කරයි කියලා අපි අනුමාන කරනවා. "

"කබ්‍රාල් රාජ්‍ය මුදල් ඇමති විදිහට දක්වපු කුශලතාවය, හැකියාව සහ පලපුරුද්ද මොකක්ද? (කඩා වැටෙන ආර්ථිකය ගොඩනගන්න.) මෙයට කලින් අජිත් නිවාඞ් කබ්රාල් 2006 ජූනි මාසයේ ඉඳලා 2015 ජනවාරි දක්වා මහ බැංකු අධිපති හැටියට කටයුතු කළා. මේ කාලය තුළ ඔහුගේ දක්‍ෂතාවය බැඳුම්කර ක්‍රියාවලිය සම්බන්ධ වෝහාරික වාර්තාවෙන් හෙළි වෙනවා"යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති එහිදී පැවසීය.

මේ එහිදී වැඩිදුරටත් හිටපු මන්ත්‍රීවරයා දැක්වූ අදහස් ය.

ලබැඳියාවන්ගේ ගැටුමක් !

ශ්‍රී ලංකා මහබැංකුව අපේ රටේ තිබෙන ස්වධීන ආයතනයක්. රටේ ආර්ථිකයට අදාළ මූල්‍ය ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑම සහ විනිමය අනුපාත, පොලී අනුපාත ගැන ස්වාධීනව තින්දු ගන්නවා. මහ බැංකුව භාරව ඇමතිවරයෙක් හිටියත් එහි කටයුතු සිද්ධ වෙන්නේ මහ බැංකුවේ පාලකවරයා හැටියට කටයුතු කරන මුදල් මණ්ඩලයෙන්. මුදල් මණ්ඩලය තුළ මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම්, වෘත්තීයමයභාවයකින් දායක වෙනවා. නමුත් දැන් සිදුවී තිබෙන්නේ එයට මුදල් රාජ්‍ය ඇමතිවරයා පත් කිරීමයි. උදේ මුදල් රාජ්‍ය ඇමති හවස මහ බැංකු අධිපති හැටියට පත්කරනවා. ලබැඳියාවන්ගේ ගැටුමක් බරපතළ විදිහට හැදෙනවා.

මුදල් ඇමතිවරයා විදිහට තීන්දු ගන්න සම්බන්ධ වුණු අයම මහ බැංකු අධිපති ලෙස පත්වීම කොතරම් දුරට සදාචාරමය, ආර්ථිකමය සහ ජාත්‍යන්තරයේ කොතරම් හෑල්ලු වෙනවාද කියලා බරපත, විදිහට සලකා බලන්න වෙනවා. ශ්‍රී ලංකාවේ මහ බැංකුව ගැන වැඩිපුරම සාකච්ඡාවට ලක්වුණේ මහබැංකු බැඳුම්කර වංචාවක් සමග කළු චිත්‍රයක් ඇතිවීමෙනුයි. ගෝඨාභය රාජපක්‍ෂ බලයට එන්නේම මහබැංකු බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවාය කියන පදනමෙන්. රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන පාලනය තුළ මහ බැංකු වංචාව සිදුවුණේ ලබැඳියාවන්ගේ ගැටුමකින්.

මහ බැංකු අධිපති වෙන්න නොසුදුසු ලක්ෂණ ,!

අර්ජුන මහේන්ද්‍රන්. අර්ජුන් ඇලෝසියස් ඥාති සම්බන්ධතාවය නිසා මහ බැංකු බැඳුම්කර පිළිබඳව තොරතුරු වෙන්දේසියේදී සැපයූවාය කියන පදනම තියෙනවා. ආණ්ඩුවේ මුදල් රාජ්‍ය ඇමතිවරයා එකම දිනයකදී මහ බැංකු අධිපතිවරයා හැටියට පත්කිරීම මොනතරම් ලබැඳියාවන් අතර ගැටුමක් ඇති කරනවාද? මහ බැංකු අධිපතිවරයෙකු ලෙස පත් කිරීමට නුසුදුසු අය මුදල් පනතේ දක්වා තිබෙනවා.

එහි 11වැනි වගන්තියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන පුද්ගලයෙක් එයට නුසුදුසු වෙනවා වගේම මහජන මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරියෙක් හා සමාන පුද්ගලයෙක් ලෙස කටයුතු කරන අයත් නුසුදුසුයි.

බැංකු ආයතනයක අධ්‍යක්‍ෂවරුන් සහ අඩුම තරමේ සේවකයෙක් හෝ නුසුදුසු බව දක්වා තිබෙනවා. කෙනෙකුට තර්ක කරන්න පුළුවනි, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් උදේ ඉල්ලා අස්වී සවස අධිපති ධූරයට පත්වුණා කියලා. නමුත් මහ බැංකුවේම චර්යාධර්මවල අධිපති ධුරය දරපු කෙනෙක් ඉවත් වී අවුරුද්දක් යන තුරු ඒ හා සමාන මූල්‍ය ආයතනයක තනතුරක් දරන්න නුසුදුසු බව කියා තිබෙනවා.

මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් !

මේකට හේතුව ලබැඳියාවන්ගේ ගැටුම නිසා මහ බැංකුවේ ස්වාධීනත්වයට බාධා වීමේ හැකියාවයි. ඉතා පැහැදිලිවම නීතිය ඉදිරියේ මොන ආකාරයකට තර්ක කළත් උදේ මුදල් රාජ්‍ය ඇමතිවරයා සවස මහ බැංකු අධිපති කිරීමෙන් ස්වාධීනත්වය බරපතළ ලෙස ප්‍රශ්න කෙරෙනවා. කබ්රාල් පත්කරන්නේ එයාගේ තිබෙන අත්දැකීම්, දැනුම හා පලපුරුද්ද උපයෝගී කරගෙන ආර්ථිකය කඩා වැටීම නවත්වන්න බව කියනවා. විදේශ විනිමය අර්බුදය විසඳන්න කියල තියෙනවා.

කබ්‍රාල්ගේ හැකියාව වෝහාරික විගණන වාර්තාවේ !

රාජ්‍ය මුදල් ඇමති විදිහට දක්වපු කුශලතාවය, හැකියාව සහ පලපුරුද්ද මොකක්ද? (කඩා වැටෙන ආර්ථිකය ගොඩනගන්න.) මෙයට කලින් අජිත් නිවාඞ් කබ්රාල් 2006 ජූනි මාසයේ ඉඳලා 2015 ජනවාරි දක්වා මහ බැංකු අධිපති හැටියට කටයුතු කළා. මේ කාලය තුළ ඔහුගේ දක්‍ෂතාවය බැඳුම්කර ක්‍රියාවලිය සම්බන්ධ වෝහාරික වාර්තාවෙන් හෙළි වෙනවා. ජනාධිපති කොමිසමකින් නිර්දේශ කළ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත විගණන සමාගමකින් සකස් කළ වාර්තාවක්. 2020 පෙබරවාරි 18-19 දවස් දෙකේදී මේ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් කළා. එය කල්දාන්න හෝ විවාදයට නොගෙන ඉන්න මේ ආණ්ඩුවේ අද ඉන්න ඇමතිවරු විශාල උත්සාහයක් දැරුවා.

අජිත් නිවාඞ් කබ්රාල් බැඳුම්කර වංචාවන්ට තිබුණු සම්බන්ධතාවය වහන්න ඒ උත්සාහය ආණ්ඩුවේ ඇමතිවරුන් සිදුකළා. අර්ජුන මහේන්ද්‍රන්, ඇලෝෂියස් කණ්ඩායමත් ආරක්‍ෂා කරගත්තේ බැඳුම්කර වංචාවට මේ දෙගොල්ලම සම්බන්ධ නිසා. අධිපතිවරයා හැටියට පත්වීම් ලබන අජිත් නිවාඞ් කබ්රාල් වංචනික කුප්‍රකට ඉතිහාසයක් තිබෙන කෙනෙක් මිස ආර්ථිකය ගොඩදාන්න හැකි කෙනෙක් ලෙස අපි දකින්නේ නැහැ. වෝහාරික වාර්තාවෙන් හෙළිකර තිබෙනවා, අර්ථසාධක අරමුදලට පමණක් බැඳුම්කර වංචාව නිසා මිලියන 9074ක් පාඩුකර තිබෙන බව.

අනාවැකියක් !

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අපි පැහැදිලිව කරුණු ඉදිරිපත් කළා. 2013.06.05 ඔහු ආයෝජන කමිටුවට නියෝග කර තිබෙන්නේ අර්ථසාධක අරමුදලෙන් සෘජුව මහබැංකුවට මුදල් සපයනවා වෙනුවට ද්විතියික වෙළඳපොළෙන් තරගකරුවෙක් ලෙස බැඳුම්කර ගන්න කියලා. මේ නිසා සාමාන්‍ය ජනාවට හිමි අර්ථසාධක අරමුදලේ කෝටි ගාණක පාඩු සිද්ධ කිරීමට වගකිව යුත්තේ මේ අධිපතිවරයායි. නැවතත් මේ අධිපතිවරයාගේ පළමු කටයුත්ත හැටියට අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපොළට දාලා මංකොල්ලකෑම ආරම්භ කරයි කියලා අපි අනුමාන කරනවා.

අධිකරණයට ගෙනියන්න ඕන !

මේ රටේ වැඩකරන ජනතාවගේ අරමුදලට සිදුකර තිබෙන පාඩුව මොන තරම්ද කියලා මේ වාර්තාවේ දැක්වෙනවා. අනෙක් පැත්තෙන් රජයට මේ වංචාවලින් බිලියන 10.74ක් පාඩු කර තිබෙනවා. අජිත් නිවාඞ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපතිවරයා හැටියට කෝටි 2,000ක පාඩු සිද්ධ කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්, අජිත් නිවාඞ් කබ්රාල් වැනි සියලු දෙනා අධිකරණයට කැඳවන්න කියලා අපි විශාල උද්ඝෝෂණයක් ගෙනගියා.

නමුත් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සියලු දෙනාට දඬුවම් දෙනවා වෙනුවට කබ්රාල් මහත්තයා නැවත මහ බැංකු අධිපති පුටුවේ වාඩි කරවා තිබෙනවා. ඔහුගේ ඥාති සහෝදරිය, ශිරෝමි වික්‍රමසිංහ, අර්ජුන් ඇලෝෂියස්ගේ සමාගමේ අධ්‍යක්‍ෂවරිය හැටියට කටුයුතු කළා. මේ ආදී වශයෙන් ලැයිස්තුවක්ම වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ ජනතාවට වුණූ පොරොන්දුව මේකද? ඥාති මිත්‍ර සංග්‍රහ නැතිව විද්‍යාත්මක පදනමක් මත තනතුරු ලබාදෙන බව කියූ අය ක්‍රියා කරන හොඳම උදාහරණය ලෙස අජිත් නිවාඞ් කබ්රාල්ගේ පත්වීම එකතු වී තිබෙනවා. නෙළුම් මාවතේ පොදුජන පෙරමුණේ කටයුතු කරලා මහ බැංකු අධිපති පුටුවේ වාඩිවීම මහ බැංකුව දේශපාලන අණ්ඩක් බවට පත්කර ගැනීමක්. මේක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අර්ජුන් මහේන්ද්‍රන්ව දාලා මහබැංකුව මංකොල්ලකෑවට වඩා අමුතු දෙයක් නෙවෙයි. 2006-2015 දක්වා සිදුවුනු ආකාරයට වඩා වැඩි ආකාරයකට 2015 ඉඳල අර්ජුන් මහේන්ද්‍රන්ලා සිදුකළා. එයම නැවත වටයකින් ආරම්භ කෙරෙනවා.

රට බංකොලොත් වෙමින් !

මෙය සිදු කෙරෙන්නේ රටේ දැවැන්ත මූල්‍ය අර්බුදයක්, ඩොලර් හිඟයක් සහ බරපතල ආර්ථික කඩාවැටීමක් තිබෙන පසුබිමකයි.

රට බංකොලොත් වෙමින් යන වෙලාවක ආණ්ඩුව මූල්‍ය ක්‍ෂේත්‍රයත් සමග සෙල්ලම් කරන්න පටන් ගෙන තිබෙනවා. මෙය රටට සිදුකරන ඉතා බරපතළ අපරාධයක්. ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව, හෙජිං ගනුදෙනුව වගේ අදටත් රට වන්දි ගෙවන ඉතිහාසයකට වගකිව යුතු පුද්ගලයින් අධිකරණයට ගෙනයනවා වෙනුවට නැවත මහ බැංකුවට පත්කෙරෙනවා. වෝහාරික විගණනයේදී සාක්‍ෂි දුන් නිලධාරීන් අදත් මහ බැංකුවේ කටයුතු කරනවා. අධිපති ධුරයට මේ පුද්ගලයා පත්වුණාට පස්සේ ඒ නිලධාරීන්ට ඇතිවන තත්වය මොකක්ද? ඒ වගේම රටේ මූල්‍ය ක්‍ෂේත්‍රයට ඇතිවන ප්‍රශ්න මොනවාද? මේ නිසා මහ බැංකු අධිපති හැටියට අජිත් නිවාඞ් කබ්රාල් පත්කිරීම රටේ ආර්ථීකය තව දුරටත් බංකොලොත් කරන ක්‍රියාමාර්ගයක්. ඩබ්.ඩී ලක්‍ෂ්මන් මහාචාර්යවරයා අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයයේදී තමාට සිත් රිදවීමක් ඇති බව කීවා. අජිත් නිවාඞ් කබ්රාල් කියන්නේ සිත් රිදවීම් සාමාන්‍ය දෙයක් බවයි. එහෙම නම් ඉදිරියේදී හිත් වේදනාවට පත්වුණු නිලධාරීන් ඉල්ලා අසවීම සාමාන්‍ය දෙයක් බව කියාවි. ආරථිකය කඩා වැටීමත් සාමාන්‍ය දෙයක් බව කියාවි. බැඳුම්කර වංචාව වුණත් සාමාන්‍ය දෙයක් බව කියයි. මේ වගේ හැම දෙයක්ම සාමාන්‍ය දේවල් හැටියට හඳුන්වා දේවි. අපේ රටේ ඇතිවී තිබෙන අර්බුද පැලැස්තර දාලා විසඳන්න පුළුවන් දේවල් නෙවෙයි. පෝට් සිටි පනත සම්මත කර ගැනීම කළු සල්ලි සුදුකර ගැනීම, වගේ දේවල් සාධාරණීකරණය කරන්න ආණ්ඩුව බොහෝ දේවල් කීවා. නමුත් ඒ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.

ආර්ථිකයේ වගේම දේශපාලනයෙත් ප්‍රතිපත්තිමය වෙනසක් !

අපි ජනතාවට අවධාරණය කරන්නේ ආර්ථිකයේ වගේම දේශපාලනයෙත් ප්‍රතිපත්තිමය වෙනසක් සිදුකළ යුතු බවයි. එසේ නොකර ආර්ථිකය හදන්න බැහැ. පුටු මාරු කලා ඔළුගෙඩි මාරු කරලා පැලැස්තරවලින් අර්බුද විසඳන්න බැහැ. මේ වගේ අමනෝඥ තීන්දුවලින් රට හදන්න බැහැ. ඒ නිසා ආර්ථික සහ දේශපාලන වෙනසක් සිදුකිරීම වෙුනවෙන් ජනතාව සංවිධානය වෙලා එකතු වෙන්න ඕනෑ. මේ යන්නෙ අපේ රට විනාශ කිරීමේ ක්‍රියාවලියයි. ඒ සඳහා තමන්ගේ ගජ මිත්‍රයන් අදාළ තැන්වල වාඩි කරගැනීමයි. ඒ නිසා ආර්ථික වගේම දේශපාලන වෙනසක් සඳහා ජනතාව වෙනස් වෙමු කියලා අපි ආරාධනා කරනවා.

කොරෝනා මරණ 11567 ක් දක්වා ඉහළට !

තවත් කොරෝනා මරණ 136ක් ඊයේ (13) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය අද (14) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කර ඇත.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 11567ක් දක්වා ඉහළ ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 76 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 60 දෙනා කාන්තාවන් ය.

වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට ආසාදිතයින් 2කි.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 28 ක්, ඇත.

මියගිය ඉතිරි ආසාදිතයින් 106 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

Page 438 of 473