තිරිඟු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් විශේෂ විමර්ශන හා වැටලීම් අරඹා තිබේ.
තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල ඉහළ නංවා ඇති බවට මාධ්ය මගින් වාර්තා වී තිබුණද, එවැනි මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් අදාළ නිෂ්පාදක සමාගම් විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ පූර්ව සාකච්ඡාවක් පවත්වා හෝ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු කර නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසයි.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 18 වන වගන්තිය යටතේ තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කර ඇති අතර, එවැනි භාණ්ඩයක මිල ඉහළ දැමීමේදී අධිකාරියේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගැනීම අවශ්ය වේ. තිරිඟු පිටි මිල ඉහළ දැමීමට හේතු සහ අදාළ මිල සංශෝධනය පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස නිෂ්පාදක සමාගම් වෙත මේ වන විටත් දැනුම් දී ඇතැයි එම අධිකාරිය සඳහන් කරයි.
එමෙන්ම තිරිඟු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා වෙළෙඳපොළ පරීක්ෂා කිරීම් හා වැටලීම් ආරම්භ කර ඇත.
අදාළ නීති උල්ලංඝනය කරමින් තිරිඟු පිටි අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව මෙන්ම, විමර්ශනවලදී නීති උල්ලංඝනය කිරීම් අනාවරණය වන නිෂ්පාදක හා බෙදාහැරීමේ ආයතනවලට එරෙහිවද නීතිමය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.
නිෂ්පාදක සමාගම් විසින් ලබා දෙන පැහැදිලි කිරීම් සහ විමර්ශනවලින් අනාවරණය වන කරුණු සලකා බලා අවශ්ය ඉදිරි ක්රියාමාර්ග තීරණය කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
