Image

ක්‍රිෂ් ගනුදෙනුවේ විමර්ශනවලට ඕනෑම මොහොතක සහාය දෙනවා - ව්‍යාපාරිකයෙකු අධිකරණයට කියයි

ක්‍රිෂ් ගනුදෙනුවේ විමර්ශනවලට ඕනෑම මොහොතක සහාය දෙනවා - ව්‍යාපාරිකයෙකු අධිකරණයට කියයි

කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රය බදු දීමේ ක්‍රිෂ් ගනුදෙනුවේදී සිදු වූවා යැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන විමර්ශන සඳහා ඕනෑම අවස්ථාවක සහාය ලබාදීමට සූදානම් බව අදාළ මුදල් හුවමාරු කළ බැංකු ගිණුමක හිමිකාර ව්‍යාපාරිකයෙකු අද (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා සතුව තිබි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති තම ලැප්ටොප්, ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ නැවත ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සිය නීතිඥවරයා මාර්ගයෙන් ව්‍යාපාරිකයා මෙම කරුණු ඉදිරිපත් කර සිටියේය.

එහිදී ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය මාරඹේ (නීතිඥ පසන් කරුණාරත්න සහ නීතිඥ මනුජය ද සිල්වා සමඟ) අධිකරණයට පෙන්වා දුන්නේ නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් සාක්ෂිවලින් පසුව තම සේවාදායකයා අවස්ථා තුනකදී පොලිසියට ප්‍රකාශ ලබා දී ඇති බවයි. තම සේවාදායකයාගේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට මෙම විද්‍යුත් උපකරණ අත්‍යවශ්‍ය බැවින් ඒවා මුදාහරින ලෙසද නීතිඥවරයා ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ අත්අඩංගුවට ගත් විද්‍යුත් උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බැවින් අදාළ උපකරණ මුදාහැරීම සම්බන්ධයෙන් තීරණය රජයේ රස පරීක්ෂක වාර්තා ලැබීමෙන් පසුව දැනුම් දෙන බවය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, නීතිපති උපදෙස් මත අදාළ උපකරණ මුදාහැරීමට කටයුතු කරන ලෙසත්, විමර්ශනවල ප්‍රගතිය ලබන ජනවාරි 07 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කළේය.

ක්‍රිෂ් ගනුදෙනුවේදී ජර්මන් බැංකුවකින් යුරෝ 1,200,000ක් සහ ඕස්ට්‍රේලියානු බැංකුවකින් යුරෝ 1,497,446 ක් මෙරට බැංකු ගිණුම් වෙත සම්ප්‍රේෂණය වී ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි වාර්තා විශ්ලේෂණයේදී අනාවරණය වීම අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

අදාළ ගනුදෙනුවේදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට සහ නුවර එළිය දිස්ත්‍රික්කවල රෝහල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මුදල් හුවමාරු වී ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර, හුවමාරු වූ මුදල් වලින් රුපියල් මිලියන 188ක් යොදවා මෙරට දේපළක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන බවද රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරු අධි චෝදනා ලබා ඇති ක්‍රිෂ් ගනුදෙනුවේදී තවත් මුදල් වංචා සිදු වී ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි වාර්තා විශ්ලේෂණයේදී අනාවරණය වන බැවින්, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න