ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්රයේ පුරෝගාමී විද්වතෙකු, ප්‍රකට විචාරකයෙකු, කවියෙකු වූ මහාචාර්ය විමල් දිසානායක 86 වන වියේදී ඇමරිකා එක්සත් ජනපදයේදී අභාවප්‍රාප්ත වී තිබේ.
මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ජන සන්නිවේදන විෂයය ශාස්ත්‍රීය විෂය ක්ෂේත්රයක් ලෙස ස්ථාපිත කිරීමේ ලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ විද්වතෙකු ලෙස ඔහු හැඳින්වේ. විශේෂයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශය ආරම්භ කිරීම සහ එහි ශාස්ත්‍රීය පදනම ගොඩනැගීම සඳහා ඔහු සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබාගත් මහාචාර්ය විමල් දිසානායක, එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් අතර, පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු නිම කරමින් ආසියානු සන්නිවේදනය, ආසියානු සිනමාව යන අධ්‍යයන ක්ෂේත්රයේ ප්‍රමුඛතම විද්වතෙකු ලෙස කීර්තියට පත් විය.
ඔහු වසර ගණනාවක් හවායි හි ‘ඊස්ට්-වෙස්ට් සෙන්ටර්’ (East-West Center) හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙසත්, එහි සිනමා වැඩසටහනේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළේය. එසේම හොංකොං විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයා ලෙසද කටයුතු කර ඇත.
මහාචාර්ය විමල් දිසානායක ද්විභාෂා කවියෙකි වු අතර, ඔහු සිය මව්බස වන සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්ද කවි ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කාව්‍ය ග්‍රන්ථය සඳහා වන රාජ්‍ය සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීය. ඔහු 'Hawaii Review', 'Kaimaana', 'Bamboo Ridge', 'Cambridge Review' සහ 'Pawn' වැනි සඟරාවල ඉංග්‍රීසි කවි පළ කර ඇත.
ඔහුගේ ශාස්ත්‍රීය සේවය උදෙසා ඔහුට ගෞරව ආචාර්ය සම්මානයක් (D.Litt.) ද පිරිනමා ඇත. සිනමාව සහ සංස්කෘතික න්‍යාය පිළිබඳව ඔහු ලියූ පොත් විශාල සංඛ්‍යාවක් ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, ඩියුක්, මින්සෝටා, ඉන්දියානා, ඉලිනෝයි යන විශ්වවිද්‍යාලීය මුද්‍රණාල සහ රවුට්ලෙජ් (Routledge) හා පෙන්ගුයින් (Penguin) ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඔහුගේ ප්‍රකට කෘති අතර: ‘Ashes of Time’ (2003), ‘Sholay, A Cultural Reading’ (1992), ‘Self and Colonial Desire: Travel Writing of V.S. Naipal’ (1993), සහ ‘Raj Kapoor's Films: Harmony of Discourses’ (1988) ඇතුළත් වේ.
ඔහු හොංකොං විශ්වවිද්‍යාලයේ ගෞරවනීය මහාචාර්යවරයෙකු ලෙසත්, හවායි විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ අනුබද්ධ මහාචාර්යවරයෙකු (Affiliate Faculty) ලෙසත් කටයුතු කළේය. තවද, ඔහු යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ උපදේශකයෙකු ලෙසද කටයුතු කර ඇත.
මහාචාර්ය විමල් දිසානායකයන්ගේ අභාවය මෙරට මෙන්ම ජාත්‍යන්තර ශාස්ත්‍රීය අධ්‍යයන ක්ෂේත්රය තුළ පිරවිය නොහැකි හිස්තැනක් නිර්මාණය කරනු ඇත.
මූලාශ්‍ර - Janaka Inimankada
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
