අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

තීනියාවල පාලිත ස්වාමීන් වහන්සේ විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව 2021 දී ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද දින අගවිනිසුරු පද්මන් සූරසේන මහතා ඉදිරියේදී විභාග කරන ලද අතර, එම පෙත්සම ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවදුරටත් පවත්වාගෙන යෑමට අවසර නොදීම නිෂ්ප්‍රභා කරන ලදී.

තීනියාවල පාලිත හිමි විසින් මෙම පෙත්සම ගොනු කරන ලද්දේ 2014 වසරේදී රජයේ අණ පරිදි මහ බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ඉමාඩ් සුභේරි යන ඇමෙරිකානු ජාතික පුද්ගලයෙකුට අයත් ඇමරිකාවේ ප්‍රචාරක කටයුතුවල යෙදෙන සමාගමකට, ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා කරන ලද ගෙවීම නීති විරෝධී යයි චෝදනා කරමිනි. තවද, එම ගෙවීම සඳහා එවකට කටයුතු කළ මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වගකිව යුතු යැයිද, එම ගෙවීම හරහා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ යයිද පාලිත හිමි චෝදනා කරන ලදී.

අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම නඩු කටයුත්ත විභාග කරන ලද අවස්ථාවේදී, අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් පවසා සිටියේ මෙම කරුණ පිළිබඳව දැනටමත් මහේස්ත්‍රාත් අධිකරණ දෙකකදීම නඩු විභාග කරන ලද අතර එම නඩු වලින් කබ්රාල් මහතා වැරදිකරුවෙක් නොවෙන බවට දැනටමත් සනාථ වී තිබුණු බවයි. තවද, එම නඩුවල තීන්දුවලට විරුද්ධව මහාධිකරණයේ ගොනු කරන ලද ඇපෑලයේ තීන්දුවද, මහේස්ත්‍රාත් තුමාගේ තීන්දුව තවදුරටත් තහවුරු කොට ඇති බවයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කරන ලද මෙම චෝදනාව පදනම් රහිත එකක් බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එපමණක් නොව මෙම කාරණා පිළිබඳවම, කබ්රාල් මහතාට විරුද්ධව අභියාචනාධිකරණයේදීත් වෙනත් පුද්ගලයෙකු විසින් නඩුවක් ගොනු කරන ලද අතර, එම නඩුවෙන්ද කබ්රාල් මහතා වැරදිකරුවෙක් නොවෙන බවට සනාථ වී තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අද දින විභාග වූ නඩුවේදී, නීතිපති දෙපාර්තමේන්තුවෙන් ද කරුණු ඉදිරිපත් කරන ලද අතර තීනියාවල පාලිත හිමිගේ නීතිඥ වන ජනාධිපති නීතිඥ ෆර්මාන් කසීම් මහතාගේ කනිෂ්ඨ නීතීඥ විසින්ද කරුණු ඉදිරිපත් කරන ලදී.

මෙම කරුණු සියල්ලම සලකා බැලීමෙන් පසුව අගවිනිසුරු පද්මන් සූරසේන මහතා ද, විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ද, විනිසුරු සම්පත් විජේරත්න මහතා ද ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් මෙම නඩු කටයුත්ත තවදුරටත් පවත්වගෙන යෑමට අවසර නොදීම, නඩුව අවසන් කරන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න