ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවැසීය.
සභාපතිවරයා මේ බව අවධාරණය කර සිටියේ ඒ පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අද (17) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත අනුව ඖෂධ සඳහා වන මිල නියාමනය කිරීමේ බලය එම අධිකාරිය සතුව පවතින බවත්, එම නියාමන කටයුතු 2016 වසරේ සිට සිදුකළ නමුත් 2023 වසරේ ඖෂධ ගෙන්වීමේ සමාගම් එකතුවකින් පවරන ලද නඩුවකට අධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් 2023 වර්ෂයේ දෙසැම්බර් මස සිට මිල නියාමන කටයුතු නැවැත්වීමට සිදු වු බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මෙහි දී පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ අතර පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමත කරගත් බවත්, ඉන්පසු මිල ප්‍රකාශයට පත්කල බව ද අවධාරණය කල සභාපතිවරයා මේ පිළිබදව සැපයුම්කරුවන්ට, ආනයනකරුවන්ට,නිෂ්පාදකයින්ට දැනුම් දීම් සිදුකර තිබෙන බව ද ඔහු පැවසීය.
මෙම මිල අඩුකිරීම මගින් ජනතාවට සාධාරණ මෙන්ම නියමිත මිලකට ඖෂධ ලබා ගැනීමේ අවස්ථාව උදාවන බවත්, මින්පසු වැඩි මිලට ඖෂධ විකුණන ආයතන පිළිබව දැනුවත් කිරීමට පියවර ගන්නා මෙන් ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් මේ පිළිබදව ජනතාව දැනුවත් කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන්ම සැකසූ විශේෂ APP එකක් කඩිනමින් ජනගත කිරීමට කටයුතුකරන බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මෙහි දී පැවසීය.
( lankadeepa - අංජුල මහික වීරරත්න)

