දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද උදෑසන මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ තරුෂි චමෝදි නමැති 19 හැවිරිදි දඹුල්ල ජාතික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක බව වාර්තා වේ.
දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙම දියණිය 09 දින පස්වරුවේ තම අධ්‍යාපන කටයුතු කාමරයේ සිදුකරමින් සිටියදී රාත්‍රී නිදා ගෙන උදෑසන අවදි නොවීම නිසා දෙමව්පියන් සොයා බැලීමේදී ඇය සිහිසුන්ව සිටි නිසා වහාම ඇයව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලට රැගෙන විත් තිබේ.
බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කර බැලීමේදී ඇය ඒ වන විටත් මියගොස් ඇති බව සනාථ කරගෙන ඇතැයි වාර්තා වේ.
සිද්ධිය වාර්තා වීමත් සමඟ මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර ඇතුළු පොලිස් කණ්ඩායමක් සිසුවියගේ නිවසට ගොස් ඇය පාඩම් කටයුතු කළ කාමරය පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන අතර සිසුවියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.
සිසුවියගේ පියා විශ්‍රාමික නාවික හමුදා සෙබළෙකු වේ. ඇයට බාල නැගණියක්ද නිවසේ සිට ඇත.
ඇය අධ්‍යාපනය සඳහා විශාල උනන්දුවක් දැක්වූ සිසුවියක් වන අතර ඇයගේ මුළු කාමරය පුරාම අධ්‍යාපනික අවශ්‍යතාවයන් පිළිබඳව සටහන් රැසක් අලවා තිබී ඇත.
එමෙන්ම ඇයගේ බලාපොරොත්තුව දිස්ත්‍රික් පළමු ස්ථානය ගැනීම බවටද ඇය බිත්තියේ සඳහන් කර තිබීම විශේෂත්වයකි.
මියගිය පාසල් සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල මූලික රෝහලේ දී අද දින පැවැත්වීමට නියමිතය.
මේ පිලිබදව වැඩිදුර විමර්ෂණ දඹුල්ල පොලිසිය විසින් පවත්වයි.

