පරිපූරක වෛද්‍ය සේවාවේ පුරප්පාඩු රැසක්; සේවා සහ ප්‍රතිකාරක සේවා කඩා වැටීමේ අවදානමක්

පරිපූරක වෛද්‍ය සේවාවේ පුරප්පාඩු රැසක්; සේවා සහ ප්‍රතිකාරක සේවා කඩා වැටීමේ අවදානමක්

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ,වෘත්තීය චිකිත්සක භෞතචිකිත්සක, ඖෂධවේදී, කථන චිකිත්සක, ශ්‍රවණවේදී වෘත්තීය කණ්ඩායම් හතෙහි සුවිශේෂී නිලධාරීන් හිඟයක් පැවතීම හේතුවෙන් දිවයින පුරා රෝහල්වල එම නිලධාරීන් විසින් සිදුකරනුු ලබන සේවාවන්හි අඩාල වීමක් මේ වන විට උද්ගතවී ඇත.


15% සිට 35% දක්වා බරපතළ සේවක හිඟයක්

සමස්තයක් ලෙස ගත් කල අනුමත සේවක සංඛ්‍යාවෙන් 15% සිට 35% දක්වා බරපතළ හිඟයක් පවතින අතර මෙම අනුමත සේවක සංඛ්‍යාව මීට වසර දහයකට පමණ පෙර අනුමත වූ අගයක් වන වර්තමාන රෝහල් පද්ධතියේ අවශ්‍යතාවය සැලකුවහොත් එම අගය කිහිපගුණයකින් වැඩිවනුු ඇත.

සේවක හිඟයට හේතු

අවස්ථා ගණනාවක දී ම මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ඇතත් මේ වනතෙක් මේ සම්බන්ධව සාධනීය මැදිහත්වීමක් සිදු නොකිරීම කණගාටුවට කරුණක් වී ඇත. විශේෂයෙන්ම පසුගිය කාලය පුරා සහ මේ වන විටත් මෙම සේවාවල නිරත වන නිලධාරීන් ඉතා සීඝ්‍ර අන්දමින් විදෙස්ගත වීම සහ සේවයෙන් ඉවත්වීම  හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත. එසේම දැනට උපාධිධාරීන්ගේ බඳවා ගැනීම් අඩාල වීම හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් බරපතළ වී ඇත.

සේවාවට නිලධාරීන් ආකර්ෂණය කර ගැනීම බරපතළ ගැටලුවක්

විශේෂයෙන්ම මෙම සේවය අතහැර යන හෝ විදෙස් ගතවන නිලධාරීන් සේවාව තුළ රඳවා ගැනීම සඳහා ඔවුන්ට සුදුසු සේවා තත්ත්වයක් නිර්මාණය කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වූවත් ඒ සඳහා කිසිදු විධිමත් වැඩ පිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන තෙක් ක්‍රියාත්මක කර නොමැත. 

 
විශේෂයෙන්ම වැටුප්,  දීමනා සහ සේවා තත්ත්වය පිළිබඳව බරපතළ ගැටලු පවතින මෙම සේවාවන් තුළ උපාධිධාරී නිලධාරීන්ට තවමත් ලබා දෙන්නේ ඩිප්ලෝමාධාරීන්ට ලබා දෙනු ලබන වැටුප් සහ දීමනාවන් වෙයි. මෙම තත්ත්වය හේතුවෙන් සේවාවට නිලධාරීන් ආකර්ෂණය කර ගැනීම බරපතළ ගැටලුවක් වී ඇත. වසර ගණනාවක් තිස්සේ ඇදී යන වැටුප් සහ දීමනා විෂමතාවය හේතුවෙන් සේවාවට නිලධාරීන් ආකර්ෂණය කර ගැනීමට අපහසුවීම සහ ඔවුන් රටවල් තුළ රඳවා ගැනීම බරපතළ ආකාරයේ ගැටලුවක් වනවා සේම මෙම තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියේ බරපතල කඩාවැටීමක් කෙමෙන් කෙමෙන් නිර්මාණය වෙමින් පවතී.
 

නවක නිලධාරීන් බඳවා ගැනීම නැවතිලා


මේ වන විට නැවතී ඇති නවක නිලධාරීන් බඳවා ගැනීම් කටයුත්ත කඩිනම් කළ යුතු අතර ම දැනට සේවාවේ රැඳී සිටින නිලධාරීන් තවදුරටත් සේවාව තුළ රදවා ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන්ට මේ වන විටත් දැනුම් දී ඇත. 
 
රජයේ දෙවන අයවැය ප්‍රකාශනය මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත වන අතර පරිපූරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරීන්ගේ මෙම ගැටලූ විසඳීමට යම් මැදිහත්වීමක් එමගින් යෝජනා කරනු ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය බලාපොරොත්තු වෙයි.
 
 

(චානක ධර්මවික්‍රම)
 ප්‍රධාන ලේකම්
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න