ආණ්ඩුවට එරෙහිව ලබන නොවැම්බර් මස 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට විරෝධතා වැඩසටහනට සහභාගි වනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
නමුත් පෙරේදා දින පැවැති සජබ මාධ්‍ය හමුවේදී එස්.එම්. මරික්කාර් අවධාරණය කොට සිටියේ එම රැලියට සජබය සහභාගී නොවන බවකි.
''මහජන හඬ'' නමින් පැවැත්වීමට නියමිත එම විරෝධතා රැළිය සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් එක්ව සිටින බව ඊයේ (27) කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ නියෝජිතයන් කියා සිටියේය.
පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහින්ද අමරවීර, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ද මෙහිදී අදහස් දැක්වීය.
එක්සත් මහජන පක්ෂය නියෝජනය කරමින් එහි ලේකම් ටිරාන් අලස්, ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් එහි නායක අසංක නවරත්න, නව ජනතා පක්ෂය නියෝජනය කරමින් එහි නායක සුගීෂ්වර බණ්ඩාර යන අය ද, පක්ෂ නියෝජිතයන් ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, හිටපු අමාත්‍ය සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මොහොමඩ් මුසාමිල්, අජිත් රාජපක්ෂ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, යන අය ඇතුළු පිරිසක්ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
මේ, එහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල,
මේ අතර, විපක්ෂයේ ඇතැමුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වීම බොරු ආණ්ඩු විරෝධයක් මතු කිරීමට හේතු වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
විපක්ෂයේ කුමන කණ්ඩායම් එක් වුවද ඔවුන්ගේ අරමුණු පිළිබඳවද මහජනතාවට අවබෝධයක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
රට විවිධ අභියෝගයන්ට මුහුණ දුන් අවස්ථාවල එක් නොවූ කණ්ඩායම් පවා මේ වන විට එක්ව සිටීමෙන් ඔවුන්ගේ අරමුණු පැහැදිලි වන බවද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

