ජනාධිපති බර්ලින් ග්ලෝබල් සමුළුව අමතයි : බලවත් රටවලට හොඳට දෙසයි !

ජනාධිපති බර්ලින් ග්ලෝබල් සමුළුව අමතයි : බලවත් රටවලට හොඳට දෙසයි !

2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

එසේම, “එක් තීරයක් - එක් මාවතක්” වැඩසටහන ඒකාබද්ධ වැඩසටහනක් ලෙස , ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අවධානය යොමු කර තිබෙන අතර මෙය ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට පීඩාවක් එල්ල කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටවල්, ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවලින් එන පීඩනයන් සමඟ කටයුතු කිරීමට පුරුදු වී සිටින බවත් එය තවදුරටත් අලුත් දෙයක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වෙන “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය අද (28) සිදු කරමිනි.

එම දේශනයෙන් අනතුරුව පැවති ප්‍රධාන සංවාදයට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව සහ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය කෘතවේදීව සිහිපත් කරන බවයි.

වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන “බර්ලින් ග්ලෝබල්” සමුළුව අද ආරම්භ කෙරුණු අතර ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz), බෙල්ජියානු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩී ක්‍රෘ (Alexander de Croo), කසකස්ථාන් ජනාධිපති කැසෙම්-ජෝමාර්ට් ටෝකයෙව් (Kassym-Jomart Tokayev), යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් (Charles Michel) යන මහත්වරුන් ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින්, විදේශ අමාත්‍යවරුන් සහ ලොව පුරා සිටින ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍යකරණය පිළිබඳ විශේෂඥයින් සහභාගී වූහ. එමෙන්ම මෙම සංචාදය සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන් ද එක්ව සිටියහ.

ආර්ථික අර්බුදවලට මුහුණ දීමේ දී දියුණු රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ඇති අසමානතා ස්වෛරීත්ව ණය අර්බුදයට මූලික හේතුව බව මෙම සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් පැවසීය.

සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් මුහුණ දී ඇති සැලකිය යුතු ණය බර සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි දැනට පවතින යාන්ත්‍රණවල ඇති සීමාවන් සැලකිල්ලට ගෙන තවත් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද මීට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න