Language Switcher

V2025

මේ ඉල්ලං කන්න තියෙන ආසාවටම ලියන පෝස්ට් එකක් !

මේ ඉල්ලං කන්න තියෙන ආසාවටම ලියන පෝස්ට් එකක්. මේ ආසාව ආවෙ යොහානි කොතලාවල ඇකඩමියෙ උපාධිධාරිනයක් කියලා දාපු පෝස්ට් ට ප්‍රතිචාර දක්වපු උද්යෝගය නිසාමයි.

යොහානි කියන්නෙ මේ වෙලාවෙ ජාතිකවාදයට වැදුන මරු පහරක්. එහෙට මෙහෙට දඟර දදා මේක සතුටෙන් බාරගන්න එකපිරිසකුත් අඩුපාඩු කිය කියා වැඩේ පුංචි කරන්න තව පිරිසකුත් උත්සාහ කළාට මේ අන්තර්ජාතික පහර ටිකක් සැර එකක්.

යොහානි කියන්නෙ ලංකාවෙ පුද්ගලික විශ්ව විද්‍යාලයක නිර්මාණයක්. එයා විශ්ව විද්‍යාලෙ සංගීතය ඉගෙන ගත්තද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ඒ විශ්ව විද්‍යාලය හරහා එයාට ලැබිලා තියෙන ඇටිටියුඩ් එක. ලංකාවෙ දේශීය විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න ළමයෙක් තමන් තෝරගන්න සංගීතයට හෝ කැරියර් එකට මේ පොප් ගතිය, සරලබව, වර්සටිලිටි එක ගෙනෙයිද කියන එක ප්‍රශ්නයක්. ඒ අයව දේශීව විශ්ව විද්‍යාල විසින් සම්භාව්‍යකරණය කරනවා.

යොහානි සිංදු කියන්නෙ ජෙන්ඩර් ෆ්ලුයිඩ් හඬකින්. ඒ කියන්නෙ සාම්ප්‍රදායික ලිංගික ඔඩිටරි කලාපයෙන් පිට පිහිටීමක්. එයාගෙ ප්‍රසාංගික රූපය පවා කොල්ලෙක් වගේ කෙල්ලෙක්. එයා ජනප්‍රිය වෙන්නෙ ඉන්දියානු ආභාෂයක් සහ රැප් සංගීතයක් එක්ක. ඊට පස්සෙ අපේ කට්ටිය ඒකෙ සිංහල බෙර සද්ද අහුලන්න යන්නෙ වෙන වහගන්න තැනක් නැති කමට. දේශීය සංගීතයක් වෙනුවට යොහානි බටහිරට බර කලාපීය සංගීතයක් තෝරගන්නවා. එයාගෙ අයිඩෙන්ටිටිය සිංහල හෝ ශ්‍රීලාංකික එකක් නෙමෙයි.

ඔරිජිනල් වෙනුවට යොහානි ජනප්‍රිය වෙන්නෙ කොපියකින්. ඒක කොපියක් නෙමෙයි එකම සංගීත නිර්මාණකරුවාගේ තවත් වර්ෂන් එකක් කිව්වත් ඒක කවර් එකක් විදිහටයි ආවෙ. ඔරිජිනල් කියල දෙයක් නෑ කියන එක යොහානි මැද ඇඟිල්ල උස්සලා පෙන්නනවා. ඒ වගේම ගේයපදමය සහ සාහිත්‍යමය අර්ථවලින් දුර්වල සිංදුවක් තමයි ජාත්‍යන්තරයට යන්නෙ. ගීතයෙන් සාහිත්‍යහරණය කිරීමේ වටිනකම මැණිකෙ කියනවා.

මෑත කාලෙ ලංකාවෙන් ලෝකෙට කරපු එකම සහ හොඳම නිෂ්පාදනය වෙන්නෙ යොහානි. ඒ කියන්නෙ මේ කම්බිනේෂන් එක තමයි රටේ අනාගතය වෙන්නෙ.

චින්තන ධර්මදාසගේ ෆේස්බුක් ගිණුමෙනි