බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයත් ඉල්ලා අස්වෙන්න ඕන - උපුල් කුමාරප්පෙරුම

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයත් ඉල්ලා අස්වෙන්න ඕන - උපුල් කුමාරප්පෙරුම

ආන්දෝලනාත්මක බන්ධනාගාර සිදුවීමට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියද ඉල්ලා අස්විය යුතු බවත් රාජ්‍ය සේවකයකු ලෙස ඔහුගේ මූලික වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීම මිස අමාත්‍යවරයාව ආරක්ෂා කිරීම නොවන බවත් නීතිඥ උපුල් කුමාරප්පෙරුම පවසයි.

එසේම රාජ්‍ය සේවා කොමිසම විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

නීතිඥ උපුල් කුමාරප්පෙරුම මේ අදහස් දක්වා සිටියේ ජාතික ජනබලවේගය පක්ෂයේ නීතිඥන් විසින් අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

එහිදී ඔහු දැක්වූ අදහස් මෙසේය.

බන්ධනාගාර රැඳවියෙකුගේ ආරක්‍ෂාවට සම්බන්ධයෙන් රජය වගකිව යුතුය... නීතිඥ උපුල් කුමරප්පෙරුම

මෙතන නිශ්චිත කරුණු 2ක් තිබෙනවා. රාජ්‍ය ඇමතිවරයා අවසර නැති වෙලාවක බන්ධනාගාරයට යාම, සහ එහි නිලධාරීන්ගේ හැසිරීම වශයෙන්. අදාළ ඇමතිවරයාට බන්ධනාගාරයක් නිරීක්‍ෂණය කිරීමේ හැකියාව තිබෙනවා.

ගිනිඅවි ගෙනියන්න අවසර දුන්නේ කවුද ?

නමුත් ඔහු එහෙම ගිහින් හැසිරුණු ආකාරය වාර්තාවල සඳහන් වෙනවා. ඔහුගේ පුද්ගලික ගිනි අවිය බන්ධනාගාරය තුළට ගෙනගොස් තිබෙනවා. පසුගිය කාලයේ බන්ධනාගාරවල ආරක්‍ෂක විධිවිධාන තර කිරීමෙන් තම සේවාදායකයන් බලන්න යන නීතිඥවරුන්ගේ සපත්තු, බෙල්ට් පවා ගලවා ශරීර පරීක්‍ෂා කළා. පෑන් පවා පරීක්‍ෂා කළා. මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමයටත් මැදිහත් වෙන්න වුණා. මේ තරම් ආරක්‍ෂක විධිවිධාන ක්‍රියාත්මක වෙද්දී ගිනිඅවියක් රැගෙන යන්න අවසර කොහෙන්ද?

දණ්ඩ නිති සංග්‍රහය යටතේ වැරදි රාශියක් සිදුකරලා !

ඇමතිවරයාට බන්ධනාගාරය පරීක්‍ෂා කරන්න පුළුවන්. අවශ්‍ය නම් රැඳවියන් එක්ක කතා කරන්නත් පුළුවන්. අතීතයේ ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා බන්ධනාගාර පරීක්‍ෂා කරන්න ගිහින් ඔහුට බරපතළ තත්වයකට මුහුණ දෙන්න සිදුවුණා. මෙතැනදී බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් එළියට ගෙන පිස්තෝලයක් තබා තර්ජනය කිරීම ඇමතිවරයාගේ විෂය පථයට අදාළ වෙන්නේ නැහැ.

මෙතන අයුතු ඇතුල්වීම, සාපරාධී බලහත්කාරය, මරණීය තර්ජන එල්ල කිරීම, නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සහ නීතිවිරෝධී රැස්වීම යන දණ්ඩ නිති සංග්‍රහය යටතේ වැරදි රාශියක් සිදුකර තිබෙනවා.

සිරකරු අයිතීන් සම්බන්ධ ප්‍රඥප්තියේ විධිවිධාන උල්ලංඝනය කර තිබෙනවා. අධිකරණ නියෝගයකින් බන්ධනාගාර ගත කරන පුද්ගලයෙක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයෙක් හෝ වෙනත් විනිශ්චයකාරවරයෙක් නිශ්චිත උපදෙස් මාලාවක්, විධානයක් බන්ධනාගාර අධිකාරියට දෙනවා. මෙයට කියන්නේ අධිකරණ භාරය කියලා. ඔහුගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අධිකරණය, රජය වගකියන්න ඕනෑ.

සුළුපටු වරදක් නෙවෙයි !

මේ වින්දිතයන්ගේ ආරක්‍ෂාව ගැන විශ්වාසය සහ මූලික අයිතිවාසිකම් බිඳ වැටිලා තිබෙනවා. මෙය සුළුපටු වරදක් නෙවෙයි. ඇමතිවරයෙකුට ගිහින් පිස්තෝලය පෙන්වලා මිනිස්සුන් එළියට ඇදලා ගන්න පුළුවන් නම් මේක අප්‍රිකාවේ වගේ තත්වයක්. රුවන්ඩාව, සුඩානය වගේ අප්‍රිකානු රටක් නෙවෙයි මේක. ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්.

යුද හමුදා පාලනයක් තිබෙන රටක් නෙවෙයි මේක. ඒ නිසා මේක අප්‍රිකානු රටක් බවට පත්කරන්න එපා. බන්ධනාගාරයේ ඉන්න මනුස්සයෙකුට පවා අයිතිවාසිකම් තියෙනවා. මේවා බිඳ දාන්න එපා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ. මේ රටට සම්බාධක පැනවුවහොත් මේ ඉන්න එක පාලකයෙක්වත් එයින් පීඩා විඳින්නේ නැහැ. ආර්ථික හෝ වෙනත් ඕනෑම සම්බාධකයකින් පීඩාවට පත් වෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. මේ සියලු දෙනාටම ඒ ගොල්ලන්ගේ මව් රටවලට යන්න පුළුවන්. එහෙම යන්න සල්ලිත් තියෙනවා. අපි කාටවත් ඒක කරන්න බැහැ. ඒ නිසා මේ රටේ පැවැත්ම වෙනුවෙන්, රාජ්‍යය වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉටුකරන බව ආණ්ඩුව ජනතාවට පෙන්වන්න ඕනෑ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ ක්‍රියාකලාපය !

අනෙක් පැත්තෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ ක්‍රියා කලාපය ගැන සලකා බලන්න ඕනෑ. ඇමතිතුමා ඇවිත් සිරකරුවන් සමග සාකච්ඡා කර ගිය බවයි ඔහු කියා තිබෙන්නේ. රාජ්‍ය සේවකයෙකුගේ මූලික වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමයි. ඔහු ඒ වෙනුවෙන් දිව්රුම් දී තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් පාලනය වන රීති සම්ප්‍රදායකින් බැඳිලා ඉන්නවා. මේ සියල්ල තියාගෙනත් ඔහු කර තිබෙන්නේ තමන්ගේ අමාත්‍යවරයා ආරක්‍ෂා කරන්න ප්‍රකාශයක් කිරීමයි. රාජ්‍ය නිලධාරීන් දේශපාලකයෙක් ආරක්‍ෂා කරන්න බැඳීලා නැහැ. දේශපාලකයන්ගේ වැරදි තීන්දු ප්‍රතික්‍ෂේප කළ කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් මේ රටේ සිට තිබෙනවා.

වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වුණේ ඉහළින් එන සමහර තීරණවලට එකඟ වෙන්න බැහැ කියලා. රාජ්‍ය නිලධාරීන්ට කොන්දක් තියෙන්න ඕනෑ. ඔහු වගකියන්න ඕනෑ මේ රටේ ජනතාවටයි. උපුල්දෙනිය මහත්මයත් ඔය තනතුරෙන් ඉල්ලා අස්වෙන්න ඕනෑ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඔහුට විරුද්ධව වෙනම විනය පරීක්‍ෂණයක් පවත්වන්න ඕනැ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න