Language Switcher

V2025

නැවේ ගින්න : මාර වැඩක් - ඕනෑම කරන කාලයේ දත්ත මැකිලා !

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වූ වකවානුවේ එහි කපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර් අතර සිදුවූ බව කියන ගුවන්විදුලි පණිවුඩ හුවමාරු ඇමතුම් සටහන් වී තිබුණේ යැයි කියන යන්ත්‍රයේ තිබූ දත්ත මැකී යෑමේ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව නීතිපතිවරයා අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.

ඒ මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මෙම දැනුම් දීම සිදු කළ අතර හාබර් මාස්ටර් කාර්යාලයේ තිබූ මෙම ගුවන් විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍රයේ තිබූ දත්ත පිළිබඳව එම යන්ත්‍රය නිෂ්පාදනය කළ සමාගමේ දේශීය නියෝජිත ආයතනය හරහා විමර්ශන සිදුකළ බවත් පැවසීය.

එහිදී ඉකුත් මැයි මස 01 වනදා සහ ජුනි මස 10 වනදා අතර කාලසීමාවට අයත් දත්ත මැකී ගොස් ඇති බව අනාවරණය වූ බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ පිළිබඳව හාබර් මාස්ටර් සහ එම කාර්යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් පැවසීය.

මෙම දත්ත මැකී ගියේ කෙසේද? ඊට වගකිවයුතු පුද්ගලයින් සිටී ද? යන්න අනාවරණය කරගැනීම සඳහා මෙම විමර්ශන සිදුකරන බව කී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එම විමර්ශනවලදී එම සිද්ධියට වගකිවයුතු පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණය වන්නේ නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් පවසා ඇත.

එම අවස්ථාවේදී නෞකාවේ කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය ආරම්භයේ පටන් හාබර් මාස්ටර්ගේ කාර්යාලයේ තිබූ මෙම ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයේ තිබෙන දත්ත පරීක්ෂා කරන ලෙස තමන් දිගින් දිගටම ඉල්ලා සිටියත් එය පරීක්ෂා කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිතාමතාම මඟහැර ගිය බව පැවසීය.

එම දත්ත පරීක්ෂාකර තිබුණේ නම් මෙම සිද්ධියේ සත්‍යය අනාවරණය කරගැනීමට හැකියාව තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ජයමාන්න දැන් එම යන්ත්‍රයේ තිබූ දත්ත මැකී ගොස් ඇතැයි ප්‍රකාශ කිරීම බරපතළ සැකයකට තුඩු දෙන බවත් පෙන්වාදී ඇත.

සත්‍යය අනාවරණයවීම වැළැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන් කටයුතු කරන්නේ යැයි තමන් තුළ සැකයක් මතුවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ජයමාන්න ස්වාධීන පරීක්ෂණයක් නොකෙරෙන ස්ථානයක නීතියේ පිහිට ජනතාවට හිමි නොවන බවත් අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

අදාළ නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් මුහුදු සත්ත්වයින් විශාල සංඛ්‍යාවක් මියගොස් තිබූ බව ඉකුත් දා පැමිණිල්ල විසින් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.

එම මුහුදු සත්වයින්ගේ මරණවලට හාබර් මාස්ටර්වරයා සෘජුවම වගකිව යුතු බවත් හාබර් මාස්ටර්වරයාගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් මෙම ඛේදවාචකය හටගත් බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර තිබුණි.

කෙසේවෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් කියා සිටියේ මෙම දත්ත මැකී යෑම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවය.

සත්‍යය වසන් කිරීමේ අවශ්‍යතාවයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොමැති බවද ඔහු පැවසීය.

මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට භාජනය වී සිටින නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 24 දෙනාගෙන් 14 දෙනෙකු වෙනුවෙන් පනවා තිබෙන විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය ඉවත් කිරීමට හැකියාව පවතින හෙයින් එම තහනම් නියෝග ඉවත් කරන ලෙසය.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරිය විදේශ ගමන් තහනමකට ලක්ව සිටි අදාළ නෞකාවේ කාර්යමණ්ඩලය සාමාජිකයින් 14 දෙනෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළාය.

එමෙන්ම අදාළ නෞකා අනතුර සම්බන්ධයෙන් විවිධ ස්ථානවලින් ලබාගත් ජලය හා පස් සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් මෙහෙස්ත්‍රාත්වරිය අදාළ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

අනතුරුව පැමිණිල්ල ලබන 30 වනදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් පැවසුවාය.