අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, පසුගිය 03වන දා ජනාධිපති කාර්යාලයේ දී පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ එහි ඉදිරි කටයුතුවලට බාධා වී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වය සහිත සාකච්ඡාවකට සහභාගි විය.
ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීම සඳහා පසුගියදා එම ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූ ජනාධිපතිවරයා, එහි දී ඉදිරිපත් කෙරුණු ගැටලු අදාළ පාර්ශ්ව සමග වැඩිදුර සාකච්ඡා කර සාධනීය විසඳුම් රැසකට එළඹියේ ය.
වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතර ම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගත හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.
ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ සහ නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ මෙහි දී අවධානය යොමු කළ ජනාධිපතිවරයා, අවතැන් වන ජනතාවට පැවතියාට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දියහැකි පරිදි අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් නැවත පදිංචි කිරීම් සිදු කිරීමේ අවශ්‍යතාව වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.



(ජනාධිපති මාධ්‍ය අංශය)

