වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික සහ ප්‍රාදේශීය රෝහල්වල මෙන්ම ප්‍රාථමික සත්කාර ඒකක වල හදිසි ප්‍රතිකාර සේවාවන්හි නිරත කාර්ය මණ්ඩල සඳහා හදිසි සත්කාර සේවා පිළිබඳ එක්දින පුහුණු වැඩසටහනක් ඊයේ (22) හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
තෘතීක සහ ද්විතීයික සත්කාර සේවා සපයන රෝහල් සමග ප්‍රාථමික සත්කාර මධ්‍යස්ථානවල හදිසි ප්‍රතිකාර අංශ සම්බන්ධීකරණය කරමින් හදිසි ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම අරමුණු කරගෙන පැවැති මෙම පුහුණු වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ද එක්විය.

පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු සියලු මූලික රෝහල්වල, ප්‍රාදේශීය රෝහල්වල ප්‍රාථමික සත්කාර ඒකකවල ප්‍රතිකාර සේවාවන්හි නිරත 180 ක් පමණ වන වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලවල හදිසි ප්‍රතිකාර සේවා සම්බන්ධ දැනුම හා කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම පුහුණු වැඩසටහන සකස් කර ඇති අතර, ඒ සඳහා මාර්ගෝපදේශ හා උපදේශන ග්‍රන්ථයක් ද සකස් කර ඇත.

හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ පවුල් වෛද්‍යවරුන් ගේ සංගමය එක්ව සංවිධානය කරන මෙම පුහුණු වැඩසටහන සඳහා සියලු විශේෂඥ වෛද්‍ය සංගම්වල සහයෝගය ද හිමිවෙයි.
වර්තමානයේ සෞඛ්‍ය ආයතනවල හදිසි ප්‍රතිකාර සේවා ලබාදීමේදී විවිධ ක්‍රමවේදයන් අනුගමනය කිරීම හේතුවෙන් ගැටළු සහ අභියෝග රැසක් මතුව ඇති අතර, හදිසි ප්‍රතිකාර සේවා සම්බන්ධයෙන් ජනතාව ගෙන් ද විවිධ චෝදනා සහ මැසිවිලි ඉදිරිපත්ව වන තත්ත්වයන් පවතින බව මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙන ලදී.
ඒ අනුව, රටේ සියලු සෞඛ්‍ය ආයතන තුළ ප්‍රමිතිගත හා එකම ක්‍රමවේදයකට අනුව හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කිරීම තුළින් ප්‍රතිකාර සේවා ලබාගැනීමට පැමිණෙන සියලු ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය. මෙම වැඩපිළිවෙළ සඳහා ලෝක බැංකුව යටතේ වෙනම ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වන අතර, එමගින් අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරනු ලබයි.
එමෙන්ම, ආසියානු සංවර්ධන බැංකුව යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව ව්‍යාපෘතියක් යටතේ පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන මූලික රෝහල් 82ක් තෝරාගෙන, එම රෝහල්වල හදිසි ප්‍රතිකාර හා ප්‍රාථමික සත්කාර ඒකක වැඩිදියුණු කිරීම සඳහා ද මේ වනවිට කටයුතු සිදු කරමින් පවතී.
ජනතාවට කඩිනම්, ගුණාත්මක හා සමාන ප්‍රමිතියකින් යුතු හදිසි සත්කාර සේවාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය පද්ධතියේ සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ලබාගනිමින් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික්කයේ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. ප්‍රමිතා ශාන්තිලතා, හලාවත දිස්ත්‍රික් මහා රෝහලේ අධ්‍යක්ෂ විශේඥ වෛද්‍ය සුමිත් අත්තනායක, පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිමුත් පොන්වීර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුහුණු අධ්‍යක්ෂ (Director - Training) වෛද්‍ය සමන්ත ප්‍රභාත් රණසිංහ, පුත්තලම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ලසිත මලලසේකර, මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සදමාලි කුරේ, මාරවිල මුලික රෝහලේ විශේඥ ශල්‍ය වෛද්‍ය නිමන්ත විජේරත්න ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.
දීප්ති විජේතුංග
(සෞඛ්‍ය හා ජනමාධ්‍ය මාධ්‍ය ලේකම්)

